මැයි 2026

බ්‍ර සි සෙ
12
3456789
10111213141516
17181920212223
24252627282930
31
අද දිනට

කියවීම්

2026 මැයි 14

The Ascension of the LordAscension (The Ascension of the Lord)

The Ascension of the Lord
Reading I

ක්‍රියා 1:1-11

1තියෝපිලස් තුමෙනි, ජේසුස් වහන්සේ කළා වූ ද ඉගැන්නුවා වූ ද සියලු දේ, 2උන් වහන්සේ තෝරාගත් ප්‍රේරිතවරුන්ට ශුද්ධාත්මයාණන් කරණකොටගෙන අණ දී උන් වහන්සේ ස්වර්ගයට ඔසවා ගනු ලැබූ දවස දක්වා මාගේ ප්‍රථම කෘතියෙහි මම විස්තර කෙළෙමි. 3උන් වහන්සේගේ මරණයෙන් පසු, සතළිස් දවසක් අතරතුර ඔවුන්ට දර්ශනය වෙමින් ද දෙවියන් වහන්සේගේ රාජ්‍යය ගැන දේශනා කරමින් ද බොහෝ නිසැක සාක්ෂිවලින් උන් වහන්සේ ජීවමාන ව ප්‍රකාශ වූ සේක. 4උන් වහන්සේ ඔවුන් සමඟ ආහාර වළඳමින් සිටිය දී ඔවුන් අමතා, ”ඔබ ජෙරුසලමෙන් ඉවත් ව නොගොස්, මා වදාළ පරිදි පියාණන් වහන්සේගේ පොරොන්දුව බලාපොරොත්තුවෙන් සිටින්න. 5මන්ද, ජොහන් වතුරෙන් බව්තීස්ම-ස්නාපනය a කෙළේ ය; එහෙත් මින් නොබෝ දවසකින් ඔබ ශුද්ධාත්මයාණන්ගෙන් බව්තීස්ම-ස්නාපනය කරනු ලබන්නහු ය”යි වදාළ සේක. 6ප්‍රේරිතවරුන් එක්රැස් වූ කල, ”ස්වාමීනි, ඔබ යළිත් ඉශ්රායෙල් රාජ්‍යය පිහිටුවන කාලය මෙය දැ”යි ඔව්හු උන් වහන්සේගෙන් ඇසූ හ. 7උන් වහන්සේ පිළිතුරු දෙමින්, ”පියාණන් වහන්සේ ස්වකීය ආධිපත්‍යයෙන් නියම කළ කාලයන් ද, අවස්ථාවන් ද දැන ගැනීම ඔබට අයිති කාරියක් නොවේ. 8එහෙත්, ශුද්ධාත්මයාණන් වහන්සේ ඔබ කෙරෙහි පැමිණි කල, ඔබ බලය ලබන්නහු ය. එවිට ඔබ ජෙරුසලමෙහි ද මුළු ජුදයෙහි හා සමාරියෙහි ද පොළොවේ සීමාන්තයන් දක්වා ද මාගේ සාක්ෂි කාරයෝ වන්නහු ය”යි වදාළ සේක. 9උන් වහන්සේ මෙසේ වදාරා ඔවුන් බලා සිටිය දී ම ඔසවාගනු ලැබ, වලාකුළකින් වැසී ඔවුන්ට නොපෙනී ගිය සේක. 10උන් වහන්සේ යන කල, ඔවුන් අහස දෙස බලාගෙන සිටිය දී, සුදුවතින් සැරසුණු මනුෂ්‍යයෝ දෙදෙනෙක් ඔවුන් ළඟ සිට, 11ගලීලයේ වැසියෙනි, ඔබ අහස දෙස බලාගෙන සිටින්නේ කුමට ද? ඔබ කෙරෙන් ඔසවාගනු ලැබූ මෙම ජේසුස් වහන්සේ ස්වර්ගයට නඟිනු දුටු සේ ම, ආපසු වඩිනු ඇතැ”යි කී හ.
Responsorial Psalm

