ජනවාරි 2026

බ්‍ර සි සෙ
123
45678910
11121314151617
18192021222324
25262728293031
අද දිනට

කියවීම්

2026 ජනවාරි 14

Wednesday of the First Week in Ordinary Time

දවසේ දේව මෙහෙය
Reading I

සාමුවෙල්ගේ පළමු වන පොත 3:1-10, 19-20

1ළමා වියේ සිටි සාමුවෙල් ඒලී යටතේ සමිඳාණන් වහන්සේට සේවය කෙළේ ය. ඒ කාලයේ දී සමිඳාණන් වහන්සේගෙන් පැමුණුණ පණිවුඩ දුර්ලභ විය; දර්ශන ද විරල විය. 2දැන් ඒලීගේ ඇස් හරියාකාර නොපෙනෙන තරමට අඳුරුවන්නට පටන්ගෙන තිබුණේ ය. දිනක් ඔහු සිය කාමරයෙහි සැතපෙමින් සිටියේ ය. 3සාමුවෙල් ද දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව තිබුණු සමිඳාණන් වහන්සේගේ ශුද්ධස්ථානයෙහි නිදාගෙන සිටියේ ය. එහි පහන එතෙක් දැල්වෙමින් තිබුණේ ය. 4එවිට සමිඳාණන් වහන්සේ සාමුවෙල්ට අඬගැසූ සේක. ඔහු ද, ”මම මෙහි ය”යි කී ය. 5එසේ කියා, ඒලී ළඟට දිව ගොස්, ”ඔබ මට අඬගැසුවෙහි ය. මම මෙහි ය”යි කීවේ ය. ඒලී ද, ”මම අඬ නොගැසීමි; නැවත නිදාගන්නැ”යි කීවේ ය. ඔහු ගොස් නිදාගත්තේ ය. 6සමිඳාණන් වහන්සේ නැවතත්, ”සාමුවෙල්” කියා අඬගැසූ සේක. සාමුවෙල් නැඟිට ඒලී ළඟට ගොස්, ”ඇත්තට ම ඔබ මට අඬගැසුවෙහි ය; මෙන්න, මම මෙහි ය”යි කී ය. එහෙත්, ඒලී පිළිතුරු දෙමින්, ”මාගේ පුත්‍රය, මම අඬ නොගැසීමි, නැවතත් නිදාගන්නැ”යි කීවේ ය. 7සාමුවෙල් ඒ වන තුරු සමිඳාණන් වහන්සේ දැන සිටියේ නැත. ඒ වන තුරු සමිඳාණන් වහන්සේගේ වචන ඔහුට එළිදරව් නො වී ය. 8සමිඳාණන් වහන්සේ යළිත් තුන් වන වරටත් සාමුවෙල්ට අඬගැසූ සේක. ඔහු නැඟිට ඒලී ළඟට ගොස්, ”ඔබ මට කතා කෙළෙහි ය. මෙන්න, මම මෙහි ය”යි කී ය. එවිට, සමිඳාණන් වහන්සේ ළමයාට අඬගසන බව ඒලී තේරුම් ගත්තේ ය. 9එබැවින් ඒලී සාමුවෙල්ට කතා කොට, ”ඔබ ගොස් නිදාගන්න. ඔබට නැවත අඬගැසුවොත්, ‘සමිඳාණන් වහන්ස, කතා කළ මැනව; ඔබ වහන්සේගේ මෙහෙකරුවා සවන් දී සිටිනවා’යි කියන්නැ”යි කීවේ ය. සාමුවෙල් ගොස් තමාගේ යහනේ නිදාගත්තේ ය. 10එවිට සමිඳාණන් වහන්සේ වැඩම කර, පළමු වතාවල දී මෙන්, ”සාමුවෙල්, සාමුවෙල්,” කියා අඬගැසූ සේක. සාමුවෙල් පිළිතුරු දෙමින්, ”කතා කළ මැනව; ඔබ වහන්සේගේ මෙහෙකරුවා සවන් දී සිටිනවා ය”යි කීවේ ය. 19සාමුවෙල් වැඩුණේ ය. සමිඳාණන් වහන්සේ ඔහු සමඟ සිට ඔහු කී හැම දෙයක් ම එකක් වත් නෑර ඉෂ්ට කළ සේක. 20සාමුවෙල් සමිඳාණන් වහන්සේගේ දිවැසිවරයෙකු වශයෙන් ස්ථිර කරන ලද බව, උතුරේ සිට දකුණ දක්වා සිටි සියලු ඉශ්රායෙල්වරු දැනගත්තෝ ය.
Responsorial Psalm

