මැයි 2026

බ්‍ර සි සෙ
12
3456789
10111213141516
17181920212223
24252627282930
31
අද දිනට

කියවීම්

2026 මැයි 29

Friday of the Eighth Week in Ordinary Time

දවසේ දේව මෙහෙය
Reading I

1 පේදුරු 4:7-13

7සියලු දේවල අවසානය ළං වී ඇත. එබැවින් ඔබ සිහි කල්පනාවෙන් යුතු ව යාච්ඤාව සඳහා අවදිව සිටින්න. 8ප්‍රේමය පව් රාශියක් කමා කිරීමට හේතු වන බැවින්, සියලු දේට වඩා එකිනෙකා කෙරෙහි ඉමහත් ප්‍රේමයක් ඇති ව සිටින්න. 9මැසිවිලි නොකියා එකිනෙකාට ආගන්තුක සත්කාර කරන්න. 10දෙවියන් වහන්සේගේ විවිධාකාර වරප්‍රසාදවල විශ්වාසී ගබඩාකාරයන් මෙන්, එකිනෙකා ලබා ඇති කුශලතා එකිනෙකාට සේවය කරන පිණිස යොදන්න. 11යමෙක් දේශනා කරන්නේ නම් දේව වචනය දේශනා කෙරේ වා! යමෙක් සේවය කරන්නේ නම්, දෙවියන් වහන්සේ ප්‍රදානය කරන ශක්තිය අනුව ඔහු සේවය කරා වා! ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන දෙවියන් වහන්සේට සියලු කාරණාවල දී ගෞරව පැමිණෙන පිණිස එසේ කළ යුතු ය. මහිමයත්, පරාක්‍රමයත් සදහට ම උන් වහන්සේගේ ය. ආමෙන්. 12ප්‍රේමවන්තයෙනි, ඔබ පරීක්ෂා කර බලන පිණිස පැමිණෙන, ඔබ අතර ඇති පීඩා නමැති ගින්න ගැන, නොසිතූ දෙයක් ඔබට සිදු වන්නාක් මෙන් පුදුම නොවන්න. 13එසේ නොව, ඔබ ක්‍රිස්තුන් වහන්සේගේ දුක් විඳීමට පංගුකාරයන් වන තරමට ප්‍රීති වන්න. මෙසේ උන් වහන්සේගේ තේජාන්විත එළිදරව්වීමේ දී ඔබ ප්‍රීතියෙන් ප්‍රමුදිත වනු ඇත.
Responsorial Psalm

ගීතාවලිය 96:10, 11-12, 13

10විජාතීන් අතර මෙසේ පවසන්න: ”සමිඳාණෝ රජකම් කරන සේක; නොසැලෙන ලෙස ලෝකය පිහිටා ඇත; එතුමාණෝ සාධාරණ ලෙස ජනතාවන් විනිශ්චය කරන සේක. 11සගලොව ප්‍රීති ප්‍රමෝද වේ වා! නරලොව තුටු පහටු වේ වා! සමුදුරත් එහි ඇති සියල්ලත් ගිගුරුම් දේ වා! 12කෙත්වතු සහ එහි ඇති සියල්ලත් ප්‍රීතිමත් වේ වා! එවිට වන රොදෙහි ගස්කොළන් ප්‍රීති නාද දෙන්නේ ය. 13සමිඳාණන් මිහිතලය පාලනය කිරීමට වඩින විට ඒවා නද දෙන්නේ ය; එතුමාණෝ, ලෝ වැසියන් සාධාරණ ලෙස ද අවංක ලෙස ද පාලනය කරන සේක.”
Alleluia

ශුද්ධ වූ ජොහන් 15:16

16ඔබ මා තෝරාගත්තේ නැත. මම ඔබ තෝරාගෙන පත් කෙළෙමි. එසේ කෙළේ ඔබ ගොස් බොහෝ පල දරන පිණිසත්, ඔබේ පල පවතින පිණිසත්, මාගේ නාමයෙන් ඔබ පියාණන් වහන්සේගෙන් ඉල්ලන කවර දෙයක් වුව ද උන් වහන්සේ ඔබට දෙන පිණිසත් ය.
Gospel