ගීතාවලිය 47:2-3, 6-7, 8-9

2අති උතුම් සමිඳාණෝ බියකරු ය, මුළු මහ පොළොව කෙරේ අග රජ ය. 3එතුමාණෝ ජාතීන් පරදා අපට ජය දුන් සේක; සව් සත කෙරේ අග රජ වන සේක. 6දෙවි තුමන් හට ගී පසස් නඟන්න. ගී පසස් නඟන්න. අපේ නිරිඳු හට ගී පසස් නඟන්න; ගී පසස් නඟන්න. 7දෙවිඳාණෝ මුළු දෙරණට නිරිඳාණෝ ය. එතුමන් හට ගී පැසසුම් ගයන්න. 8දෙවිඳාණෝ ජාතීන් අතර රජිඳාණෝ ය; එතුමාණෝ සුවිශුද්ධ සිහසුන් අරා වැඩ සිටින සේක. 9ජාතීන්ගේ අධිපතීහු, ආබ්‍රහම්ගේ වංශයට අයත් දේව සෙනඟ සමඟ එක් රැස් වන්නෝ ය. පොළොවේ බලවත් ජාතීහු දෙවි තුමන්ට අයිති ය; එතුමාණෝ උන් හැම කෙරේ රජකම් කරන සේක.
Reading II

එපීස 1:17-23

17තේජසේ පියාණන් වූ, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ දෙවියන් වහන්සේ, උන් වහන්සේ අවබෝධ කරගැනීම පිණිස, ප්‍රඥාව හා විදර්ශන ශක්තිය ඔබට දෙන මෙන් මම යාච්ඤා කරමි. 18තවද, උන් වහන්සේගේ කැඳවීමේ බලාපොරොත්තුව කිමෙක් ද කියාත්, සැදැහැවතුන්ට හිමි වන තේජාන්විත උරුමයේ ධන සම්භාරය කිමෙක් ද කියාත්, 19ඇදහිලිවන්තයන් වන අප තුළ ක්‍රියා කරන, උන් වහන්සේගේ බලපරාක්‍රමයේ උදාරබව කිමෙක් ද කියාත්, ඔබ දැන ගන්නා පිණිස ඔබේ මනස පැහැදෙනසේ මම යාච්ඤා කරමි. 20දෙවියන් වහන්සේගේ ඒ වික්‍රමාන්විත බලපරාක්‍රමය නම්, උන් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ මරණයෙන් උත්ථාන කර, ස්වර්ග ලෝකයෙහි ස්වකීය දකුණු පස සිංහාසනාරූඪ කිරීමෙන්, ක්‍රිස්තුන් වහන්සේ තුළ උන් වහන්සේ ඉටු කළ ක්‍රියාකාරී බලය ම ය. 21එම ක්‍රිස්තුන් වහන්සේ සියලු අධිපතීන්ටත්, බලධාරීන්ටත්, පරාක්‍රමවලටත්, අධිකාරීන්ටත්, එසේ ම, මේ යුගයේ පමණක් නොව, මතු පැමිණෙන යුගයෙහි ද, නම් කළ හැකි තාක් සියලු ප්‍රභූ නාමයන්ටත් ඉහළින් වැජඹෙන සේක. 22දෙවියන් වහන්සේ සියලු දේ ක්‍රිස්තුන් වහන්සේගේ පාදවලට යටත් කර, උන් වහන්සේ සභාවේ මහේශාක්‍ය නායකයාණන් කොට පත් කළ සේක. 23සභාව උන් වහන්සේගේ ශරීරය ය. ශරීරය එහි හිස වන, සියල්ල බද්ධ කරන, ක්‍රිස්තුන් වහන්සේට සම්බන්ධ වූ විට, එක ම සර්ව සම්පූර්ණත්වයක් ඇති වේ.
Alleluia

ශුද්ධ වූ මතෙව් 28:19, 20

19එබැවින් ඔබ ගොස්, සකල ජාතීන් ශ්‍රාවකයන් කරන්න; පියාණන්ගේ ද පුත්‍රයාණන්ගේ ද ශුද්ධාත්මයාණන්ගේ ද නාමයෙන් ඔවුන් බව්තීස්ම-ස්නාපනය කරන්න; 20මා ඔබට අණ කළ සියල්ල රක්ෂා කරන්න ඔවුන්ට උගන්වන්න. මම ද යුගාන්තය දක්වා සදහට ම ඔබ හා සමඟ සිටිමි”යි වදාළ සේක.
Gospel

