කියවීම්
2026 මැයි 28
Thursday of the Eighth Week in Ordinary Time
දවසේ දේව මෙහෙය
Reading I
1 පේදුරු 2:2-5, 9-12
2සැබැවින් ම සමිඳාණන් වහන්සේ යහපත් බව ඔබ අත්දැකීමෙන් දන්නා බැවින්,
3ඔබ වර්ධනය වී ගැළවීම ලබන පිණිස අලුත උපන් බිළිඳුන් මෙන් පිරිසිදු ආධ්‍යාත්මික කිරිවලට බොහෝ සෙයින් ආශා වන්න.
4මිනිසුන් විසින් ප්‍රතික්ෂේප කරනු ලැබුවත් දෙවියන් වහන්සේ විසින් තෝරාගනු ලැබූ, අනර්ඝ ජීවමාන ගලක් වැනි, උන් වහන්සේ වෙත පැමිණෙන්න.
5ආත්මික ගෘහයක් ගොඩනඟන ලෙස ඔබ ජීවමාන ගල් මෙන් උන් වහන්සේ වෙත පැමිණ, එහි ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ මඟින්, දෙවියන් වහන්සේට ප්‍රසන්න ආත්මික පූජා පුද කරන පිණිස ශුද්ධ පූජක පිරිසක් වන්න.
9එහෙයින්, අන්ධකාරයෙන් ස්වකීය විස්මපත් ආලෝකයට ඔබ කැඳවාගත් තැනැන් වහන්සේගේ මහිමාන්විත ක්‍රියා දන්වනු පිණිස ඔබ වනාහි තෝරාගත් වංශයක් ද රාජකීය පූජක පෙළක් ද ශුද්ධ ජාතියක් ද දෙවියන් වහන්සේ සතු සෙනඟක් ද වන්නහු ය.
10වරක් ඔබ දෙවියන් වහන්සේගේ සෙනඟ ව නොසිටියහ; දැන් ඔබ උන් වහන්සේගේ සෙනඟ ව සිටින්නහු ය. වරක් ඔබ දයාව නොලැබ සිටියහු ය; දැන් ඔබ දයාව ලැබ සිටින්නහු ය.
11ප්‍රේමවන්තයෙනි, ඔබ ආගන්තුකයන් හා විදේශීන් මෙන්, ආත්මයට විරුද්ධ ව සටන් කරන මාංසික තෘෂ්ණාවලින් වැළකී සිටින ලෙස ඔබගෙන් උදක් ම ඉල්ලමි.
12ඔබ නපුර කරන්නෝ යයි විජාතිකයන් ඔබට විරුද්ධ ව කතා කරන නමුත්, ඔවුන් ඔබගේ යහපත් ක්‍රියා දැක විනිශ්චය දවසේ දී දෙවියන් වහන්සේට ගෞරව කරන පිණිස ඔවුන් අතර යහපත් හැසිරීමකින් කල් යවන්න.
Responsorial Psalm
ගීතාවලිය 100:2, 3, 4, 5
2සමිඳුන් හට ප්‍රීතියෙන් වැඳ පුදා, ප්‍රීති ගී ගයමින් එතුමන් ඉදිරියට පැමිණෙන්න.
3සමිඳාණන් දෙවිඳුන් බව දැනගන්න. අප මැව්වේ එතුමාණෝ ය; අපි එතුමන්ගේ ය, එතුමන්ගේ සෙනඟ ය. එතුමන්ගේ තණ බිම්වල බැටළුවෝ ය.
4තුති පුදා, එතුමන්ගේ වාසල් දොරටුවලට ද තුති ගී ගය ගයා, එතුමන්ගේ මන්දිරවලට ද ඇතුළු වන්න.
5මන්ද, සමිඳාණෝ යහපත් ය; එතුමන්ගේ ප්‍රේමය ස්ථිර ය; සදහට ම පවත්නේ ය. පරපුරෙන් පරපුරට එතුමන්ගේ විශ්වාසවන්තකම පවත්නේ ය.
Alleluia
ශුද්ධ වූ ජොහන් 8:12
12යළිත් අවස්ථාවක ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට, ”ලෝකයේ ආලෝකය මම ය; මා අනුගමනය කරන්නා අඳුරෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේ ය”යි වදාළ සේක.
Gospel
ශුද්ධ වූ මාර්ක් 10:46-52
46ඔව්හු ජෙරිකෝවට පැමිණියෝ ය. උන් වහන්සේ සිය ශ්‍රාවකයන් හා මහා සමූහයක් ද සමඟ ජෙරිකෝවෙන් නික්ම යන කල, තිමේයස්ගේ පුත් බර්තිමේයස් නම් අන්ධ හිඟන්නෙක් පාර අද්දර වාඩි වී සිටියේ ය.
47මේ වඩින්නේ නාසරෙත්හි ජේසුස් වහන්සේ ය”යි අසා, ”දාවිත්ගේ පුත් ජේසුස් වහන්ස, මට අනුකම්පා කළ මැනවැ”යි ඔහු මොරගසන්න විය.
48නිහඬ වන ලෙස බොහෝ දෙනෙක් ඔහුට තරවටු කළහ. එහෙත් ඔහු, ”දාවිත්ගේ පුත්‍රයාණෙනි, මට අනුකම්පා කළ මැනවැ”යි වැඩි වැඩියෙන් මොරගැසී ය.
49ජේසුස් වහන්සේ නැවතී, ”ඔහුට හඬගසන්නැ”යි වදාළ සේක. ඔව්හු අන්ධයාට හඬගසා, ”ධෛර්ය ගන්න, නැඟිටින්න, එතුමාණෝ ඔබ කැඳවන සේකැ”යි කී හ.
50ඔහු එවිට තමාගේ සළුව ගසාදමා, පැන නැඟී ජේසුස් වහන්සේ වෙතට ආවේ ය.
51ජේසුස් වහන්සේ ඔහුට කතා කොට, ”මා ඔබට කුමක් කර දෙනවාට ඔබ කැමැති දැ”යි ඔහුගෙන් ඇසූ සේක. ”ගුරුදේවයෙනි, මට පෙනීම දුන මැනවැ”යි අන්ධයා උන් වහන්සේට කී ය.
52ජේසුස් වහන්සේ ද, ”යන්න, ඔබේ ඇදහිල්ල ඔබට සුවසම්පත ලබා දී ඇතැ”යි ඔහුට වදාළ සේක. ඒ ඇසිල්ලෙහි ම ඔහු පෙනීම ලබා මඟ දිගේ උන් වහන්සේ පසුපස්සේ ගියේ ය.