මැයි 2026

බ්‍ර සි සෙ
12
3456789
10111213141516
17181920212223
24252627282930
31
අද දිනට

කියවීම්

2026 මැයි 2

Memorial of Saint Athanasius, Bishop and Doctor of the Church

දවසේ දේව මෙහෙය
Reading I

ක්‍රියා 13:44-52

44ඊළඟ සබත් දවසේ දී දෙවියන් වහන්සේගේ වචනය අසන පිණිස නුවර වැසි සියල්ලෝ ම වාගේ රැස් වූ හ. 45එහෙත් ජුදෙව්වරු එම ජනකාය දැක, ඊර්ෂ්‍යාවෙන් පිරී, පාවුලු කී කාරණාවලට විරුද්ධ ව කතා කරමින් අපහාස කළහ. 46එවිට පාවුලු ද බාර්ණබස් ද එඩිතර ව කතා කරමින් මෙසේ කී හ: ”දෙවියන් වහන්සේගේ වචනය පළමුකොට ඔබට ප්‍රකාශ කළ යුතු ව තිබිණි. එහෙත් ඔබ එය ප්‍රතික්ෂේප කොට, සදාතන ජීවනයට ඔබ නුසුදුස්සන් බව ඔබ ම නිශ්චය කර ගන්නා හෙයින්, මෙන්න, අපි විජාතීන් වෙතට හැරෙමු. 47මන්ද, සමිඳාණන් වහන්සේ අපට මෙසේ අණ කළ සේක: ‘ලොව පුරා ගැළවීම ගෙන දෙන පිණිස විජාතීන් අතර පහන් එළියක් ලෙස මම ඔබ තැබුවෙමි.’ ” 48විජාතීහු ඒ අසා සන්තෝෂ ව, දෙවියන් වහන්සේගේ වචනයට ගෞරව කළහ. සදාතන ජීවනය ලැබීමට තෝරාගන්නා ලද සියල්ලෝ ම අදහාගත්හ. 49සමිඳාණන් වහන්සේගේ දහම ඒ පළාත මුළුල්ලෙහි ම පැතිරී ගියේ ය. 50එහෙත් ජුදෙව්වරු සැදැහැවත් කුල ස්ත්‍රීන් ද නුවර ප්‍රභූන් ද පොළඹවා, පාවුලු සහ බාර්ණබස්ට විරුද්ධ ව පීඩාකාරී තත්ත්වයක් ඇති කර, තමන්ගේ පෙදෙස්වලින් ඔවුන් පිටතට නෙරපාදැමූ හ. 51එවිට ඔව්හු තමන්ගේ පාදවල දූවිලි ඔවුන්ට විරුද්ධ ව ගසාදමා, ඉකො‍්නියට ගියහ. 52ශ්‍රාවකයෝ ප්‍රීතියෙන් ද ශුද්ධාත්මයාණන්ගෙන් ද පූර්ණ වූ හ.
Responsorial Psalm

ගීතාවලිය 98:1, 2-3, 3-4

1සමිඳුන්ට නව ගීයක් ගයන්න; මන්ද, එතුමාණෝ අසිරිමත් ක්‍රියා කළ සේක. සිය බලයෙන් හා ශුද්ධ ශක්තියෙන් ජයග්‍රහණය ලත් සේක. 2සමිඳාණෝ ස්වකීය ජයග්‍රහණය ප්‍රකාශ කළ සේක; විජාතීන්ගේ ඇස් හමුයෙහි සිය විමුක්ති බලය එළිදරව් කළ සේක. 3එතුමාණෝ ඉශ්රායෙල් වංශය කෙරෙහි එතුමන්ගේ ප්‍රේමයත්, විශ්වාසවන්තකමත් සිහි කළ සේක. මිහි පිට සියලු දෙන අප දෙවිඳුන්ගේ ජයග්‍රහණය දුටුවෝ ය. 4එම්බා ලෝ වැසි සියල්ලෙනි, සමිඳුන් හට ප්‍රීතියෙන් ගී ගයන්න; ප්‍රීති ගී ගයමින් එතුමන් පසසන්න.
Alleluia

ශුද්ධ වූ ජොහන් 8:31-32

31එබැවින්, තමන් වහන්සේ අදහාගත් ජුදෙව්වරුන්ට ජේසුස් වහන්සේ කතා කොට, ”ඔබ මාගේ ධර්මයෙහි පිහිටා පවතින්නහු නම්, සැබැවින් ම ඔබ මාගේ ශ්‍රාවකයෝ ය; 32ඔබ සත්‍යය අවබෝධ කරගන්නහු ය; සත්‍යය ඔබ නිදහස් කරන්නේ ය”යි වදාළ සේක.
Gospel

ශුද්ධ වූ ජොහන් 14:7-14

7ඔබ මා හඳුනන්නහු නම්, මාගේ පියාණන් වහන්සේත් හඳුනන්නහු ය. මෙතැන් පටන් ඔබ උන් වහන්සේ හඳුනන්නහු ය; උන් වහන්සේ දැක ඇතැ”යි වදාළ සේක. 8පිලිප් කතා කොට, ”ස්වාමීනි, පියාණන් වහන්සේ අපට පෙන්වා වදාළ මැනව; එය අපට හොඳට ම ඇතැ”යි උන් වහන්සේට කී ය. 9ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”පිලිප්, මෙපමණ කලක් මා ඔබ සමඟ විසූ නමුදු, තවමත් ඔබ මා හඳුනන්නේ නැද් ද? මා දුටු තැනැත්තේ, පියාණන් වහන්සේ දුටුවේ ය. එසේ නම්, ‘පියාණන් වහන්සේ අපට පෙන්වා වදාළ මැනවැ’යි ඔබ කියන්නේ කෙසේ ද? 10මා පියාණන් වහන්සේ තුළ ද පියාණන් වහන්සේ මා තුළ ද සිටින බව ඔබ විශ්වාස නොකරන්නෙහි ද? මා ඔබ හට වදාරන වචන මාගේ ම අධිකාරී බලයෙන් නොවදාරමි; පියාණන් වහන්සේ ම මා තුළ වැඩවසමින් ස්වකීය ක්‍රියා ඉටු කරන සේක. 11මා පියාණන් වහන්සේ තුළ ද පියාණන් වහන්සේ මා තුළ ද සිටින බවට මාගේ වචනය විශ්වාස කරන්න; එසේ නැත්නම් මාගේ ක්‍රියා නිසා වත් මා විශ්වාස කරන්න. 12ඒකාන්තයෙන් ම මම එසේ, ඔබට කියමි, මා අදහන්නා මා කරන ක්‍රියා ද කරන්නේ ය. තවද මා පියාණන් වහන්සේ වෙතට වඩින බැවින් ඔහු මීටත් වඩා මහත් ක්‍රියා කරන්නේ ය. 13පුත්‍රයා තුළ පියාණන් වහන්සේ මහිමයට පමුණුවනු ලබන පිණිස, ඔබ මාගේ නාමයෙන් අයැදින කවර දෙයක් වුව ද මම ඉටු කරන්නෙමි. 14ඔබ මාගේ නාමයෙන් අයැදින කවර දෙයක් වුව ද මම ඉටු කරන්නෙමි.”