කියවීම්
2026 ජනවාරි 12
Monday of the First Week in Ordinary Time
දවසේ දේව මෙහෙය
Reading I
සාමුවෙල්ගේ පළමු වන පොත 1:1-8
1එප්‍රායිම් කඳු රටේ රාමාතයිම්-ශෝපීම්හි එල්කානා නම් මිනිසෙක් විය. ඔහු ජෙරොහාම්ගේ පුත්‍රයා ය; එප්‍රායිමියයෙකු වූ ශුප්ගේ ගෝත්‍රයේ තොහුගේ පවුලට අයත් එලීහුගේ මුණුබුරා ය.
2එල්කානාට භාර්යාවෝ දෙදෙනෙක් සිටියහ. එක් තැනැත්තියකගේ නම හන්නා ය; අනික් තැනැත්තියගේ නම පෙනින්නා ය. පෙනින්නාට දරුවෝ සිටියහ; එහෙත්, හන්නාට දරුවෝ නොසිටියහ.
3එල්කානා ෂිලෝහි දී සියලු බලැති සමිඳාණන් වහන්සේට නමස්කාර කරන්නත්, පූජා කරන්නත් අවුරුදු පතා ඔහුගේ නගරයෙන් නික්ම ගියේ ය. එහි සමිඳාණන් වහන්සේගේ පූජකයන් වූ හොප්නි සහ පිනෙහාස් යන ඒලීගේ පුත්‍රයෝ දෙදෙනා සිටියහ.
4එල්කානා පූජා කරන හැම අවස්ථාවේ දී ම සිය බිරිඳ වූ පෙනින්නාටත්, ඇගේ සියලු දූ දරුවන්ටත් කොටසක් දුන්නේ ය.
5එහෙත්, ඔහු හන්නාට දෙකොටසක් දුන්නේ ය. එසේ කෙළේ, ඔහු හන්නාට බොහෝ ප්‍රේම කළ බැවිනි. එහෙත්, සමිඳාණන් වහන්සේ ඇගේ ගර්භය පියවා තිබිණි.
6සමිඳාණන් වහන්සේ ඇගේ ගර්භය පියවා තිබුණු බැවින්, ඇගේ විරුද්ධකාරී ඈ කෝප කරවන පිණිස ඈට නින්දා කළා ය.
7එල්කානා අවුරුදු පතා සමිඳාණන් වහන්සේගේ මාලිගාවට ගිය අවස්ථාවල දී පෙනින්නා හන්නා කෝප කළා ය. ඒ නිසා හන්නා කෑම නොකා හඬමින් සිටියා ය.
8එවිට ඇගේ පුරුෂයා වන එල්කානා ඈට කතා කොට, ”හන්නා, ඔබ අඬන්නේ මන් ද? නොකා සිටින්නේ මන් ද? ඔබ සෝදුකින් සිටින්නේ මන් ද? පුත්‍රයන් දසදෙනෙකුට වඩා මා ඔබට අගේ නැද්දැ”යි කී ය.
Responsorial Psalm
ගීතාවලිය 116:12-13, 14-17, 18-19
12සමිඳුන් මා හට කළ සියලු යහපත්කම් ගැන එතුමන්ට මම කුමක් පුදම් ද?
13මම ගැළවීමේ කුසලාන ගන්නෙමි; සමිඳුන්ගේ නාමයෙන් යාච්ඤා කරන්නෙමි.
14එසේ ය, සමිඳුන්ගේ මුළු සෙනඟ ඉදිරියෙහි මාගේ බාරහාර මම ඉටු කරන්නෙමි.
15සැදැහැවතුන්ගේ මරණය සමිඳුන් අබියස අගනේ ය.
16සමිඳුනි, මම ඔබේ මෙහෙකරුවෙක් වෙමි; සැබැවින් ම ඔබේ මෙහෙකරුවෙක් වෙමි; ඔබේ දාසිගේ පුත්‍රයා වෙමි. ඔබ මාගේ බැඳුම් මිදූ සේක.
17මම ඔබට ස්තුති පූජාව පුදන්නෙමි; සමිඳුන්ගේ නාමය අමතා අයැදින්නෙමි.
18එසේ ය, සමිඳුන්ගේ මුළු සෙනඟ ඉදිරියෙහි මාගේ බාරහාර ඉටු කරන්නෙමි,
19සමිඳුන්ගේ මාලිගාවේ මළුවල දීත්, එම්බා ජෙරුසලම! තී මධ්‍යයෙහි දීත් එසේ කරන්නෙමි.
Alleluia
ශුද්ධ වූ මාර්ක් 1:15
15ඒ දේශනාව මේ ය: ”නියමිත මොහොත පරිපූර්ණ වී තිබේ; දෙවියන් වහන්සේගේ රාජ්‍යය ආසන්න ය; පසුතැවී සිත් හරවා ගන්න; සුබ අස්න අදහාගන්න” යනුයි.
Gospel
ශුද්ධ වූ මාර්ක් 1:14-20
14ජොහන් හිරබාරයට ගනු ලැබූ පසු, ජේසුස් වහන්සේ දෙවියන් වහන්සේගේ සුබ අස්න දේශනා කරමින් ගලීලයට වැඩිය සේක.
15ඒ දේශනාව මේ ය: ”නියමිත මොහොත පරිපූර්ණ වී තිබේ; දෙවියන් වහන්සේගේ රාජ්‍යය ආසන්න ය; පසුතැවී සිත් හරවා ගන්න; සුබ අස්න අදහාගන්න” යනුයි.
16උන් වහන්සේ ගලීලයේ මුහුද අද්දර ඇවිදින විට සීමොන් ද ඔහුගේ සොහොයුරු ඇන්ඩෘ ද මුහුදෙහි දැලක් දමනු දුටු සේක. ඔව්හු මසුන් අල්ලන්නෝ වූ හ.
17ජේසුස් වහන්සේ ඒ දැක, ”මා අනුව එන්න; මම ඔබ මිනිසුන් දිනාගන්නන් කරමි”යි වදාළ සේක.
18එකෙණෙහි ම ඔව්හු දැල් හැරදමා උන් වහන්සේ අනුව ගියහ.
19උන් වහන්සේ එතැනින් මඳ දුරක් ගොස් සෙබදීගේ පුත් ජාකොබ් ද, ඔහුගේ සහෝදර ජොහන් ද ඔරුවක හිඳ දැල් සකස් කරනු දැක, එකෙණෙහි ම ඔවුන් කැඳවා වදාළ සේක.
20ඔව්හු ද තම පිය සෙබදී මෙහෙකරුවන් සමඟ ඔරුවෙහි සිටිය දී ම උන් වහන්සේ අනුව ගියහ.