ජනවාරි 2026

බ්‍ර සි සෙ
123
45678910
11121314151617
18192021222324
25262728293031
අද දිනට

කියවීම්

2026 ජනවාරි 31

Memorial of Saint John Bosco, Priest

දවසේ දේව මෙහෙය
Reading I

සාමුවෙල්ගේ දෙ වන පොත 12:1-7, 10-17

1සමිඳාණන් වහන්සේ දාවිත් වෙත නාතාන් යැවූ සේක. ඔහු දාවිත් ළඟට අවුත් මෙසේ කී ය: ”එක් නුවරක මනුෂ්‍යයෝ දෙදෙනෙක් සිටියහ. එක් කෙනෙක් ධනවතෙකි; අනික් තැනැත්තා දිළින්දෙකි. 2ධනවතාට බැටළු හා ගව පට්ටි ඉතා විශාල ගණනක් තිබිණි. 3එහෙත්, තමා මිලට ගෙන ඇති කළ එක කුඩා බැටළු පැටියෙකු හැර වෙන කිසිවක් දිළින්දාට නො‍ වී ය. ඒ බැටළු වැස්සිය ඔහු සමඟ ද ඔහුගේ දරුවන් සමඟ ද වැඩෙමින්, ඔහුගේ කෑමවලින් කමින් ද ඔහුගේ කුසලානෙන් බොමින් ද ඇති දැඩි වූවා ය. ඔහු ඒ බැටළු වැස්සී සිය ළයෙහි හොවාගත්තේ ය. ඒ වැස්සී ඔහුට දුවක මෙන් වූවා ය. 4දිනක් ධනවතාගේ ගෙදරට ගමනක් යන කෙනෙක් ආවේ ය. ධනවතා තමාගේ ගෙදරට ආ මඟියාට කෑම පිළියෙළ කරන පිණිස සතෙකු තමාගේ බැටළුවන්ගෙන් වත්, ගවයන්ගෙන් වත් ගන්නට අකමැති වී දිළින්දාගේ බැටළු වැස්සිය අරගෙන තමාගේ ගෙදරට ආ මිනිසාට කෑමක් පිළියෙළ කෙළේ ය.” 5ඒ ඇසූ දාවිත්ගේ කෝපය ඒ මිනිසාට විරුද්ධ ව තදින් ඇවිළී, ඔහු නාතාන්ට කතා කොට, ”මේ දේ කළ මිනිසා මැරුම් කෑ යුතු ය කියා ජීවමාන සමිඳාණන් වහන්සේගේ නාමයෙන් දිවුරා කියමි. 6ඔහු මේ ක්‍රියාව කළ බැවින් ද අනුකම්පාව නො‍දැක්වූ බැවින් ද ඒ බැටළු වැස්සී වෙනුවට සතරදෙනෙකු දිය යුතු ය”යි කී ය. 7එවිට නාතාන් දාවිත්ට මෙසේ කීවේ ය: ”ඒ මිනිසා ඔබ තමයි; එබැවින් ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මම නුඹ ඉශ්රායෙල්වරුන්ගේ රජු වශයෙන් අභිෂේක කර, මම ම නුඹ සාවුල් අතින් ගළවා ගතිමි. 10ඉතින් මා සුළු කොට සිතා, හිත්තීය ජාතික උරියාගේ බිරිඳ නුඹේ බිරිඳ වශයෙන් ගත් බැවින් කඩු පහර කිසි කලක නුඹේ වංශයෙන් පහ නොවන්නේ ය.’ 11සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘මම නුඹට විරුද්ධ ව නුඹේ ම පවුලෙන් විපත්තිය උපදවා, නුඹේ ඇස් ඉදිරියෙහි නුඹේ භාර්යාවන් රැගෙන නුඹේ අසල්වැසියෙකුට දෙන්නෙමි. ඔහු එළිමහනෙහි නුඹේ භාර්යාවන් සමඟ සේවනයේ යෙදෙන්නේ ය. 12නුඹ කළ දේ නුඹ කෙළේ රහසින් ය; එහෙත්, මම මේ දේ සියලු ඉශ්රායෙල්වරුන්ට පෙනෙන ලෙස දවල් කාලයේ කරන්නට සලස්වන්නෙමි.’ 13එවිට දාවිත් පිළිතුරු දෙමින්, ”මම සමිඳාණන් වහන්සේට විරුද්ධ ව පව් කෙළෙමි”යි නාතාන්ට කී ය. නාතාන් ද කතා කරමින්, ”සමිඳාණන් වහන්සේ ඔබේ පාපයට ක්ෂමාව දුන් සේක; ඔබ නො‍නසින්නෙහි ය; 14එහෙත්, ඔබේ මේ ක්‍රියාව හේතුකොටගෙන සමිඳාණන් වහන්සේට අපහාස කළ බැවින් ඔබට දාව උපදින දරුවා මැරෙන්නේ ම ය”යි දාවිත්ට කී ය. 15ඉන්පසු නාතාන් සිය ගෙදරට ගියේ ය. 16එබැවින් ළදරුවා ගැන දාවිත් දෙවියන් වහන්සේට කන්නලව් කෙළේ ය. දාවිත් නිරාහාර ව සිට, ගෙට ඇතුල් වී බිම වැතිර මුළු රෑ ගත කෙළේ ය. 17ඔහු බිමෙන් නැඟුටුවන්නට ඔහුගේ ගෙදර වැඩිහිටියෝ ඔහු ළඟ සිටියහ. එහෙත්, ඔහු නැඟිටින්නට කැමැති නො‍ වී ය. ඔවුන් සමඟ කෑම කෑවේ වත් නැත.
Responsorial Psalm

