කියවීම්
2026 ජනවාරි 9
Friday after Epiphany
දවසේ දේව මෙහෙය
Reading I
1 ජොහන් 5:5-13
5ලෝකයෙන් ජයගත හැක්කේ, ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් යයි අදහන තැනැත්තාට මිස අන් කවරෙකුට ද?
6ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ, වතුර හා රුධිරය කරණකොටගෙන පැමිණි තැනැන් වහන්සේ ය. එසේ පැමිණියේ වතුර පමණක් නොව වතුරත් රුධිරයත් ඇතිව ය. මෙය සත්‍ය බවට ආත්මයාණන් වහන්සේ සාක්ෂි දරන සේක. මන්ද, ආත්මයාණන් වහන්සේ සත්‍යය වන බැවිනි.
7එබැවින් සාක්ෂි තුනක් ඇත:
8ආත්මයාණන් වහන්සේ, වතුර හා රුධිරය යන මේ තුන ය. මේ සාක්ෂි තුන අතරේ එකඟත්වයක් ඇත.
9අපි මනුෂ්‍යයන්ගේ සාක්ෂිය පිළිගනිමු. එහෙත් දෙවියන් වහන්සේගේ සාක්ෂිය ඊට වඩා බලගතු ය. දෙවියන් වහන්සේගේ ම සාක්ෂිය නම්, සිය පුත්‍රයාණන් පිළිබඳ ව දුන් සාක්ෂිය වේ.
10දෙවියන් වහන්සේගේ පුත්‍රයා අදහාගන්නාට තමා තුළ ම සාක්ෂිය ඇත. දෙවියන් වහන්සේ අදහානොගන්නා, උන් වහන්සේ තමන් පුත්‍රයාණන් පිළිබඳ ව දී ඇති සාක්ෂි විශ්වාස නොකරන බැවින්, උන් වහන්සේ බොරුකාරයෙකු කරයි.
11ඒ සාක්ෂිය නම්, දෙවියන් වහන්සේ අපට සදාතන ජීවනය දුන් බවත්, ඒ ජීවනය තම පුත්‍රයාණන් තුළ ඇති බවත් ය.
12පුත්‍රයාණන් වහන්සේ පිළිගත් තැනැත්තාට මේ ජීවනය ඇත. දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් නොපිළිගත් තැනැත්තාට ඒ ජීවනය නැත.
13මෙය මා ඔබ වෙත ලියා එවන්නේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් අදහන ඔබ හැමට සදාතන ජීවනය ඇති බව ඔබ නිසැක ව දැනගන්නා පිණිස ය.
Responsorial Psalm
ගීතාවලිය 147:12-13, 14-15, 19-20
12එම්බා ජෙරුසලම! සමිඳුන්ට ප්‍රශංසා කරන්න. සියොන් ගිර, තිගේ දෙවිඳුන්ට ප්‍රශංසා කරන්න.
13මන්ද, එතුමාණෝ තිගේ වාසල් දොරටුවල අගුල් සවිමත් කළ සේක; තිගේ දරුවන්ට ආශීර්වාද කළ සේක.
14තිගේ සීමා තුළ සාමය සිදු කරන සේක; ඉස්තරම් තිරිඟු පිටියෙන් තෘප්තියට පමුණුවන සේක.
15එතුමාණෝ ස්වකීය ආඥාව පොළොවෙහි ඉම දක්වා යවන සේක. එතුමන්ගේ වචන යුහු ව පැතිර යයි.
19එතුමාණෝ ජාකොබ්ට සිය වචනය ද ඉශ්රායෙල්ට සිය පණත් සහ නියමයන් ද ප්‍රකාශ කරන සේක.
20එතුමාණෝ වෙන කිසි ජාතියකට මෙසේ නොකළ සේක. ඔව්හු එතුමන්ගේ නියමයන් දැන නොගත්තෝ ය. සමිඳුන්ට ප්‍රශංසා වේ වා!
Alleluia
ශුද්ධ වූ මතෙව් 4:23
23තවද, ජේසුස් වහන්සේ ඔවුන්ගේ ධර්මශාලාවල අනුශාසනා කරමින් ද රාජ්‍යය පිළිබඳ සුබ අස්න දේශනා කරමින් ද සෙනඟ අතර සියලු ආකාර ලෙඩ රෝග සුව කරමින් ද ගලීලය පුරා සැරිසැරූ සේක.
Gospel
ශුද්ධ වූ ලූක් 5:12-16
12තවද උන් වහන්සේ එක් නුවරක සිටිය දී, සර්වාංගයෙහි ලාදුරු තිබුණු මිනිසෙක් එහි විය. ඔහු ජේසුස් වහන්සේ අබිමුවෙහි වැඳ වැටී, ”ස්වාමීනි, ඔබ කැමැති සේක් නම්, මා පවිත්‍ර කරන්න ඔබට හැකි ය” කියමින් උන් වහන්සේට කන්නලව් කෙළේ ය.
13උන් වහන්සේ අත දිගු කොට ඔහු මත තබා, ”මම කැමැත්තෙමි, පවිත්‍ර වන්නැ”යි වදාළ සේක. ලාදුරු රෝගය එකෙණෙහි ම ඔහුගෙන් පහ ව ගියේ ය.
14එය කිසිවෙකුට නොකියන ලෙස උන් වහන්සේ ඔහුට අණ දී, ”ඔබ ගොස් පූජකයාට පෙනී, ඔබේ පවිත්‍ර වීම සඳහා ඔවුන්ට සාක්ෂියක් වන පිණිස මෝසෙස් අණ කළ දේවල් ඔප්පු කරන්නැ”යි වදාළ සේක.
15එහෙත්, උන් වහන්සේ ගැන ප්‍රවෘත්තිය වඩ වඩා පතළ විය; බොහෝ සමූහයෝ උන් වහන්සේට සවන් දෙන පිණිස ද සියලු රෝග සුව කරවාගන්න පිණිස ද රැස් වූ හ.
16එහෙත්, උන් වහන්සේ හුදකලා පෙදෙසකට ගොස් යාච්ඤා කළ සේක.