මැයි 2026

බ්‍ර සි සෙ
12
3456789
10111213141516
17181920212223
24252627282930
31
අද දිනට

කියවීම්

2026 මැයි 27

Wednesday of the Eighth Week in Ordinary Time

දවසේ දේව මෙහෙය
Reading I

1 පේදුරු 1:18-25

18ඔබගේ පියවරුන්ගෙන් ලැබූ නිෂ්ඵල ජීවිත මාර්ගයෙන් ඔබ මුදනු ලැබුවේ රන් රිදී වැනි දිරා යන දේවල් මඟින් නොව, 19කැළලක් වත් පලුද්දක් වත් නැති බැටළු පැටවකුගේ ලේ වැනි ක්‍රිස්තුන් වහන්සේගේ අගනා ලෙය කරණකොටගෙන බව ඔබ දන්නහු ය. 20මේ මිදීම සඳහා ක්‍රිස්තුන් වහන්සේ, ලෝකය මැවීමට පෙර තෝරාගනු ලැබ, ඔබ උදෙසා මේ අන්තිම කාලයේ දී ප්‍රකාශ කරනු ලැබූ සේක. 21ඔබ මෙම ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන, උන් වහන්සේ මරණයෙන් උත්ථාන කොට මහිමයට පත් කළ දෙවියන් වහන්සේ අදහන්නහු ය. මෙලෙස දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල ද බලාපොරොත්තුව ද ඔබට ඇත. 22ඔබ සත්‍යයට කීකරු වීමෙන්, සහෝදරයන්ට අවංක ලෙස ප්‍රේම කරන තරමට ඔබගේ සිත් පිරිසිදු කරගත් බැවින්, ඔබගේ හද පත්ලෙන් නඟින ප්‍රේමයකින් එකිනෙකාට ප්‍රේම කරන්න. 23ඔබ නැවත උත්පාද කරනු ලැබුවේ දිරා යන බීජයකින් නොව, දෙවියන් වහන්සේගේ ජීවමාන, සදාතන වචනය නමැති දිරා නොයන බීජයෙන් ය. 24මන්ද ”සියලු මනුෂ්‍ය වර්ගයා තණ පත් මෙනි, ඔවුන්ගේ සකල තේජස තණ මල මෙනි; තණ කොළ වියළෙයි, මල වැටී යයි, 25එහෙත් ස්වාමීන්ගේ වචනය සදහට ම පවතියි.” මේ වචනය නම් ඔබට දේශනා කරන ලද සුබ අස්න ය.
Responsorial Psalm

ගීතාවලිය 147:12-13, 14-15, 19-20

12එම්බා ජෙරුසලම! සමිඳුන්ට ප්‍රශංසා කරන්න. සියොන් ගිර, තිගේ දෙවිඳුන්ට ප්‍රශංසා කරන්න. 13මන්ද, එතුමාණෝ තිගේ වාසල් දොරටුවල අගුල් සවිමත් කළ සේක; තිගේ දරුවන්ට ආශීර්වාද කළ සේක. 14තිගේ සීමා තුළ සාමය සිදු කරන සේක; ඉස්තරම් තිරිඟු පිටියෙන් තෘප්තියට පමුණුවන සේක. 15එතුමාණෝ ස්වකීය ආඥාව පොළොවෙහි ඉම දක්වා යවන සේක. එතුමන්ගේ වචන යුහු ව පැතිර යයි. 19එතුමාණෝ ජාකොබ්ට සිය වචනය ද ඉශ්රායෙල්ට සිය පණත් සහ නියමයන් ද ප්‍රකාශ කරන සේක. 20එතුමාණෝ වෙන කිසි ජාතියකට මෙසේ නොකළ සේක. ඔව්හු එතුමන්ගේ නියමයන් දැන නොගත්තෝ ය. සමිඳුන්ට ප්‍රශංසා වේ වා!
Alleluia

ශුද්ධ වූ මාර්ක් 10:45

45කුමක් හෙයින් ද මනුෂ්‍ය-පුත්‍රයාණන් වුව ද වැඩියේ, සේවය ලැබීමට නොව සේවය කිරීමට ය; බොහෝ දෙනා උදෙසා මිදීමේ මිලයක් වී සිය දිවි පිදීමට ය.”
Gospel

