කියවීම්
2026 මැයි 7
Thursday of the Fifth Week of Easter
දවසේ දේව මෙහෙය
Reading I
ක්‍රියා 15:7-21
7දීර්ඝ විවාදයක් ඇති වූ පසු පේදුරු නැඟිට ඔවුන් අමතා, ”සහෝදරයෙනි, විජාතීන් මාගේ මුඛයෙන් පණිවුඩය අසා අදහන පිණිස බොහෝ කලකට ඉහත දෙවියන් වහන්සේ ඔබ අතරෙන් මා තෝරා ගත් බව ඔබ දන්නහු ය.
8සියලු සිත් දන්නා වූ දෙවියන් වහන්සේ අපට මෙන් ම ඔවුන්ටත් ශුද්ධාත්මයාණන් දී, ඔවුන් ද පිළිගත් අය බවට සාක්ෂි දුන් සේක.
9උන් වහන්සේ, ඔවුන් සහ අප අතර කිසි වෙනසක් නොකොට, ඇදහිල්ල කරණකොටගෙන ඔවුන්ගේ සිත් පවිත්‍ර කළ සේක.
10එබැවින් අපගේ පියවරුන්ට වත් අපට වත් දැරිය නොහැකි වියගසක් ශ්‍රාවකයන්ගේ කර පිට තැබීමෙන් ඔබ කුමක් නිසා දෙවියන් වහන්සේ පිරික්සන්නහු ද?
11එසේ නොව, ඔවුන් මෙන් ම අපත් ගැළවෙන්නේ ජේසුස් ස්වාමීන් වහන්සේගේ වරප්‍රසාදයෙන් බව විශ්වාස කරමු”යි කී ය.
12එවිට මුළු සමූහයා නිශ්ශබ්ද වී, තමන් ලවා දෙවියන් වහන්සේ විජාතීන් අතර දැක් වූ ලකුණු ද අරුමපුදුම දේ ද ගැන පාවුලු සහ බාර්ණබස් කී සියල්ලට සවන් දුන්හ.
13ඒ දෙදෙනා කතා කර නිම වූ පසු ජාකොබ් පිළිතුරු දෙමින්,
14සහෝදරයෙනි, මට සවන් දුන මැනව. දෙවියන් වහන්සේ තමන්ගේ නාමය දැරීමට විජාතීන් අතුරෙන් සෙනඟක් තෝරාගන්නා පිණිස මුල පටන් ම ක්‍රියා කළ සැටි සීමොන් කියා දුන්නේ ය.
15දිවැසිවරුන්ගේ වචනයෙන් ද එය අනුමත වේ, ඒ මෙසේ ය: ‘මින්පසු මම හැරී අවුත්,
16දාවිත්ගේ වැටී ගිය මණ්ඩපය නැවත සාදා, එහි නටබුන් තැන් ද යළිත් ගොඩනඟා,
17සවිමත් කරන්නෙමි. එවිට අවශේෂ මනුෂ්‍යයන් ද මාගේ නාමය දරන සියලු ජාතීන් ද,
18සමිඳාණන් වහන්සේ සොයන්නෝ ය. ලෝකයේ පටන්ගැන්මේ සිට ක්‍රියා කරන සමිඳාණන් වහන්සේ මේ සියල්ල වදාරන සේක.’
19එබැවින් මාගේ නිගමනය නම්; විජාතීන් අතර දෙවියන් වහන්සේ වෙතට හැරෙන්නන්ට තවත් හිරිහැර නොකොට,
20රූප සම්බන්ධ දූෂණකම්වලින් ද කාමමිථ්‍යාචාරයෙන් ද බොටුව මිරිකා මැරූ සතුන්ගේ මස් කෑමෙන් ද ලෙයින් ද වැළකෙන ලෙස ලිපියකින් දන්වා යැවිය යුතු ය, යනු යි.
21මන්ද, ආදි පරම්පරාවල සිට ම මෝසෙස්ගේ ව්‍යවස්ථාව ප්‍රකාශ කරන්නෝ සියලු නගරවල සිටිති. ඔව්හු සියලු සබත් දිනවල එය ධර්මශාලාවල දී කියවති”යි කී ය.
Responsorial Psalm
ගීතාවලිය 96:1-2, 2-3, 10
1සමිඳුන් හට නව ගීයක් ගයන්න; පොළෝ වැසි සියල්ලෙනි, සමිඳුන් හට ගී ගයන්න.
2සමිඳුන් හට ගී ගයා, එතුමන්ගේ නාමයට ආසිරි පතන්න; එතුමන්ගේ ගැළවීමේ ශුභාරංචිය දිනෙන් දින ප්‍රකාශ කරන්න.
3විජාතීන් අතර එතුමන්ගේ මහිමය ප්‍රකාශ කරන්න; ජනතාවන් අතර එතුමන්ගේ ප්‍රබල ක්‍රියා පවසන්න.
10විජාතීන් අතර මෙසේ පවසන්න: ”සමිඳාණෝ රජකම් කරන සේක; නොසැලෙන ලෙස ලෝකය පිහිටා ඇත; එතුමාණෝ සාධාරණ ලෙස ජනතාවන් විනිශ්චය කරන සේක.
Alleluia
ශුද්ධ වූ ජොහන් 10:27
27මාගේ බැටළුවෝ මාගේ කටහඬ අසති. මම ද ඔවුන් අඳුනමි; ඔව්හු ද මා පසුපස්සේ එති.
Gospel
ශුද්ධ වූ ජොහන් 15:9-11
9පියාණන් වහන්සේ මට ප්‍රේම කළාක් මෙන් ම මම ද ඔබට ප්‍රේම කෙළෙමි. මාගේ ප්‍රේමයෙහි පවතින්න.
10මා, මාගේ පියාණන් වහන්සේගේ ආඥා පිළිපැද උන් වහන්සේගේ ප්‍රේමයෙහි පවතින සේ ම, ඔබත් මාගේ ආඥා පිළිපදින්නහු නම්, මාගේ ප්‍රේමයෙහි පවතින්නහු ය.
11මේ දේවල් මා ඔබට ප්‍රකාශ කෙළේ, මාගේ ප්‍රීතිය ඔබ තුළ ඇති වන පිණිසත්, ඔබේ ප්‍රීතිය පරිපූර්ණ වන පිණිසත් ය.