මැයි 2026

බ්‍ර සි සෙ
12
3456789
10111213141516
17181920212223
24252627282930
31
අද දිනට

කියවීම්

2026 මැයි 12

Tuesday of the Sixth Week of Easter

දවසේ දේව මෙහෙය
Reading I

ක්‍රියා 16:22-34

22එවිට ජනයා ඔවුන්ට විරුද්ධ ව එක්ව නැඟී සිටියහ. නඩුකාරයෝ ද, ඔවුන්ගේ වස්ත්‍ර ඉරා දමා, කෝටුවලින් ඔවුන්ට තළන්නට අණ කළෝ ය. 23ඔවුන්ට බොහෝ පහර දුන් පසු, හිරගෙයි දමා ඔවුන් පරිස්සමෙන් රැක බලාගන්නා ලෙස හිරගෙයි මුලාදෑනියාට අණ කළහ. 24මෙසේ අණ ලැබූ ඔහු, ඔවුන් ඇතුළු සිරකාමරයේ දමා, ඔවුන්ගේ පාද දඬුකඳන්වල සවි කෙළේ ය. 25එහෙත් මධ්‍යම රාත්‍රිය පමණේ දී, පාවුලු ද සීලස් ද යාච්ඤා කරමින් දෙවියන් වහන්සේට ගී ගැයූ හ. හිරකාරයෝ ද ඔවුන්ට ඇහුම්කන් දීගෙන සිටියහ. 26හදිසියෙන් මහත් පොළෝකම්පාවක් විය. හිරගෙයි අත්තිවාරම් සෙලවිණි. එකෙණෙහි ම සියලු දොරවල් ඇරිණි; සියල්ලන්ගේ බැඳුම් ද ලිහිණි. 27එකල හිරගෙයි මුලාදෑනියා නින්දෙන් අවදි ව, හිරගෙයි දොරවල් ඇරී තිබෙන බව දැක, හිරකරුවන් පැන ගියහ යි සිතා, කඩුව ඇද, සිය පණ හානි කරගන්නට සැරසුණේ ය. 28එහෙත් පාවුලු, කතා කරමින් ”ඔබට කිසි අනතුරක් කර නොගන්න; අපි සියල්ලෝ ම මෙහි ය”යි මහත් හඬින් මොරගසා කී ය. 29එකල ඔහු පහනක් ඉල්ලා ගෙන ඇතුළට පැන, බියෙන් වෙවුලමින්, පාවුලු සහ සීලස් ඉදිරියෙහි වැටී, 30ඔවුන් පිටතට කැඳවා, ”ගැළවීම ලබන පිණිස මා කුමක් කළ යුතු දැ”යි ඇසී ය. 31ඔව්හු පිළිතුරු දෙමින්, ”ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ අදහා ගන්න. එවිට ඔබ ගැළවෙන්නෙහි ය; ඔබ ද ඔබේ ගෙයි වැසියෝ ද ගැළවෙන්නාහ”යි කී හ. 32තවද ඔව්හු ඒ මුලාදෑනියාට ද ඔහුගේ ගෙදර වැසි සියල්ලන්ට ද සමිඳාණන් වහන්සේගේ වචනය පහදා දුන්හ. 33මුලාදෑනියා රාත්‍රියේ ඒ පැයේ දී ම ඔවුන් රැගෙන, ඔවුන්ගේ තුවාළ සේදුවේ ය. ඔහු ද ඔහුගේ ගෙයි වැසි සියල්ලෝ ද එවලේ ම බව්තීස්ම-ස්නාපනය ලැබූ හ. 34ඔහු තමාගේ ගෙට ඔවුන් කැඳවා ගෙන ගොස්, කෑමෙන් සංග්‍රහ කොට තමා දෙවියන් වහන්සේ අදහා ගත් බැවින් සිය ගෙයි වැසි සියල්ලන් සමඟ අතිශයින් ප්‍රීති විය.
Responsorial Psalm

