ජනවාරි 2026

බ්‍ර සි සෙ
123
45678910
11121314151617
18192021222324
25262728293031
අද දිනට

කියවීම්

2026 ජනවාරි 15

Thursday of the First Week in Ordinary Time

දවසේ දේව මෙහෙය
Reading I

සාමුවෙල්ගේ පළමු වන පොත 4:1-11

1සාමුවෙල් කතා කළ විට ඉශ්රායෙල් ජනතාව ඔහුගේ වචන පිළිගත්හ. එකල ඉශ්රායෙල්වරු පිලිස්තිවරුන්ට විරුද්ධ ව යුද්ධ කරන්නට පිටත් ව ගොස්, එබෙන්-එශෙර් ළඟ කඳවුරු බැඳගත්හ. 2පිලිස්තිවරු අපෙක්හි කඳවුරු බැඳගත්හ. පිලිස්තිවරුන් ඉශ්රායෙල්වරුන්ට විරුද්ධ ව සටනට සැරසී, දරුණු ලෙස සටන් කළ පසු ඉශ්රායෙල්වරු පිලිස්තිවරුන්ට පරාජය වූ හ. ඔව්හු යුද්ධ භූමියේ සේනාවෙන් මිනිසුන් හාරදාහක් පමණ මැරූහ. 3ඉශ්රායෙල්වරුන් කඳවුරට ආපසු ආ කල, ඉශ්රායෙල්හි ප්‍රජා මූලිකයෝ කතා කොට, ”අද අප පරාජය කරන්නට සමිඳාණන් වහන්සේ පිලිස්තිවරුන්ට ඉඩ දුන්නේ මන් ද? සමිඳාණන් වහන්සේ අප අතරට පැමිණ අපේ සතුරන්ගේ අතින් අප ගළවන පිණිස උන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ෂිලෝවෙන් ගෙන්වා ගනිමු”යි කී හ. 4ඒ කී ලෙස ඔව්හු ෂිලෝ නගරයට මිනිසුන් යවා, කෙරුබ්වරුන් අතර පිහිටි සිහසුන මත වැඩහිඳින සියලු බලැති සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙන්වා ගත්හ. හොප්නි සහ පිනෙහාස් යන ඒලීගේ පුත්‍රයෝ දෙදෙන දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව සමඟ පැමිණියහ. 5සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව කඳවුරට ගෙනෙනු ලැබූ කල මුළු ඉශ්රායෙල් ජනතාව පොළොව පුරා දෝංකාර දෙන මහත් ඝෝෂාවකින් මොරහඬ නැඟුවහු ය. 6පිලිස්තිවරු ඒ මොරගැසීමේ ශබ්දය අසා, ”හෙබ්‍රෙව්වරුන්ගේ කඳවුරේ ඇසෙන මේ මහා ඝෝෂාව කුමක් දැ”යි ඇසූ හ. සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව කඳවුරට ගෙනා බව ඔව්හු දැන ගත්හ. 7ඒ නිසා පිලිස්තිවරු බිය වූ හ. මන්ද, ”දෙවියන් වහන්සේ කඳවුරට වැඩිය සේකැ”යි ඔව්හු කී හ. තවද, ඔව්හු කතා කොට, ”අපට වන විපතක මහත! මන්ද, මෙබඳු දෙයක් මීට පෙර නො වී ය. 8අනේ, අපට වන විපතක මහත! මේ බලසම්පන්න දෙවිවරුන්ගේ අතින් අප ගළවාගන්නෝ කවුරු ද? මේ දෙවිවරු වනාහි කාන්තාරයේ මිසරවරුන්ට සියලු ආකාර වසංගතවලින් පහර දුන් දෙවිවරු ය. 9පිලිස්තිවරුනි, ධෛර්ය සම්පන්න වී වීර පුරුෂයන් මෙන් සටන් කරන්න. එසේ නොකළොත් ඔවුන් අපේ වහලුන් වූවාක් මෙන් අපි හෙබ්‍රෙව්වරුන්ගේ වහල්ලු වන්නෙමු. ඒ නිසා වීර පුරුෂයන් මෙන් සටන් කරන්නැ”යි කී හ. 10එවිට පිලිස්තිවරු සටන් කළහ. ඉශ්රායෙල්වරු පැරදී එක එකා තම තමාගේ කූඩාරම්වලට පලා ගියෝ ය. ඉමහත් ඝාතනයක් ඇති විය. ඉශ්රායෙල් හේවායෝ තිස්දාහක් මරනු ලැබූ හ. 11දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුවත් ඔවුන් අතට අසු විණි. ඒලීගේ පුත්‍රයන් දෙදෙනා වන හොප්නි සහ පිනෙහාස් ද මැරුම්කෑහ.
Responsorial Psalm

