මැයි 2026

බ්‍ර සි සෙ
12
3456789
10111213141516
17181920212223
24252627282930
31
අද දිනට

කියවීම්

2026 මැයි 30

Saturday of the Eighth Week in Ordinary Time

දවසේ දේව මෙහෙය
Reading I

ජූඩ් 17, 20b-25

20එහෙත් ප්‍රේමවන්තයෙනි, ඔබගේ පරිශුද්ධ ඇදහිල්ලෙහි ශක්ති සම්පන්න වන්න; ශුද්ධාත්මයාණන්ගේ බලයෙන් යාච්ඤා කරන්න. 21අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සිය දයාවෙන් ඔබට දෙන, සදාතන ජීවනය බලාපොරොත්තු වෙමින්, දෙවියන් වහන්සේගේ ප්‍රේමයෙහි පවතින්න. 22සැක සිත් ඇති සමහරුන්ට අනුකම්පා කරන්න; 23සමහරුන් ගින්නෙන් ඉවතට ඇදගනිමින්, බියෙන් යුක්ත ව ඔවුන් ගළවාගන්න. අන් සමහරුන්ට පරිස්සමෙන් අනුකම්පාව දක්වන්න. ඔවුන්ගේ පවිටු තෘෂ්ණා කරණකොටගෙන කැළැල් වූ, වස්ත්‍රවලට පවා ද්වේෂ කරන්න. 24ඔබ නොවැටෙන ලෙස ආරක්ෂා කිරීමටත්, උන් වහන්සේගේ තේජස ඉදිරියෙහි ඔබ කැළැල් රහිත ව ද, ඉමහත් ප්‍රීතියෙන් ද පිළිගැන්වීමටත් හැකි, 25අපගේ ගැළවුම්කාර එක ම දෙවියන් වහන්සේට අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මඟින් මහිමය හා තේජස ද, පරාක්‍රමය හා බලය ද, සියලු යුගවලට ප්‍රථමයෙන් වූ ලෙස, දැනටත්, යුගයෙන් යුගයටත් වේ වා! ආමෙන්.
Responsorial Psalm

ගීතාවලිය 63:2, 3-4, 5-6

2ඔබේ ශුද්ධස්ථානයේ දී මම ඔබ දෙස ඕනෑකමින් බලා සිටින්නෙමි. ඔබේ බලය ද මහිමාලංකාරය ද නරඹන්නෙමි. 3ඔබේ තිර පෙම මාගේ ජීවිතයටත් වඩා මට අගනේ ය; මාගේ මුව ඔබට ප්‍රශංසා කරන්නේ ය. 4මුළු ජීවිතයේ දී ම මම ඔබට ප්‍රශංසා කරන්නෙමි; ඔබේ නාමයෙන් අයැදිමින් මම ඔබ දෙසට දෑත නඟන්නෙමි. 5රස මස’වුලින් මෙන් මම සෑහීමට පත් වන්නෙමි; මා මුවින් තුති ගී ගයා මම ඔබ පසසන්නෙමි. 6යහනේදීත් මම ඔබ ගැන සිතන්නෙමි; රෑ යාමවල දී ඔබ ගැන මෙනෙහි කරන්නෙමි.
Alleluia

කොලොස් 3:16, 17

16ක්‍රිස්තුන් වහන්සේගේ දහම් පණිවුඩය ඔබ තුළ සියලු ප්‍රඥාවෙන් සමෘද්ධ ව පවතීවා. එකිනෙකාට ඥානවන්ත ලෙස අවවාදානුශාසනා කරන්න. ගීතිකාවලින් ද ගායනාවලින් ද ශුද්ධ ගීවලින් ද සිතෙහි ස්තුතිවන්තකමින් ද දෙවියන් වහන්සේට ගායනා කරන්න. 17තවද, ඔබ වචනයෙන් හෝ ක්‍රියාවෙන් හෝ කුමක් කරතත්, ඒ සියල්ල ජේසුස් ස්වාමීන් වහන්සේගේ නාමයෙන් කරමින් උන් වහන්සේ තුළින් දෙවි පියාණන් වහන්සේට ස්තුති කරන්න.
Gospel

ශුද්ධ වූ මාර්ක් 11:27-33

27ඔව්හු යළිත් ජෙරුසලමට පැමිණියෝ ය. උන් වහන්සේ දේව මාලිගාවෙහි සක්මන් කරන කල, නායක පූජකවරු ද විනයධරයෝ ද ප්‍රජා මූලිකයෝ ද උන් වහන්සේ වෙත අවුත්, 28ඔබ මේ දේවල් කරන්නේ කවර අධිකාරි බලයකින් ද? මේ දේවල් කිරීමට මේ බලය ඔබට පැවරුවේ කවරෙක් දැ”යි උන් වහන්සේගෙන් ඇසූ හ. 29ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට, ”මමත් ඔබෙන් ප්‍රශ්නයක් අසමි. මට පිළිතුරු දෙන්න; එවිට මේ දේවල් කරන්නේ කවර බලයකින් දැ යි මම ඔබට කියන්නෙමි. 30ජොහන් බව්තීස්ම-ස්නාපනය කිරීමේ බලය ලැබුවේ දෙවියන් වහන්සේගෙන් ද නැතහොත් මනුෂ්‍යයන්ගෙන් ද? මට පිළිතුරු දෙන්නැ”යි වදාළ සේක. 31ඔව්හු තම තමන් අතර විවාද කරමින්, ” ‘දෙවියන් වහන්සේගෙන් ය’යි අප කීවොත්, ‘ඔහු අදහා නොගත්තේ මන්දැ’යි අපට කියනු ඇත. 32එසේ නම්, ‘මනුෂ්‍යයන්ගෙන් ය’යි කියමු ද?” ජොහන් සැබැවින් ම ‘දිවැසිවරයෙකැ’යි කොයි කවුරුනුත් පිළිගත් බැවින් ඔව්හු සෙනඟට භයින්, ”එසේ නොකියමු”යි තීරණය කොට, 33අපි නොදනිමු”යි ජේසුස් වහන්සේට පිළිතුරු දුන්හ. ජේසුස් වහන්සේ ද, ”මේ දේවල් කරන්නේ කවර අධිකාරි බලයකින් දැ යි මමත් ඔබට නොකියමි”යි වදාළ සේක.