කියවීම්
2026 මැයි 25
Memorial of the Blessed Virgin Mary, Mother of the Church
දවසේ දේව මෙහෙය
Reading I
උත්පත්ති කථාව 3:9-15, 20
9එහෙත්, දෙවි සමිඳාණන් වහන්සේ මිනිසාට හඬ ගසමින්, ”නුඹ කොහේ දැ”යි ඇසූ සේක.
10ඔබ වහන්සේගේ කටහඬ උයනේ මට ඇසිණි. එහෙත්, මා නග්න බැවින්, බිය වී සැඟවුණෙමි”යි ඔහු උත්තර දුන්නේ ය.
11එවිට උන් වහන්සේ, ”නුඹ නග්න බව කීවේ කවරෙක් ද? මා නුඹට තහනම් කළ ගසින් නුඹ ගෙඩි කෑවෙහි දැ”යි ඇසූ සේක.
12ඔහු ද පිළිතුරු දෙමින්, ”ඔබ මට සහකාරිය වශයෙන් දුන් ස්ත්‍රිය ඒ ගසේ ගෙඩි කඩා මට දුන්නා ය; මමත් කෑවෙමි”යි පැවසී ය.
13එවිට දෙවි සමිඳාණන් වහන්සේ ස්ත්‍රියට කතා කොට, ”නුඹ මෙය කෙළේ මන්දැ”යි ඇසූ සේක. ”සර්පයා මා රැවටී ය; මමත් කෑවෙමි”යි ඈ පිළිතුරු දුන්නා ය.
14එවිට දෙවි සමිඳාණන් වහන්සේ සර්පයාට කතා කොට මෙසේ වදාළ සේක: ”තා මෙය කළ බැවින් සියලු ගමහිෂයන්ට ද වනයේ සියලු මෘගයන්ට ද වඩා තෝ සාප ලද්දෙක් වේ වා! දිවි ඇති තාක් උර ගා යමින් තෝ දූවිලි කන්නෙහි ය.
15තා සහ ස්ත්‍රිය අතර ද තගේ වංශය සහ ඇගේ වංශය අතර ද බද්ධ වෛරය තබන්නෙමි. ඔහු තගේ හිස පොඩි කරන්නේ ය; තෝ ද ඔහුගේ විලුඹ දෂ්ට කරන්නෙහි ය.”
20මිනිසා සිය බිරිඳට ‘ඒව’ යන නම දුන්නේ ය. මන්ද, ඈ ජීවමාන සියල්ලන්ගේ මාතාව බැවිනි.
Responsorial Psalm
ගීතාවලිය 87:1-2, 3 and 5, 6-7
1ශුද්ධ කන්ද මත සමිඳාණෝ සිය නගරය ගොඩනැඟුව සේක.
2ඉශ්රායෙල්හි අන්කිසි තැනකට වඩා සමිඳාණෝ ජෙරුසලමට ප්‍රේම කරන සේක.
3එම්බා දෙවි නුවර! ඔබ ගැන අසිරිමත් දෙය පවසනු ලබන්නේ ය.
5සියොන් කන්ද ගැන මෙසේ කියනු ලබන්නේ ය; ‘සියලු ජාතීහු එහි උපත ලද්දෝ ය; මහෝත්තමයාණෝ ඇය ශක්තිමත් කරන සේක.’
6ජනතාවන්ගේ ලේඛනයක් සකස් කරන විට, සියලු දෙන ජෙරුසලම් වැසියන් ලෙස, ‘මොහු මෙතැන ජන්ම ලාභය ලැබී ය’යි සමිඳාණෝ ගණන්ගන්න සේක.
7‘අපේ සියලු ආසිරිවල උල්පත සියොන් ය’යි කියමින්, ඔව්හු ගී ගයමින් නටන්නෝ ය.
Alleluia
:-
පාඨ අන්තර්ගතය ලබා ගත නොහැක.
Gospel
ශුද්ධ වූ ජොහන් 19:25-34
25ජේසුස් වහන්සේගේ මෑණියෝ ද මෑණියන්ගේ සහෝදරී වූ ක්ලෝපාස්ගේ භාර්යාව වූ මරියා ද මග්දලායේ මරියා ද උන් වහන්සේගේ කුරුසිය ළඟ සිටියෝ ය.
26එකල ජේසුස් වහන්සේ සිය මෑණියන් ද තමා ප්‍රේම කළ ශ්‍රාවකයා ද ළඟ සිටිනු දැක, ”ස්ත්‍රිය, මෙන්න ඔබේ පුත්‍රයා ය”යි සිය මෑණියන් හට වදාළ සේක.
27ඉන්පසු උන් වහන්සේ එම ශ්‍රාවකයාට කතා කොට, ”මෙන්න ඔබේ මෑණියෝ ය”යි වදාළ සේක. ඒ මොහොතේ සිට ඒ ශ්‍රාවකයා තම නිවසට ඇය පිළිගත්තේ ය.
28ඉන්පසු ජේසුස් වහන්සේ සියල්ල නිමාවට පත් වූ බව දැන, ශුද්ධ ලියවිල්ල ඉෂ්ට වන පිණිස, ”මට පිපාස ය”යි වදාළ සේක.
29එහි විනාකිරි පිරූ භාජනයක් තිබිණි. එබැවින් ඔව්හු විනාකිරි පොඟවන ලද මූදුහත්තක් හිසොප් දණ්ඩක ගසා, උන් වහන්සේගේ මුඛයට ළං කළහ.
30ජේසුස් වහන්සේ විනාකිරි පිළිගත් පසු, ”සියල්ල නිම වී ය”යි වදාරා, හිස නමා ස්වකීය ප්‍රාණය භාර දුන් සේක.
31එය සබත් දිනට පෙර සූදානම් වීමේ දවස විය. ඒ සබත් දවස විශේෂ දිනයක් වූ බැවින් එදින ශරීර කුරුසිවල ම නොතිබෙන පිණිස, කුරුසියේ ඇණ ගැසූ අයගේ කකුල් කඩා ඔවුන් ඉවත් කරන මෙන් ජුදෙව්වරු පිලාත්ගෙන් ඉල්ලා සිටියහ.
32එබැවින් හේවායෝ අවුත්, පළමුවැන්නාගේත්, එමෙන් ම ඔහු සමඟ ඇණගසන ලද දෙවැන්නාගේත් කකුල් කඩාදැමූ හ.
33එහෙත් ඔව්හු ජේසුස් වහන්සේ ළඟට පැමිණි විට උන් වහන්සේ මිය ගොස් සිටින බව දැක, උන් වහන්සේගේ කකුල් නොකැඩූ හ.
34එහෙත්, හේවායන්ගෙන් කෙනෙක් හෙල්ලයකින් උන් වහන්සේගේ ඇලයට ඇන්නේ ය. එකෙණෙහි ම, ලේත් වතුරත් ගලා ආවේ ය.