ගීතාවලිය 44:10-11, 14-15, 24-25

10සතුරන්ට බිය වී පලා යාමට ඔබ අපට සැලැසූ සේක. සතුරෝ අපේ රට කොල්ලකාගත්හ. 11මරණයට නියම වූ බැටළුවන් මෙන් ඔබ අප මරණයට නියම කළ සේක; විජාතීන් අතරට අප විසුරුවා හැරිය සේක; 14ඔබ අප විජාතීන් අතර නින්දාවක් ද මිනිසුන් අතර සමච්චලයක් ද වන්නට සලසා ඇත. 15මම හැම විට ම අපකීර්තියට පත් වී සිටිමි; මම ලජ්ජාවෙන් මුහුණ වසාගෙන සිටිමි. 24ඔබ අප කෙරෙන් සැඟවී ඉන්නේ මන් ද? අපේ විපත හා පීඩාව අමතක කරන්නේ මන් ද? 25අප පොළොවේ ධූලිවලට යට වී ඇත. සිරුර පොළොවේ ඇද වැටී ඇත.
Alleluia

ශුද්ධ වූ මතෙව් 4:23

23තවද, ජේසුස් වහන්සේ ඔවුන්ගේ ධර්මශාලාවල අනුශාසනා කරමින් ද රාජ්‍යය පිළිබඳ සුබ අස්න දේශනා කරමින් ද සෙනඟ අතර සියලු ආකාර ලෙඩ රෝග සුව කරමින් ද ගලීලය පුරා සැරිසැරූ සේක.
Gospel

ශුද්ධ වූ මාර්ක් 1:40-45

40එකල, ලාදුරු රෝගියෙක් උන් වහන්සේ වෙත අවුත් දණින් වැටී, ”ඔබ කැමැති සේක් නම්, මා පවිත්‍ර කරන්න ඔබට හැකි ය”යි අයැද සිටියේ ය. 41උන් වහන්සේ මහානුකම්පාවෙන් අත දිගු කොට ඔහු පිට තබා, ”මම කැමැත්තෙමි, පවිත්‍ර වන්නැ”යි වදාළ සේක. 42එකෙණෙහි ම ලාදුරු රෝගය පහ වී ඔහු පවිත්‍ර කරනු ලැබී ය. 43උන් වහන්සේ, ”මේ ගැන කිසිවෙකුට කිසිවක් නොකියන ලෙස බලාගන්නැ”යි ඔහුට තදින් අණ දී, 44යන්න, පූජකයා ඉදිරියෙහි පෙනී සිටින්න; මෝසෙස්ගේ නියමය පරිදි පවිත්‍රවීමේ සහතිකයක් ලෙස පූජා ඔප්පු කරන්න” කියා ඔහු වහා පිටත් කර යැවූ සේක. 45එහෙත්, ඔහු ගොස් ඒ මුළු සිද්ධිය ප්‍රසිද්ධ ලෙස කිය කියා, දස දෙස පතුරුවා හැරියේ ය. එහෙයින්, කිසි නුවරකට ප්‍රසිද්ධියේ පිවිසෙන්නට ඉන්පසු උන් වහන්සේට නොහැකි වූයෙන්, ජේසුස් වහන්සේ පාළු පෙදෙස්වල නැවතුණ සේක. එසේ වුව ද, සමූහයා සියලු දිශා භාගවලින් උන් වහන්සේ වෙත පැමිණියහ.