ගීතාවලිය 138:1-2, 2-3, 7-8

1සමිඳුනි, හද පත්ලෙන් ඔබට තුති කරන්නෙමි. දෙවිවරුන් ඉදිරියෙහි ඔබට ගී ගයා ඔබ පසසන්නෙමි. 2ඔබේ ශුද්ධ මාලිගාව දෙස බලා නමස්කාර කරමින් ඔබේ කරුණා ගුණය සහ විශ්වාසවන්තභාවය නිසා ඔබේ නාමයට තුති පුදන්නෙමි. ඔබේ නාමයත්, ආඥාත් උත්තරීතර බව ඔබ පෙන්වූ සේක. 3මා ඔබ යැදි දවසේ දී ඔබ මට පිළිතුරු දුන් සේක; මාගේ සිත සවි කොට, මට ධෛර්යය දුන් සේක. 7මම විපත්ති මැද හැසිරෙම් නමුත් ඔබ මා රැක බලාගන්න සේක. ඔබ මාගේ සතුරන්ගේ උදහසට විරුද්ධ ව ඔබේ හස්තය දිගු කරන සේක. ඔබේ සුර’තින් ඔබ මා ගළවන සේක. 8සමිඳාණෝ මා සම්බන්ධ ව අදහස් කරන දේ ඉටු කරන සේක. සමිඳුනි, ඔබේ ප්‍රේමය සදා පවත්නේ ය. ඔබ ඇරඹුවා වූ දේ නිම කළ මැනව.
Alleluia

ශුද්ධ වූ ජොහන් 16:7, 13

7කෙසේ වෙතත් මම ඔබ හට සැබෑව පවසමි. මාගේ නික්ම යාම ඔබේ ශුභසිද්ධිය පිණිස ය. මා නික්ම නොගියොත් සහායදායකයාණන් වහන්සේ ඔබ වෙත වැඩම නොකරන සේක. එහෙත් මම යන්නෙම් නම්, උන් වහන්සේ ඔබ වෙත එවන්නෙමි. 13එසේ වී නමුත්, ඒ තැනැන් වහන්සේ, එනම්, සත්‍යතාවේ ආත්මයාණන් වහන්සේ පැමිණි කල, උන් වහන්සේ සම්පූර්ණ සත්‍යය කරා යෑමට ඔබට මඟපෙන්වන සේක. මන්ද, උන් වහන්සේ සිය කැමැත්තෙන් ම කතා නොකොට, උන් වහන්සේ අසන දේ ම පවසා, මතු සිදුවන දේ ඔබට ප්‍රකාශ කරනු ඇත.
Gospel

ශුද්ධ වූ ජොහන් 16:5-11

5එහෙත් දැන් මා එවා වදාළ තැනැන් වහන්සේ වෙතට යමි. එසේ වුව ද, ‘ඔබ කොහේ යන්නේ දැ’යි ඔබ අතරෙන් කිසිවෙක් මගෙන් නොඅසති. 6එනමුත්, මා මේ දේවල් ඔබට කී බැවින්, ඔබේ සිත් දුකින් පිරී ඇත. 7කෙසේ වෙතත් මම ඔබ හට සැබෑව පවසමි. මාගේ නික්ම යාම ඔබේ ශුභසිද්ධිය පිණිස ය. මා නික්ම නොගියොත් සහායදායකයාණන් වහන්සේ ඔබ වෙත වැඩම නොකරන සේක. එහෙත් මම යන්නෙම් නම්, උන් වහන්සේ ඔබ වෙත එවන්නෙමි. 8උන් වහන්සේ පැමිණි කල, පාපය ගැන ද ධර්මිෂ්ඨකම ගැන ද විනිශ්චය ගැන ද ලෝකයාට වටහා දෙන සේක. 9පාපය ගැන යයි කීවේ, ඔවුන් මා නොඅදහන බැවිනි; 10ධර්මිෂ්ඨකම ගැන යයි කීවේ, මින්පසු ඔබ මා නොදකින සේ, මා පියාණන් වහන්සේ වෙතට යන බැවිනි. 11විනිශ්චය ගැන යයි කීවේ, මේ ලෝකයේ අධිපතියා විනිශ්චය කරන ලද බැවිනි.