ශුද්ධ වූ මතෙව් 28:16-20

16ශ්‍රාවකයෝ එකොළොස් දෙනා ජේසුස් වහන්සේ ඔවුන්ට නියම කළ පරිදි ගලීලයේ කන්දට ගියහ. 17ඔව්හු උන් වහන්සේ දැක පසඟ පිහිටුවා වැන්දෝ ය; එහෙත් සමහරෙක් සැක කළහ. 18ජේසුස් වහන්සේ ඔවුන් වෙතට අවුත් කතා කොට, ”ස්වර්ගයෙහි ද පොළොවෙහි ද සියලු බලය මට පවරා තිබේ. 19එබැවින් ඔබ ගොස්, සකල ජාතීන් ශ්‍රාවකයන් කරන්න; පියාණන්ගේ ද පුත්‍රයාණන්ගේ ද ශුද්ධාත්මයාණන්ගේ ද නාමයෙන් ඔවුන් බව්තීස්ම-ස්නාපනය කරන්න; 20මා ඔබට අණ කළ සියල්ල රක්ෂා කරන්න ඔවුන්ට උගන්වන්න. මම ද යුගාන්තය දක්වා සදහට ම ඔබ හා සමඟ සිටිමි”යි වදාළ සේක.
Thursday of the Seventh Week of Easter
Reading I

ක්‍රියා 1:15-17, 20-26

15මෙසේ, එක සිය විසි දෙනෙකු පමණ පිරිසක් රැස් ව සිටි විට, පේදුරු තුමා සහෝදරයන් මැද නැඟිට ඔවුන්ට මෙසේ කී ය: 16සහෝදරවරුනි, ජේසුස් වහන්සේ අල්ලාගත් අයට මඟ පෙන්වා දුන් ජූදස් ගැන ශුද්ධාත්මයාණන් වහන්සේ දාවිත්ගේ මුඛයෙන් ප්‍රකාශ කළ ශුද්ධ ලියවිල්ල සම්පූර්ණ විය යුතු ව තිබිණි. 17මන්ද, ඔහු අප සමඟ ගණන්ගනු ලැබ, මේ සේවයෙහි තමාට හිමි කොටස ලැබී ය. 20මන්ද යත්: ‘ඔහුගේ වාසස්ථානය පාළු වේ වා! කිසිවෙක් එහි වාසය නොකෙරෙත් වා!’ කියා ද, ‘ඔහුගේ තනතුර වෙන කෙනෙක් ගනිත් වා!’ කියා ද ගීතාවලියේ ලියා තිබේ. 21එබැවින් ජේසුස් වහන්සේගේ පුනරුජ්ජීවනය පිළිබඳ ව අප සමඟ සාක්ෂි දරන පිණිස යම් කිසිවෙකු අපට එක් විය යුතු ව තිබේ. ජොහන් බව්තීස්ම-ස්නාපනය පටන්ගත් දා සිට, 22ජේසුස් සමිඳාණන් වහන්සේ අප කෙරෙන් ඔසවාගනු ලැබූ දින දක්වා, උන් වහන්සේ අප අතර ආ ගිය මුළු කාලය තුළ, ඔහු නිතර ම අප සමඟ සිටි අයගෙන් එක් කෙනෙකු විය යුතු ය.” 23එබැවින් ඔව්හු දෙදෙනෙකු ඉදිරිපත් කළහ. ඒ යුස්තස් යන තවත් නමක් දැරූ බාර්සබස් නමින් හඳුන්වනු ලැබූ ජෝසෙප් සහ මතියස් යන දෙදෙනා ය. 24ඉන්පසු ඔව්හු යාච්ඤා කරමින්, 25”සියලු මිනිසුන්ගේ සිත් දන්නා වූ ස්වාමීනි, තමාට නියම ස්ථානයට යන පිණිස ජූදස් විසින් අත්හරින ලද මේ සේවයේත් ප්‍රේරිතකමේත් පුරප්පාඩුව පිරවීමට මොවුන් දෙදෙනාගෙන් ඔබ වහන්සේ තෝරාගත් තැනැත්තා කවරෙක් දැ යි පෙන්නුව මැනවැ”යි කී හ. 26එකල ඔව්හු ඔවුන් පිළිබඳ ව දාදු දැමූ හ; දාදුව මතියස්ට වැටිණි. එහෙයින් ඔහු ද ප්‍රේරිතවරුන් එකොළොස් දෙනා සමඟ ගණන්ගන්නා ලදී.
Responsorial Psalm

