කියවීම්
2026 ජනවාරි 25
Third Sunday in Ordinary Time
දවසේ දේව මෙහෙය
Reading I
යෙසායා 8:23-9:3
1එක් කාලයක දී සාබුලොන් රට ද නප්තලී රට ද අපකීර්තියට පත් වූ නමුත්, අනාගතයේ දී, මධ්‍යධරණි මුහුදේ සිට නැගෙනහිර දෙසට ජොර්දාන් ගඟෙන් එගොඩ පිහිටි පළාතට එනම්, විදේශීන් වාසය කරන ගලීලය දේශයට ගෞරව පැමිණෙන්නේ ය.
2අන්ධකාරයෙහි ඇවිද්ද සෙනඟ මහත් ආලෝකයක් දුටුවෝ ය, ගන’ඳුරු දේශයෙහි විසූ අය කෙරෙහි එළියක් දැන් බැබළෙන්නේ ය.
3ඉමහත් ප්‍රීතියක් ඔබ ඔවුන්ට දුන් සේක; ඔවුන්ගේ ප්‍රීති ප්‍රමෝදය වර්ධනය කළ සේක. අස්වැන්න කපන කාලයෙහි සෙනඟ, කොල්ලය බෙදා ගන්නා කල ප්‍රීති වන්නාක් මෙන් ඔබ ඉදිරියෙහි ඔව්හු ප්‍රීති ප්‍රමෝද වෙති.
Responsorial Psalm
ගීතාවලිය 27:1, 4, 13-14
1හිමිසඳ මාගේ ආලෝකය හා විමුක්තිය ය; මම කිසිවෙකුට බිය නොවෙමි. හිමිසඳ මාගේ ජීව ශක්තිය ය; මට භීතියක් නැත.
4හිමි තුමන්ගෙන් එක ම යැදුමක් යදිමි; එය තරයේ සොයන්නෙමි. එනම්, හිමි තුමන්ගේ ශෝභාලංකාරය නරඹන පිණිසත්, දේව මාලිගාවේ දී උදය භාවනා කරන පිණිසත් මා දිවි ඇති තාක් හැම දා සමිඳුන්ගේ මන්දිරයේ විසීමට ය.
13ජීවතුන් අතර සමිඳුන්ගේ යහපත්කම මට දක්නට ලැබේ ය”යි මම විශ්වාස කරමි.
14සමිඳුන් කෙරේ බලා සිටින්න; ශක්තිමත් වන්න; ධෛර්යවත් වන්න; සමිඳුන් කෙරේ බලා සිටින්න.
Reading II
1 කොරින්ති 1:10-13, 17
10සහෝදරයෙනි, ඔබ සියලු දෙනා එක දෙය ම කියන ලෙස ද ඔබ අතර භේද නැති ව, එක සිතින් හා එක කල්පනාවෙන් සම්පූර්ණයෙන් එකඟ ව සිටින ලෙස ද අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් මම ඔබ හැමගෙන් උදක් ම ඉල්ලා සිටිමි.
11සහෝදරයෙනි, මා මෙසේ ඉල්ලන්නේ ඔබ අතර මත භේද පවතින බව ක්ලොයිගේ පවුලේ උදවිය මට සැළ කර ඇති බැවිනි.
12මා කියන්නේ මෙය යි: ඔබ අතර ඇතැමෙක්, ‘මම පාවුලුගේ පැත්තට ය’; ඇතැමෙක්, ‘මම අපොල්ලොස්ගේ පැත්තට ය’; ඇතැමෙක්, ‘මම කේපස්ගේ පැත්තට ය’; ඇතැමෙක්, ‘මම ක්‍රිස්තුන් වහන්සේගේ පැත්තට ය’යි කියති.
13ක්‍රිස්තුන් වහන්සේ මෙලෙස බෙදා වෙන් කරගත හැකි ද? ඔබ උදෙසා කුරුසියේ ඇණ ගසනු ලැබූවේ පාවුලු ද? එසේ නැත්නම් ඔබ බව්තීස්ම-ස්නාපනය කරනු ලැබුවේ පාවුලුගේ නාමයෙන් ද?
