කියවීම්
2026 ජනවාරි 27
Tuesday of the Third Week in Ordinary Time
දවසේ දේව මෙහෙය
Reading I
සාමුවෙල්ගේ දෙ වන පොත 6:12-15, 17-19
12දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව නිසා සමිඳාණන් වහන්සේ ඕබෙද්-ඒදොම්ටත්, ඔහුට අයිති සියල්ලටත් ආශීර්වාද කරන සේකැ යි දාවිත්ට දන්වන ලද්දේ ය. එවිට දාවිත් ගොස් දෙවියන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඕබෙද්-ඒදොම්ගේ නිවසෙන් දාවිත්ගේ නුවරට ප්‍රීති සහගත ව ගෙනාවේ ය.
13තවද, සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව උසුලන්නන් අඩි හයක් ගිය කල දාවිත් ගොනෙකු ද වස්සෙකු ද පූජා කෙළේ ය.
14දාවිත් හණ ඒපොද් සැට්ටයක් හැඳගෙන සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි මුළු ශක්තියෙන් නැටුවේ ය.
15මෙසේ දාවිත් සහ මුළු ඉශ්රායෙල් වංශය ඔල්වර ශබ්දයත්, හොරණෑ ශබ්දයත් ඇති ව සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙනාහ.
17ඔව්හු සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඇතුළට ගෙනවුත්, දාවිත් ඊට පිහිටුවා තිබුණු කූඩාරම මධ්‍යයෙහි ඊට නියම ස්ථානයෙහි, එය තැබූ හ. දාවිත් සමිඳාණන් වහන්සේ ඉදිරියෙහි දවන යාග පූජා සහ සහභාගිකමේ පූජා ඔප්පු කෙළේ ය.
18දාවිත් දවන යාග පූජා ද සහභාගිකමේ පූජා ද ඔප්පු කර නිම කළ පසු සර්ව පරාක්‍රම සමිඳාණන් වහන්සේගේ නාමයෙන් සෙනඟට ආශීර්වාද කෙළේ ය.
19තවද, ඔහු මුළු සෙනඟට එනම්, ඉශ්රායෙල් සමූහයාගෙන් එක එක පුරුෂයාට හා ස්ත්‍රියට රොටියකුත්, මස් කැබැල්ලකුත්, වියළි මුද්‍රික කැටියකුත් දුන්නේ ය. එවිට මුළු සෙනඟ තම තමන්ගේ නිවෙස්වලට යන්නට ගියහ.
Responsorial Psalm
ගීතාවලිය 24:7, 8, 9, 10
7ද්වාරයෙනි, විවෘත ව සිටින්න; පැරණි දොරටුවෙනි, විවෘත ව ම සිටින්න; ප්‍රතාපවත් මහා නිරිඳාණෝ වඩින සේක.
8ඒ මහා ප්‍රතාපවත් නිරිඳාණෝ කවරෙක් ද? තෙද බල යුතු හිමි තුමාණෝ ය; යුද්ධ ජයගත් හිමි තුමාණෝ ය.
9වාසල් දොරටු හොඳට ම විවෘත කොට තබන්න; පැරණි දොරටු විවෘත කොට තබන්න. ප්‍රතාපවත් මහා නිරිඳාණෝ වඩින සේක.
10මේ ප්‍රතාපවත් මහා නිරිඳාණෝ කවරෙක් ද? ඒ ප්‍රතාපවත් මහා නිරිඳාණෝ, සව් බලැති හිමි තුමාණෝ වෙති.
Alleluia
ශුද්ධ වූ මතෙව් 11:25
25ඒ අවස්ථාවේ දී ජේසුස් වහන්සේ උත්තර දෙමින් මෙසේ වදාළ සේක: ”ස්වර්ගයටත්, පොළොවටත් ස්වාමීන් වන පියාණන් වහන්ස, ඔබ වහන්සේ මේ කරුණු පැණවතුන් හා නැණවතුන් කෙරෙන් ආවරණය කොට, බාලයන්ට අනාවරණය කළ හෙයින් ඔබට තුති පුදමි.
Gospel
ශුද්ධ වූ මාර්ක් 3:31-35
31එවිට උන් වහන්සේගේ මෑණියෝ ද සහෝදරයෝ ද අවුත් පිටත සිට, උන් වහන්සේ කැඳවා පණිවුඩයක් යැවූ හ.
32සමූහයක් උන් වහන්සේ අවට වාඩි වී උන්හ. ඔව්හු, ”අන්න, ඔබේ මෑණියෝත්, සහෝදරයෝත්, සහෝදරියෝත් පිටත සිට ඔබ සොයති”යි උන් වහන්සේට කී හ.
33උන් වහන්සේ උත්තර දෙමින්, ”මාගේ මෑණියෝත්, මාගේ සහෝදරයෝත් කවුරු ද” කියා පෙන්වමින්,
34තමන් පිරිවරා අවට වාඩි වී සිටියවුන් දෙස වටේට බලා, ”මෙන්න මාගේ මෑණියෝ, මෙන්න මාගේ සහෝදරයෝ!
35දෙවියන් වහන්සේගේ කැමැත්ත ඉටු කරන කවරෙක් හෝ වෙත් වා, ඔව්හු මාගේ සහෝදරයාත්, මාගේ සහෝදරීත්, මාගේ මෑණියෝත් ය”යි වදාළ සේක.