කියවීම්
2026 මැයි 17
Seventh Sunday of Easter (Seventh Sunday of Easter)
Seventh Sunday of Easter
Reading I
ක්‍රියා 1:12-14
12එකල ඔව්හු ජෙරුසලමට සබත් දවසක ගමන් දුර වූ ඔලීව නම් කන්දේ සිට ජෙරුසලමට පෙරළා පැමිණියහ.
13ඔව්හු නගරයට පිවිස තමන් නවාතැන් ගෙන සිටි උඩුමහල් මැදුරට නැඟුණාහ. ඔව්හු නම්: පේදුරු, ජොහන්, ජාකොබ් සහ ඇන්ඩෘ ද පිලිප් සහ තෝමස් ද බර්තොලමෙව් සහ මතෙව් ද අල්පෙවුස්ගේ පුත්‍ර වූ ජාකොබ් ද අන්ත ජාතිවාදී සීමොන් සහ ජාකොබ්ගේ පුත්‍ර වූ ජූදස් ද යන මොවුහු ය.
14මේ සියලු දෙනා, ස්ත්‍රීන් ද ජේසුස් වහන්සේගේ මෑණියන් වූ මරිය තුමිය ද උන් වහන්සේගේ සහෝදරයන් ද සමඟ එක්සිත් ව නොකඩ ව යාච්ඤාවේ නිරත වූ හ.
Responsorial Psalm
ගීතාවලිය 27:1, 4, 7-8
1හිමිසඳ මාගේ ආලෝකය හා විමුක්තිය ය; මම කිසිවෙකුට බිය නොවෙමි. හිමිසඳ මාගේ ජීව ශක්තිය ය; මට භීතියක් නැත.
4හිමි තුමන්ගෙන් එක ම යැදුමක් යදිමි; එය තරයේ සොයන්නෙමි. එනම්, හිමි තුමන්ගේ ශෝභාලංකාරය නරඹන පිණිසත්, දේව මාලිගාවේ දී උදය භාවනා කරන පිණිසත් මා දිවි ඇති තාක් හැම දා සමිඳුන්ගේ මන්දිරයේ විසීමට ය.
7හිමි තුමාණෙනි, මා හඬ නඟා කියන දෙයට සවන් දුන මැනව; මට කරුණා කොට උත්තර දුන මැනව.
8මා අබිමුවට එන්නැ”යි ඔබ කියන කල, සමිඳුනි, ”ඔබ අබිමුවට එන්නෙමි”යි මාගේ සිතින් කීවෙමි.
Reading II
1 පේදුරු 4:13-16
13එසේ නොව, ඔබ ක්‍රිස්තුන් වහන්සේගේ දුක් විඳීමට පංගුකාරයන් වන තරමට ප්‍රීති වන්න. මෙසේ උන් වහන්සේගේ තේජාන්විත එළිදරව්වීමේ දී ඔබ ප්‍රීතියෙන් ප්‍රමුදිත වනු ඇත.
14ක්‍රිස්තුන් වහන්සේගේ නාමය නිසා නින්දා කරනු ලබන්නහු නම් ඔබ ආශීර්වාද ලද්දහු ය. මන්ද, තේජාන්විත ආත්මයාණන් වහන්සේ වන දෙවියන් වහන්සේගේ ආත්මයාණෝ ඔබ කෙරෙහි රඳන සේක.
15ඔබෙන් කිසිවෙකු මිනී මරන්නෙකු හෝ, සොරෙකු හෝ, අපරාධකරුවෙකු හෝ අනුන්ගේ කාරණාවලට මැදිවන්නෙකු හෝ ලෙස දුක් නොවිඳිය යුතු ය.
16එහෙත් යමෙක් කිතුනුවෙකු මෙන් දුක් විඳී නම්, ඒ ගැන ලජ්ජා නොවී, ඔබ කිතුනු නාමය දරන බැවින් දෙවියන් වහන්සේට ගෞරව කරන්න.
Alleluia
ශුද්ධ වූ ජොහන් 14:18
18ඔබ අනාථ වීමට ඉඩ නොදෙන්නෙමි, මම නැවත ඔබ වෙතට එන්නෙමි.