ගීතාවලිය 40:2 and 5, 7-8, 8-9, 10

2හිමි තුමාණෝ මා බියකරු වළකින්, මඩ වළකින් ගොඩට ගෙන, පර්වතයක් මත පිහිටුවා, මා සුරක්ෂිත කළ සේක. 5දෙවි සමිඳුනි, ඔබ අප උදෙසා කර ඇති හාස්කම් කොපමණ ද? ඔබ අප උදෙසා අදහස් කළ දේ කොපමණ ද? ඔබට සම අන් කෙනෙක් සිටී ද? ඒ සියල්ල පවසා නිම කරන්නට කිසි දා මට බැරි ය. ඒවායේ ගණන ඉමහත් ය. 7එවිට මම, ”මෙන්න, මම මෙහි ය”යි කීවෙමි. ”මා පිළිබඳ අණපණත් ඔබේ ව්‍යවස්ථාවලියෙහි ලියා ඇත. 8මාගේ දෙවියෙනි, ඔබේ කැමැත්තට ප්‍රිය වෙමි, ඔබේ නීති මසිතෙහි නිදන් කරගතිමි.” 9සමිඳුනි, ඔබට වඳින පිරිස් මැද, ඔබේ ගැළවීමේ ක්‍රියා වර්ණනා කෙළෙමි. නොනවත්වා එය තවත් වර්ණනා කරන බව ඔබ දන්න සේක. 10ඔබ දෙන ගැළවීම සිතෙහි රඳවා නිකම් නොසිටියෙමි; ඔබේ ගැළවීම හා විශ්වාසවන්තකම ප්‍රකාශ කෙළෙමි; මහ පිරිස් මැද ඔබේ කරුණාව ද විශ්වාසවන්තකම ද නොවළහා දන්වා සිටියෙමි.
Alleluia

ශුද්ධ වූ ජොහන් 10:27

27මාගේ බැටළුවෝ මාගේ කටහඬ අසති. මම ද ඔවුන් අඳුනමි; ඔව්හු ද මා පසුපස්සේ එති.
Gospel

ශුද්ධ වූ මාර්ක් 1:29-39

29ඔව්හු ධර්මශාලාවෙන් නික්ම ආ කෙණෙහි ම, ජාකොබ් ද ජොහන් ද කැටුව, සීමොන්ගේ හා ඇන්ඩෘගේ ගෙදරට පැමිණියහ. 30සීමොන්ගේ භාර්යාවගේ මව උණෙන් ඔත්පළ ව සිටියා ය. ඔව්හු වහා ම ඇය ගැන උන් වහන්සේට දැන්වූ හ. 31උන් වහන්සේ ඇය වෙතට ගොස් ඇගේ අතින් අල්ලා ඇය නැඟිටෙවූ සේක. ඇගේ උණ බැස ගියේ ය. ඈ ඔවුන්ට උපස්ථාන කළා ය. 32සවස හිරු බැස ගිය පසු සියලු රෝගීන් ද දුෂ්ටාත්මාවේශ වූ අය ද උන් වහන්සේ වෙත ගෙනෙනු ලැබූ හ. 33නුවර වැසි මුළු ජනතාව දොරකඩ එක්රැස් වූ හ. 34උන් වහන්සේ විවිධ රෝගවලින් පෙළුණු බොහෝ අය සුව කළ සේක. බොහෝ දුෂ්ටාත්මයන් ද දුරු කළ සේක. තමා කවරෙක් දැ යි ඒ දුෂ්ටාත්මයන් දැන සිටි බැවින් උන් වහන්සේ ඔවුන්ට කතා කිරීමට ඉඩ නුදුන් සේක. 35හිරු උදාවට බොහෝ කලින් උන් වහන්සේ අවදි ව හුදකලා තැනකට ගොස් එහි යාච්ඤා කළ සේක. 36සීමොන් සහ ඔහුගේ සහායකයෝ උන් වහන්සේ සොයා ගොස්, 37සම්මුඛ වී, ”හැම දෙන ම ඔබ සොයති”යි පැවසූ හ. 38උන් වහන්සේ උත්තර දෙමින්, ”අන් තැන්වලත් දේශනා කරන පිණිස අපි අවට නුවරවලටත් යමු; මා ආයේ ඒ සඳහා ය”යි වදාළ සේක. 39උන් වහන්සේ ඔවුන්ගේ ධර්මශාලාවල උගන්වමින් ද දුෂ්ටාත්මයන් දුරු කරමින් ද ගලීලය පුරා සැරිසැරූ සේක.