ගීතාවලිය 113:1-2, 3-4, 5-6, 7-8

1සමිඳුන්ට ප්‍රශංසා කරන්න, සමිඳුන්ගේ මෙහෙකරුවෙනි, ප්‍රශංසා කරන්න, සමිඳුන්ගේ නාමයට ප්‍රශංසා කරන්න. 2මෙතැන් පටන් සදහට සමිඳුන්ගේ නාමයට ප්‍රශංසා වේ වා! 3සමිඳුන්ගේ නාමයට නැගෙනහිර පටන් බස්නාහිර දක්වා ප්‍රශංසා කටයුතු ය. 4සියලු ජාතීන්ට ඉහළින් සමිඳාණෝ වැජඹෙන සේක. එතුමන්ගේ මහිමාලංකාරය අහස් තලය ඉක්මවා යයි. 5අපේ දෙවි සමිඳුන්ට සමාන අන් කෙනෙක් නැත; එතුමාණෝ උසස් තැන්හි වැඩ හිඳින සේක. 6එහෙත්, අහසත්, පොළොවත් බලන පිණිස එතුමාණෝ පහතට නැමෙන සේක. 7එතුමාණෝ දුප්පතා ධූලියෙන් නැඟුටුවන සේක; දිළිඳා කසළ ගොඩින් ඔසවන සේක. 8එසේ කරන්නේ, ඔවුන් අධිපතීන් සමඟ, තම සෙනඟගේ අධිපතීන් සමඟ හිඳුවන පිණිස ය.
Alleluia

ශුද්ධ වූ ජොහන් 15:16

16ඔබ මා තෝරාගත්තේ නැත. මම ඔබ තෝරාගෙන පත් කෙළෙමි. එසේ කෙළේ ඔබ ගොස් බොහෝ පල දරන පිණිසත්, ඔබේ පල පවතින පිණිසත්, මාගේ නාමයෙන් ඔබ පියාණන් වහන්සේගෙන් ඉල්ලන කවර දෙයක් වුව ද උන් වහන්සේ ඔබට දෙන පිණිසත් ය.
Gospel

ශුද්ධ වූ ජොහන් 15:9-17

9පියාණන් වහන්සේ මට ප්‍රේම කළාක් මෙන් ම මම ද ඔබට ප්‍රේම කෙළෙමි. මාගේ ප්‍රේමයෙහි පවතින්න. 10මා, මාගේ පියාණන් වහන්සේගේ ආඥා පිළිපැද උන් වහන්සේගේ ප්‍රේමයෙහි පවතින සේ ම, ඔබත් මාගේ ආඥා පිළිපදින්නහු නම්, මාගේ ප්‍රේමයෙහි පවතින්නහු ය. 11මේ දේවල් මා ඔබට ප්‍රකාශ කෙළේ, මාගේ ප්‍රීතිය ඔබ තුළ ඇති වන පිණිසත්, ඔබේ ප්‍රීතිය පරිපූර්ණ වන පිණිසත් ය. 12මාගේ ආඥාව නම්: ‘මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න’ යනුයි. 13යමෙකු තමාගේ මිතුරන් උදෙසා දිවි පිදීමට වඩා උතුම් ප්‍රේමයක් කිසිවෙකුට නැත. 14මා ඔබට අණ කරන දේ ඔබ කරන්නහු නම්, ඔබ මාගේ මිතුරෝ ය. 15මෙතැන් පටන් මම ඔබට දාසයෝ යයි නොකියමි; මන්ද, දාසයෙක් තමාගේ ස්වාමියා කරන්නේ කුමක් දැ යි නොදනියි. එහෙත්, මාගේ පියාණන් වහන්සේගෙන් මා ඇසූ සියල්ල ම ඔබට දන්වා වදාළ බැවින්, මම ඔබට මිත්‍රයෝ යයි කීවෙමි. 16ඔබ මා තෝරාගත්තේ නැත. මම ඔබ තෝරාගෙන පත් කෙළෙමි. එසේ කෙළේ ඔබ ගොස් බොහෝ පල දරන පිණිසත්, ඔබේ පල පවතින පිණිසත්, මාගේ නාමයෙන් ඔබ පියාණන් වහන්සේගෙන් ඉල්ලන කවර දෙයක් වුව ද උන් වහන්සේ ඔබට දෙන පිණිසත් ය. 17මා ඔබට අණ කරන දේ මේ ය: එකිනෙකාට ප්‍රේම කරන්න.”