Gospel
ශුද්ධ වූ ජොහන් 17:1-11
1ජේසුස් වහන්සේ මේ දේවල් වදාරා, ස්වර්ගය දෙසට ඇස් ඔසවා මෙසේ යාච්ඤා කළ සේක: ”පියාණෙනි, දැන් නියමිත මොහොත පැමිණ තිබේ. පුත්‍රයාණන් විසින් ඔබ මහිමයට පමුණුවනු ලබන පිණිස, ඔබ ද පුත්‍රයාණන් මහිමයට පැමිණෙව්ව මැනව.
2මන්ද, ඔබ විසින් පුත්‍රයාණන්ට දෙන ලද සියල්ලන් හට සදාතන ජීවනය දෙන පිණිස, සකල මනුෂ්‍ය වර්ගයා කෙරෙහි ආධිපත්‍යය ඔබ වහන්සේ පුත්‍රයාණන්ට දුන් සේක.
3සදාතන ජීවනය මේ ය: එක ම සැබෑ දෙවියන් වන ඔබ ද, ඔබ විසින් එවන ලද තැනැන් වහන්සේ වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ ද, දැනගැනීම ය.
4ඔබ වහන්සේ මට භාර දුන් මෙහෙය සම්පූර්ණ කරමින් මම මිහි පිට ඔබ මහිමයට පැමිණිවීමි.
5ඉතින් පියාණෙනි, ලොව ඇති වන්නට පෙර ඔබ හා සමඟ මට තිබුණු තේජශ්‍රීයෙන්, දැන් ඔබ ඉදිරියෙහි මා තේජශ්‍රීයට පැමිණෙව්ව මැනව.
6ඔබ වහන්සේ ලෝකයෙන් වෙන් කොට මට දුන් මිනිසුන් හට ඔබගේ නාමය මම ප්‍රකාශ කෙළෙමි. ඔව්හු ඔබට අයිති වූ හ. ඔබ ඔවුන් මට දුන් සේක. ඔව්හු ඔබගේ දහම පිළිපැද්දාහ.
7ඔබ මට දුන් සියල්ල ම ඔබගෙන් පැමිණි බව දැන් ඔව්හු දනිති.
8මන්ද, ඔබ මට පැවසූ වචන මම ඔවුන්ට පැවසීමි. ඔව්හු එය පිළිගෙන මා ඔබ වෙතින් පැමිණි බව සැබැවින් ම දැන, ඔබ මා එවා වදාළ බව විශ්වාස කරති.
9මම ඔවුන් උදෙසා යාච්ඤා කරමි. ඔබ මට දුන් ඔවුන් උදෙසා මිස, ලෝකයා උදෙසා යාච්ඤා නොකරමි. මන්ද, ඔව්හු ඔබගේ ය.
10මා සන්තක සියල්ල ඔබගේ ය; ඔබ සන්තක සියල්ල මාගේ ය. ඔවුන් තුළින් මම තේජශ්‍රීයට පැමිණ සිටිමි.
11මම තවත් ලෝකයෙහි නොසිටිමි. එහෙත් ඔව්හු ලෝකයෙහි සිටිති. මම ඔබ වෙතට එන්නෙමි. සුවිශුද්ධ පියාණෙනි, අප මෙන් ඔවුන් ද, ඒකත්වයක් වන පිණිස, ඔබ මට දුන් ඔබගේ නාමයේ අනුහසින් ඔවුන් ආරක්ෂා කළ මැනව.
The Ascension of the Lord
Reading I
ක්‍රියා 1:1-11
1තියෝපිලස් තුමෙනි, ජේසුස් වහන්සේ කළා වූ ද ඉගැන්නුවා වූ ද සියලු දේ,
2උන් වහන්සේ තෝරාගත් ප්‍රේරිතවරුන්ට ශුද්ධාත්මයාණන් කරණකොටගෙන අණ දී උන් වහන්සේ ස්වර්ගයට ඔසවා ගනු ලැබූ දවස දක්වා මාගේ ප්‍රථම කෘතියෙහි මම විස්තර කෙළෙමි.
3උන් වහන්සේගේ මරණයෙන් පසු, සතළිස් දවසක් අතරතුර ඔවුන්ට දර්ශනය වෙමින් ද දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන දේශනා කරමින් ද බොහෝ නිසැක සාක්ෂිවලින් උන් වහන්සේ ජීවමාන ව ප්‍රකාශ වූ සේක.