ශුද්ධ වූ මාර්ක් 10:32-45

32ජේසුස් වහන්සේ සහ ශ්‍රාවකයෝ ජෙරුසලමට යන මාර්ගයෙහි යමින් සිටියහ. ජේසුස් වහන්සේ විස්මිතව සිටි ශ්‍රාවකයින්ට පෙරටුව වැඩිය සේක. පසුපස්සේ ගිය සෙනඟ භීත වී සිටියහ. උන් වහන්සේ යළිත් දොළොස් දෙනා කැඳවා තමන් වහන්සේට සිදු වන්න යන දේ කියන්න පටන්ගෙන, 33බලන්න, අපි ජෙරුසලමට යම්හ. මනුෂ්‍ය-පුත්‍රයාණෝ නායක පූජකවරුන්ටත්, විනයධරයන්ටත් පාවා දෙනු ලබති. ඔව්හු එතුමාණන් මරණයට නියම කොට විජාතීන්ට පාවා දෙන්නෝ ය. 34ඔව්හු එතුමාණන්ට නින්දා කොට, කෙළ ගසා, කසවලින් තළා මරණයට පත් කරන්නෝ ය. තෙ දිනකට පසු එතුමාණෝ උත්ථාන වන සේකැ”යි වදාළ සේක. 35සෙබදීගේ පුත් ජාකොබ් ද ජොහන් ද උන් වහන්සේ වෙත අවුත්, ”ගුරුදේවයෙනි, අප ඉල්ලන දේ ඔබ අපට ඉටුකර දෙන සේක් නම් අපි කැමැත්තෙමු”යි කී හ. 36මා ඔබට කුමක් කර දෙනවාට ඔබ කැමැත්තහු දැ”යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. 37ඔබගේ තේජශ්‍රීයෙහි දී, අපෙන් එක් කෙනෙකුට ඔබගේ දකුණු පස ද, එක් කෙනෙකුට වම් පස ද හිඳගන්නට වර දුන මැනවැ”යි ඔව්හු උන් වහන්සේට කී හ. 38එහෙත් ජේසුස් වහන්සේ, ”ඔබ ඉල්ලන්නේ කුමක් දැ යි ඔබ ම නොදන්නහු ය. මා බොන දුක් වේදනා නමැති කුසලානෙන් බොන්න හෝ මා ලබන බව්තීස්ම-ස්නාපනය ලබන්නට හෝ ඔබට හැකි දැ”යි ඔවුන්ගෙන් ඇසූ සේක. 39අපට හැකිය”යි ඔව්හු උන් වහන්සේට කී හ. ජේසුස් වහන්සේ ද, ”මා බොන කුසලානෙන් ඔබත් බොනු ඇත. මා ලබන බව්තීස්ම-ස්නාපනයෙන් ඔබත් බව්තීස්ම-ස්නාපනය ලබනු ඇත. 40එහෙත්, මාගේ දකුණු පස ද වම් පස ද ඉඳගන්න දීම මා සතු දෙයක් නොවේ. යම් අය සඳහා එය නියම කර ඇද්ද, එය අයිතිවන්නේ ඔවුන්ට ය”යි වදාළ සේක. 41එවිට අනික් දස දෙනා ඒ අසා ජාකොබ් සහ ජොහන් සමඟ අතිශයින් කෝප වූ හ. 42ජේසුස් වහන්සේ ඔවුන් තමන් වෙතට කැඳවා මෙසේ වදාළ සේක: ”විජාතීන් අතර ආණ්ඩුකාරයන් වශයෙන් සම්මත වූවන් ඔවුන් කෙරේ ආධිපත්‍යය පවත්වන බවත්, ඔවුන්ගේ ප්‍රධානීන් ඔවුන් කෙරෙහි බලය පාන බවත් ඔබ දන්නහු ය. 43එහෙත්, ඔබ අතර එසේ නොවේ. ඔබ අතර ප්‍රධානියා වන්න කැමැති යමෙක් ඇද්ද, ඔහු ඔබේ සේවකයා විය යුතු ය. 44ඔබ අතර ස්වාමියා වන්න කැමැති යමෙක් ඇද්ද, ඔහු සියල්ලන්ගේ දාසයා විය යුතු ය. 45කුමක් හෙයින් ද මනුෂ්‍ය-පුත්‍රයාණන් වුව ද වැඩියේ, සේවය ලැබීමට නොව සේවය කිරීමට ය; බොහෝ දෙනා උදෙසා මිදීමේ මිලයක් වී සිය දිවි පිදීමට ය.”