17ක්‍රිස්තුන් වහන්සේ මා යැව්වේ බව්තීස්ම-ස්නාපනය කිරීමට නොව, සුබ අස්න දේශනා කිරීමට ය. එහෙත් මා එය කළ යුත්තේ මාගේ වියත් කථික බලයෙන් නොවේ. කුමක් හෙයින් ද, මා එසේ කළහොත් ක්‍රිස්තුන් වහන්සේගේ කුරුසියේ බලය නිෂ්ප්‍රභ වන බැවිනි.
Alleluia
ශුද්ධ වූ මතෙව් 4:23
23තවද, ජේසුස් වහන්සේ ඔවුන්ගේ ධර්මශාලාවල අනුශාසනා කරමින් ද රාජ්‍යය පිළිබඳ සුබ අස්න දේශනා කරමින් ද සෙනඟ අතර සියලු ආකාර ලෙඩ රෝග සුව කරමින් ද ගලීලය පුරා සැරිසැරූ සේක.
Gospel
ශුද්ධ වූ මතෙව් 4:12-23 or 4:12-17
12ජොහන් හිරභාරයට ගනු ලැබූ බව අසා, ජේසුස් වහන්සේ ගලීලයට වැඩම කළ සේක.
13උන් වහන්සේ නාසරෙත් නුවර හැර සාබුලොන් සහ නප්තලී පෙදෙසෙහි මුහුදුබඩ පිහිටි කපර්ණවුමට පැමිණ එහි විසූ සේක.
14මෙසේ කෙළේ, යෙසායා දිවැසිවරයා මඟින් කියන ලද දේ ඉටුවන පිණිස ය. එනම්:
15ජොර්දානෙන් එතෙර මුහුදු මාවතෙහි පිහිටි, එම්බා! සාබුලොන් රට, නප්තලී රට, විජාතීන්ගේ ගලීලය!
16ගනඳුරෙහි කල් යැවූ සෙනඟ මහත් එළියක් දුටහ. මරණ අඳුර ඇති දේශයෙහි වෙසෙන්නවුන්ට එළිය උදාවිය” යනු යි.
17එවක් පටන් ජේසුස් වහන්සේ, ”පසුතැවී සිත් හරවා ගන්න; ස්වර්ග රාජ්‍යය ආසන්න ය” කියා දේශනා කරන්න පටන්ගත් සේක.
18උන් වහන්සේ ගලීලයේ මුහුදුබඩ ඇවිදින විට, ධීවර සහෝදරයන් දෙදෙනෙකු වන පේදුරු නම් ලත් සීමොන් ද ඔහුගේ සොහොයුරු ඇන්ඩෘ ද මුහුදේ දැළක් හෙළනු දැක,
19මා අනුව එන්න; මම ඔබ මිනිසුන් දිනාගන්නන් කරමි”යි වදාළ සේක.
20එකෙණෙහි ම ඔව්හු දැල් හැරදමා උන් වහන්සේ අනුව ගියහ.
21උන් වහන්සේ එතැනින් ගොස් තවත් සහෝදරයන් දෙදෙනෙකු වන සෙබදීගේ පුත් ජාකොබ් ද ඔහු සොහොයුරු ජොහන් ද ඔවුන්ගේ පියා වන සෙබදී සමඟ ඔරුවේ හිඳ දැල් එලලනු දැක, ඔවුන් කැඳවා වදාළ සේක.
22එකෙණෙහි ම ඔව්හු ඔරුව ද පියා ද අත්හැර උන් වහන්සේ අනුව ගියහ.
23තවද, ජේසුස් වහන්සේ ඔවුන්ගේ ධර්මශාලාවල අනුශාසනා කරමින් ද රාජ්‍යය පිළිබඳ සුබ අස්න දේශනා කරමින් ද සෙනඟ අතර සියලු ආකාර ලෙඩ රෝග සුව කරමින් ද ගලීලය පුරා සැරිසැරූ සේක.