4උන් වහන්සේ ඔවුන් සමඟ ආහාර වළඳමින් සිටිය දී ඔවුන් අමතා, ”ඔබ ජෙරුසලමෙන් ඉවත් ව නොගොස්, මා වදාළ පරිදි පියාණන් වහන්සේගේ පොරොන්දුව බලාපොරොත්තුවෙන් සිටින්න.
5මන්ද, ජොහන් වතුරෙන් බව්තීස්ම-ස්නාපනය a කෙළේ ය; එහෙත් මින් නොබෝ දවසකින් ඔබ ශුද්ධාත්මයාණන්ගෙන් බව්තීස්ම-ස්නාපනය කරනු ලබන්නහු ය”යි වදාළ සේක.
6ප්‍රේරිතවරුන් එක්රැස් වූ කල, ”ස්වාමීනි, ඔබ යළිත් ඉශ්රායෙල් රාජ්‍යය පිහිටුවන කාලය මෙය දැ”යි ඔව්හු උන් වහන්සේගෙන් ඇසූ හ.
7උන් වහන්සේ පිළිතුරු දෙමින්, ”පියාණන් වහන්සේ ස්වකීය ආධිපත්‍යයෙන් නියම කළ කාලයන් ද, අවස්ථාවන් ද දැන ගැනීම ඔබට අයිති කාරියක් නොවේ.
8එහෙත්, ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබ කෙරෙහි පැමිණි කල, ඔබ බලය ලබන්නහු ය. එවිට ඔබ ජෙරුසලමෙහි ද මුළු ජුදයෙහි හා සමාරියෙහි ද පොළොවේ සීමාන්තයන් දක්වා ද මාගේ සාක්ෂි කාරයෝ වන්නහු ය”යි වදාළ සේක.
9උන් වහන්සේ මෙසේ වදාරා ඔවුන් බලා සිටිය දී ම ඔසවාගනු ලැබ, වලාකුළකින් වැසී ඔවුන්ට නොපෙනී ගිය සේක.
10උන් වහන්සේ යන කල, ඔවුන් අහස දෙස බලාගෙන සිටිය දී, සුදුවතින් සැරසුණු මනුෂ්‍යයෝ දෙදෙනෙක් ඔවුන් ළඟ සිට,
11ගලීලයේ වැසියෙනි, ඔබ අහස දෙස බලාගෙන සිටින්නේ කුමට ද? ඔබ කෙරෙන් ඔසවාගනු ලැබූ මෙම ජේසුස් වහන්සේ ස්වර්ගයට නඟිනු දුටු සේ ම, ආපසු වඩිනු ඇතැ”යි කී හ.
Responsorial Psalm
ගීතාවලිය 47:2-3, 6-7, 8-9
2අති උතුම් සමිඳාණෝ බියකරු ය, මුළු මහ පොළොව කෙරේ අග රජ ය.
3එතුමාණෝ ජාතීන් පරදා අපට ජය දුන් සේක; සව් සත කෙරේ අග රජ වන සේක.
6දෙවි තුමන් හට ගී පසස් නඟන්න. ගී පසස් නඟන්න. අපේ නිරිඳු හට ගී පසස් නඟන්න; ගී පසස් නඟන්න.
7දෙවිඳාණෝ මුළු දෙරණට නිරිඳාණෝ ය. එතුමන් හට ගී පැසසුම් ගයන්න.
8දෙවිඳාණෝ ජාතීන් අතර රජිඳාණෝ ය; එතුමාණෝ සුවිශුද්ධ සිහසුන් අරා වැඩ සිටින සේක.
9ජාතීන්ගේ අධිපතීහු, ආබ්‍රහම්ගේ වංශයට අයත් දේව සෙනඟ සමඟ එක් රැස් වන්නෝ ය. පොළොවේ බලවත් ජාතීහු දෙවි තුමන්ට අයිති ය; එතුමාණෝ උන් හැම කෙරේ රජකම් කරන සේක.
Reading II
එපීස 1:17-23
17තේජසේ පියාණන් වූ, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ දෙවියන් වහන්සේ, උන් වහන්සේ අවබෝධ කරගැනීම පිණිස, ප්‍රඥාව හා විදර්ශන ශක්තිය ඔබට දෙන මෙන් මම යාච්ඤා කරමි.