ශුද්ධ වූ මාර්ක් 11:11-26

11ජේසුස් වහන්සේ ජෙරුසලමට පැමිණ දේව මාලිගාවට ඇතුළු ව අවට සියල්ල නරඹා, සවස් වූ බැවින් දොළොස් දෙනා සමඟ බෙතානිය බලා නික්ම ගිය සේක. 12පසු දා ඔවුන් බෙතානියෙන් නික්ම ගිය කල උන් වහන්සේට බඩගිනි විය. 13උන් වහන්සේ කොළ ඇති අත්තික්කා ගසක් දුර දී දැක, ඉන් යමක් ලැබේ දෝ යි සිතමින් එහි වැඩිය සේක. ගස ළඟට පැමිණි කල, කොළ මිස අන් කිසිවක් සම්බ නො වී ය. ඒ අත්තික්කා වාරය නුවූ බැවිනි. 14උන් වහන්සේ, ”මෙවක් පටන් සදහට ම කිසිවෙක් කිසි කලෙක තාගෙන් පල අනුභව නොකරත්වා”යි ගසට වදාළ සේක. එය උන් වහන්සේගේ ශ්‍රාවකයන්ට ඇසිණි. 15ඔව්හු ජෙරුසලමට පැමිණියෝ ය. උන් වහන්සේ දේව මාලිගාවට පිවිස එහි වෙළහෙළඳාම් කළවුන් පිටතට පලවා හරින්න පටන්ගෙන, මුදල් මාරු කරන්නන්ගේ මේස ද පරෙවි වෙළෙඳුන්ගේ ආසන ද පෙරළා දමා, 16දේව මාලිගාව මැදින් කිසිදු දෙයක් ගෙන යන්න කිසිවෙකුට ඉඩ නුදුන් සේක. 17උන් වහන්සේ ඔවුන්ට උගන්වමින්, ” ‘මාගේ ගෘහය සියලු ජාතීන්ට යාච්ඤාවේ ගෘහයකැ’යි කියනු ලබන බව ලියා නැද් ද? එහෙත් ඔබ එය හොරුන්ගේ ගුහාවක් කර ඇතැ”යි වදාළ සේක. 18නායක පූජකවරු ද විනයධරයෝ ද ඒ අසා උන් වහන්සේ නසාදැමීමට මඟක් සෙවූ හ. මන්ද, උන් වහන්සේගේ අනුශාසනා ගැන මුළු සමූහයා විස්මිත වූ බැවින් ඔව්හු උන් වහන්සේට බිය වූ හ. 19සවස් වූ විට උන් වහන්සේ නුවරින් නික්ම ගිය සේක. 20ඔව්හු පසු දා උදේ යද්දී, අත්තික්කා ගස; මුල පටන් වියළී තිබෙනු දුටුවෝ ය. 21ඒ සිද්ධිය මතක් වී, පේදුරු කතා කරමින්, ”බලන්න ගුරුදේවයෙනි, ඔබ සාප කළ අත්තික්කා ගස වියළී තිබේ ය”යි කී ය. 22ජේසුස් වහන්සේ ඔවුන්ට උත්තර දෙමින්, මෙසේ වදාළ සේක: ”දෙවියන් වහන්සේ අදහාගන්න. 23සැබැවින් ම මම ඔබට කියමි, කවරෙක් නමුත් මේ කන්දට, ‘ඉදිරීගොස්, මුහුදෙහි පතිත වේ වා’යි කියා, තමා කියන ඒ දේ සිදු වන්නේ ම යයි නිසැක සිතින් අදහන්නේ නම් එය සිදු වන්නේ ම ය. 24එබැවින් මම ඔබට කියමි, ඔබ යාච්ඤාවෙන් අයැදින කවර දෙයක් වුව ද, එය ඔබට ලැබුණේ යයි අදහන්න. එවිට එය ඔබට ලැබෙන්නේ ම ය. 25ඔබ නැඟිට යාච්ඤා කරන විට කිසිවෙකුට විරුද්ධ ව කිසිවක් ඇත්නම් කමා කරන්න. එසේ කළ යුත්තේ ස්වර්ගයෙහි වැඩ වසන පියාණන් වහන්සේත් ඔබේ වැරදිවලට කමා කරන පිණිස ය. 26එහෙත් ඔබ කමා නොකරන්නහු නම්, ස්වර්ගයෙහි වැඩ වසන පියාණන් වහන්සේ ද ඔබේ වැරදිවලට කමා නොවන සේක.”