කියවීම්
2026 ජනවාරි 8
Thursday after Epiphany
දවසේ දේව මෙහෙය
Reading I
1 ජොහන් 4:19-5:4
19අප ප්‍රේම කරන්නේ උන් වහන්සේ පළමුකොට අපට ප්‍රේම කළ බැවිනි.
20යමෙක් ”මම දෙවියන් වහන්සේට ප්‍රේම කරමි”යි කියමින්, තම සහෝදරයාට වෛර කරයි නම්, ඔහු බොරුකාරයෙකි. පෙනෙන සහෝදරයාට ප්‍රේම නොකරන්නාට, නොපෙනෙන දෙවියන් වහන්සේට ප්‍රේම කළ නොහැකි ය.
21දෙවියන් වහන්සේට ප්‍රේම කරන තැනැත්තා තම සහෝදරයාටත් ප්‍රේම කළ යුතු ය යන ආඥාව අපි උන් වහන්සේගෙන් ලැබීමු.
1ජේසුස් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ බව අදහන කවරෙක් නමුත් දෙවියන් වහන්සේගේ දරුවෙකි. පිය කෙනෙකුට ප්‍රේම කරන්නා ඔහුගෙන් උපන් පුත්‍රයාටත් ප්‍රේම කරයි.
2දෙවියන් වහන්සේට ප්‍රේම කිරීමෙන් ද, උන් වහන්සේගේ ආඥා පිළිපැදීමෙන් ද අපි උන් වහන්සේගේ දරුවන්ට ප්‍රේම කරන බව දැනගනිමු.
3දෙවියන් වහන්සේට ප්‍රේම කිරීම යනු උන් වහන්සේගේ ආඥා පිළිපැදීම යි. උන් වහන්සේගේ ආඥා පිළිපැදීම දුෂ්කර නොවේ.
4මන්ද, දෙවියන් වහන්සේගෙන් උපන් හැම කෙනෙකු ම ලෝකයෙන් ජයගෙන ඇත. ලෝකය පරදවන වික්‍රමය නම් ඇදහිල්ල යි.
Responsorial Psalm
ගීතාවලිය 72:1-2, 14 and 15, 17
1දෙවිඳුනි, රජතුමාට ඔබගේ විනිශ්චය කිරීමේ ඥානය දුන මැනව! රජ කුමරු හට යුක්තිගරුක ව ක්‍රියා කිරීමට ඔබගේ හැකියාව දුන මැනව!
2එවිට එතුමා ඔබේ ජනතාව සාධාරණ ලෙස පාලනය කරන්නේ ය. ඔබේ පීඩිත ජනතාවට යුක්තිය ඉටු කරන්නේ ය.
14එතුමා, අයුතු පීඩනයෙන් හා සැහැසිකමෙන් ඔවුන් ගළවන්නේ ය; ඔවුන්ගේ ජීවිත අගය කොට සලකන්නේ ය.
15එතුමා චිරාත් කාලයක් ජීවත් වේ වා! ෂෙබාහි රත්රන් එතුමාට පුදනු ලැබේ වා! නිරතුරු එතුමා උදෙසා අයැදුම් කරනු ලැබේ වා! දවස පුරා ආසිරි පතනු ලැබේ වා!
17එතුමාගේ නාමය සදහට ම පවතී වා! ඉර හඳ පවතින තෙක් එතුමාට කීර්තිය අත් වේ වා! එතුමා අතින් සව් සත ආසිරි ලබත් වා! සියලු ජාතීහු එතුමාට සව්සිරි පතත් වා!
Alleluia
ශුද්ධ වූ ලූක් 4:18
18සමිඳාණන් වහන්සේගේ ආත්මය මා කෙරෙහි ඇත. මක්නිසා ද දිළිඳුන් හට සුබ ආරංචිය දේශනා කරනු වස්, උන් වහන්සේ මා ආලේප කළ සේක. වහලුන්ට මිදීම ද අන්ධයන්ට පෙනීම ද ලැබෙන බව දන්වන්ටත්, පීඩිත වූවන් මුදන්ටත්,
Gospel
ශුද්ධ වූ ලූක් 4:14-22
14තවද, ජේසුස් වහන්සේ ශුද්ධාත්මානුභාවයෙන් යුක්ත ව ගලීලයට පෙරළා වැඩිය සේක. උන් වහන්සේ පිළිබඳ ආරංචිය අවට මුළු පෙදෙස පුරා පැතිරිණි.
15උන් වහන්සේ සියල්ලන්ගෙන් ප්‍රශංසා ලබමින්, ඔවුන්ගේ ධර්මශාලාවල ඉගැන්වූ සේක.
16උන් වහන්සේ තමන් ඇතිදැඩි වූ නාසරෙත් නුවරට පැමිණ සිරිත් පරිදි සබත් දවසේ දී ධර්මශාලාවට වැඩම කර කියවීම පිණිස නැඟිට සිටි සේක.
17එවිට දිවැසිවර යෙසායාගේ ග්‍රන්ථය උන් වහන්සේට දෙන ලද්දේ ය. උන් වහන්සේ ග්‍රන්ථය දිගහැර, මෙසේ ලියා ඇති තැන සොයාගත් සේක:
18සමිඳාණන් වහන්සේගේ ආත්මය මා කෙරෙහි ඇත. මක්නිසා ද දිළිඳුන් හට සුබ ආරංචිය දේශනා කරනු වස්, උන් වහන්සේ මා ආලේප කළ සේක. වහලුන්ට මිදීම ද අන්ධයන්ට පෙනීම ද ලැබෙන බව දන්වන්ටත්, පීඩිත වූවන් මුදන්ටත්,
19සමිඳාණන් වහන්සේගේ ප්‍රසාදය ලත් වසර ප්‍රකාශ කරන්ටත් මා එවා වදාළ සේක.”
20උන් වහන්සේ එය කියවා, ග්‍රන්ථය අකුළා, උපස්ථායක තැනට දී වැඩහුන් සේක. එකල ධර්මශාලාවෙහි සිටි සියල්ලෝ උන් වහන්සේ කෙරෙහි නෙත් යොමා සිටියහ.
21උන් වහන්සේ ඔවුන්ට කතා කරන්න පටන් ගෙන, ”අද ඔබ සවන් දී සිටිය දී ම මේ ශුද්ධ ලියවිලි පාඨය ඉෂ්ට වී ය”යි වදාළ සේක.
22සියල්ලෝ ම උන් වහන්සේට ප්‍රශංසා කරමින්, උන් වහන්සේගේ මුවින් පහළ වූ කාරුණික වචන ගැන පුදුම ව, ”මේ ජෝසෙප්ගේ පුතා නොවේ දැ”යි කී හ.