18තවද, උන් වහන්සේගේ කැඳවීමේ බලාපොරොත්තුව කිමෙක් ද කියාත්, සැදැහැවතුන්ට හිමි වන තේජාන්විත උරුමයේ ධන සම්භාරය කිමෙක් ද කියාත්,
19ඇදහිලිවන්තයන් වන අප තුළ ක්‍රියා කරන, උන් වහන්සේගේ බලපරාක්‍රමයේ උදාරබව කිමෙක් ද කියාත්, ඔබ දැන ගන්නා පිණිස ඔබේ මනස පැහැදෙනසේ මම යාච්ඤා කරමි.
20දෙවියන් වහන්සේගේ ඒ වික්‍රමාන්විත බලපරාක්‍රමය නම්, උන් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ මරණයෙන් උත්ථාන කර, ස්වර්ග ලෝකයෙහි ස්වකීය දකුණු පස සිංහාසනාරූඪ කිරීමෙන්, ක්‍රිස්තුන් වහන්සේ තුළ උන් වහන්සේ ඉටු කළ ක්‍රියාකාරී බලය ම ය.
21එම ක්‍රිස්තුන් වහන්සේ සියලු අධිපතීන්ටත්, බලධාරීන්ටත්, පරාක්‍රමවලටත්, අධිකාරීන්ටත්, එසේ ම, මේ යුගයේ පමණක් නොව, මතු පැමිණෙන යුගයෙහි ද, නම් කළ හැකි තාක් සියලු ප්‍රභූ නාමයන්ටත් ඉහළින් වැජඹෙන සේක.
22දෙවියන් වහන්සේ සියලු දේ ක්‍රිස්තුන් වහන්සේගේ පාදවලට යටත් කර, උන් වහන්සේ සභාවේ මහේශාක්‍ය නායකයාණන් කොට පත් කළ සේක.
23සභාව උන් වහන්සේගේ ශරීරය ය. ශරීරය එහි හිස වන, සියල්ල බද්ධ කරන, ක්‍රිස්තුන් වහන්සේට සම්බන්ධ වූ විට, එක ම සර්ව සම්පූර්ණත්වයක් ඇති වේ.
Alleluia
ශුද්ධ වූ මතෙව් 28:19, 20
19එබැවින් ඔබ ගොස්, සකල ජාතීන් ශ්‍රාවකයන් කරන්න; පියාණන්ගේ ද පුත්‍රයාණන්ගේ ද ශුද්ධාත්මයාණන්ගේ ද නාමයෙන් ඔවුන් බව්තීස්ම-ස්නාපනය කරන්න;
20මා ඔබට අණ කළ සියල්ල රක්ෂා කරන්න ඔවුන්ට උගන්වන්න. මම ද යුගාන්තය දක්වා සදහට ම ඔබ හා සමඟ සිටිමි”යි වදාළ සේක.
Gospel
ශුද්ධ වූ මතෙව් 28:16-20
16ශ්‍රාවකයෝ එකොළොස් දෙනා ජේසුස් වහන්සේ ඔවුන්ට නියම කළ පරිදි ගලීලයේ කන්දට ගියහ.
17ඔව්හු උන් වහන්සේ දැක පසඟ පිහිටුවා වැන්දෝ ය; එහෙත් සමහරෙක් සැක කළහ.
18ජේසුස් වහන්සේ ඔවුන් වෙතට අවුත් කතා කොට, ”ස්වර්ගයෙහි ද පොළොවෙහි ද සියලු බලය මට පවරා තිබේ.
19එබැවින් ඔබ ගොස්, සකල ජාතීන් ශ්‍රාවකයන් කරන්න; පියාණන්ගේ ද පුත්‍රයාණන්ගේ ද ශුද්ධාත්මයාණන්ගේ ද නාමයෙන් ඔවුන් බව්තීස්ම-ස්නාපනය කරන්න;
20මා ඔබට අණ කළ සියල්ල රක්ෂා කරන්න ඔවුන්ට උගන්වන්න. මම ද යුගාන්තය දක්වා සදහට ම ඔබ හා සමඟ සිටිමි”යි වදාළ සේක.