ගීතාවලිය 51:12-13, 14-15, 16-17

12විමුක්තියේ ප්‍රීතිය මට යළි දුන මැනව; අවනත සිතක් දී මා දැරුව මැනව. 13එවිට මම අපරාධකරුවන්ට ඔබ මඟ පහදා දෙන්නෙමි; පව්කරුවන් ඔබ වෙත හරවාගෙන එන්නෙමි. 14දෙවිඳුනි, මා ගැළවුම්කාර දෙවිඳුනි, මිනී මැරීමේ අපරාධයෙන් මා මුදාලුව මැනව. එවිට ඔබේ දැහැමි ක්‍රියා ගැන මම උස් හඬින් ගීත ගයන්නෙමි. 15සමිඳුනි, ගී ගැයුමේ වරම මට දුන මැනව. එවිට මා මුවින් ඔබ පැසසුම් ගයන්නෙමි. 16ඔබ පුද පඬුරුවලට රිසි නැත; ඔබ ඒවාට රිසි නම්, මම ඒවා ඔබට පුදන්නෙමි. දවන යාග පූජාවලට ද ඔබ රිසි නොවන සේක. 17දෙවිඳුන් ප්‍රිය පඬුර නම්, බිඳුණු හදවතකි. දෙවිඳුනි, ඔබ තැළුණුබිඳුණු සිතක් ඉවත නොදමන සේක.
Alleluia

ශුද්ධ වූ ජොහන් 3:16

16දෙවියන් වහන්සේ ලෝකයාට කොතරම් ප්‍රේම කළ සේක් ද කීවොත්, ස්වකීය ඒක ජාතක පුත්‍රයාණන් වුව ද ලොවට දෙවා වදාළ සේක. එසේ කෙළේ, උන් වහන්සේ කෙරෙහි අදහන සියලු දෙනා ම විනාශ නොවී සදාතන ජීවනය ලබන පිණිස ය.
Gospel

ශුද්ධ වූ මාර්ක් 4:35-41

35එදා සවස් වූ කල, ”අපි එගොඩ යමු”යි උන් වහන්සේ ශ්‍රාවකයන්ට වදාළ සේක. 36ඔව්හු සමූහයා පිටත් කර යවා, උන් වහන්සේ ඔරුවේ හුන් ලෙස ම තමන් සමඟ ගෙන ගියෝ ය. ඒ සමඟ තවත් ඔරු තිබිණි. 37එවිට චණ්ඩ මාරුතයක් හමා, ඔරුව පිරී යන තරමට එයට රැළ ගැසී ය. 38උන් වහන්සේ ඔරුවේ අවරයෙහි, මෙත්තය මත නිදා හුන් සේක. ඔව්හු උන් වහන්සේ පුබුදුවා, ”ගුරුදේවයෙනි, අප විනාශ වන්න ළඟ ය, ඔබට කිසි ගණනක් නැද්දැ”යි ඇසූ හ. 39උන් වහන්සේ අවදි ව සුළඟට තර්ජනය කොට, ”නිශ්ශබ්ද වෙව, නිශ්චල වෙව”යි මුහුදට අණ කළ සේක. සුළඟ නැවතිණි. මහා නිශ්චලයක් විය. 40උන් වහන්සේ ද, ”ඔබ ඔය තරම් බිය වන්නේ මන් ද? තව ම ඔබට ඇදහිල්ල නැද්දැ”යි ඇසූ සේක. 41ඔව්හු මහත් භීතියකින් ඇලළී, ”මේ කවරෙක් ද? සුළඟ සහ මුහුද පවා උන් වහන්සේට කීකරු වන්නේ ය”යි එකිනෙකාට කී හ.