කියවීම්
2026 මැයි 10
Sixth Sunday of Easter
දවසේ දේව මෙහෙය
Reading I
ක්‍රියා 8:5-8, 14-17
5පිලිප් සමාරියේ නුවරකට ගොස් එහි ක්‍රිස්තුන් වහන්සේ ගැන දේශනා කෙළේ ය.
6පිලිප් කී දේ ඇසූ, ඔහු කළ අරුමපුදුම දේ දුටු, ජන සමූහයෝ ඔහුට එක සිතින් සවන් දුන්හ.
7අශුද්ධාත්මයන් වැහී සිටි බොහෝ දෙනෙකුගෙන් ඒ ආත්මයෝ මහ හඬින් මොරගසමින් දුරු වී ගියහ. බොහෝ අංශභාග රෝගීහු ද කොරු ද සුව කරනු ලැබූ හ.
8ඒ නුවර මහත් ප්‍රීතියක් ඇති විය.
14සමාරීයයන් දෙවියන් වහන්සේගේ වචනය පිළිගත් බව ජෙරුසලමේ සිටි ප්‍රේරිතවරයන්ට සැළ වූයෙන් ඔව්හු පේදුරු සහ ජොහන් ඔවුන් වෙතට යැවූ හ.
15ඔව්හු එහි ගොස් ඔවුන්ට ශුද්ධාත්මයාණන් ලැබෙන ලෙස යාච්ඤා කළහ.
16මන්ද, ඔවුන් ජේසුස් වහන්සේගේ නාමයට බව්තීස්ම-ස්නාපනය කරනු ලැබුවා මිස, ඒ වන තුරුත් ශුද්ධාත්මයාණන් ඔවුන්ගෙන් කිසිවෙකු කෙරෙහි පැමිණ තිබුණේ නැත.
17ප්‍රේරිතවරුන් ඔවුන් පිට අත් තැබූ කල, ඔවුන්ට ශුද්ධාත්මයාණන් ලැබිණි.
Responsorial Psalm
ගීතාවලිය 66:1-3, 4-5, 6-7, 16, 20
1ලෝ වැසි සියල්ලෙනි, දෙවිඳුන් හට ප්‍රීති ඝෝෂා පවත්වන්න.
2එතුමන්ගේ කීර්තිමත් නාමයට ගී ගයන්න.
3දෙවි තුමන්ට මෙලෙස කියන්න: ”ඔබේ ක්‍රියා කොපමණ බියජනක ද? ඔබේ බලපරාක්‍රමය අතිමහත් ය. එබැවින් ඔබේ සතුරෝ ඔබ අබිමුව බියෙන් මිරිකෙන්නෝ ය.
4ලෝ වැසි සියල්ලෝ ඔබ නමදින්නෝ ය; ඔබට ගී ගයා ඔබේ නම පසසන්නෝ ය.
5එන්න, දෙවිඳුන්ගේ පුදුම ක්‍රියා නරඹන්න. එතුමන්ගේ ක්‍රියා මිනිසුන් අතර බියජනක ය.
6එතුමාණෝ මුහුද වියළි බිමක් කළ සේක. සෙනඟ එය මැදින් පයින් ගමන් කළෝ ය. එබැවින් එතුමන් තුළ අපි ප්‍රීති ප්‍රමෝද වන්නෙමු.
7එතුමාණෝ බලපරාක්‍රමයෙන් සදහට ම ලොව පාලනය කරන සේක; එතුමාණෝ විජාතීන් දෙස නෙත් යොමා බලන සේක. කිසි ම කැරලිකරුවෙක් එතුමන්ට එරෙහි ව නොනැඟිටී වා!
16දෙවිඳුන් නමදින සියල්ලෙනි! එන්න, සවන් දෙන්න. එවිට එතුමාණන් මට කළ දේ මම කියා දෙන්නෙමි.
20දෙවිඳුන්ට ප්‍රශංසා වේ වා! මාගේ අයැදුම එතුමාණෝ ඉවත නොදැමූ සේක; සිය පෙමින් මා ඈත් නොකළ සේක.
Reading II
1 පේදුරු 3:15-18
15ඔබගේ සිතින් ක්‍රිස්තුන් වහන්සේට සමිඳාණන් වහන්සේ හැටියට, ගෞරව කරන්න. ඔබට ඇති බලාපොරොත්තුව ගැන ඔබෙන් ප්‍රශ්න කරන සියල්ලන්ට පිළිතුරු දීමට නිතර සූදානම් ව සිටින්න.
16එහෙත් ආචාරශීලී ව ද ගෞරවයෙන් යුක්ත ව ද එසේ කළ යුතු ය. ඔබ නිදොස් හෘදය සාක්ෂියක් ඇති ව සිටින්න. එවිට ඔබට අපහාස කරමින් ඔබට විරුද්ධ ව කතා කරන අය, ක්‍රිස්තුන් වහන්සේගේ අනුගාමිකයන් වශයෙන් ඔබේ යහපත් හැසිරීම දැක ලජ්ජාවට පැමිණෙනු ඇත.
17ඔබ යහපත කර දුක් විඳීම දේව කැමැත්ත වේ නම්, එය නපුර කර දුක් විඳීමට වඩා හොඳ ය.
18ක්‍රිස්තුන් වහන්සේ ඔබේ පව් උදෙසා වරක් දිවි පිදූ සේක. උන් වහන්සේ ධර්මිෂ්ඨ ව සිටි නමුත් දෙවියන් වහන්සේ වෙතට ඔබ පමුණුවන පිණිස අධර්මිෂ්ඨයන් වෙනුවෙන් දිවි පිදූ සේක. උන් වහන්සේ මනුෂ්‍ය ස්වභාවයෙන් මරණයට පත් කරනු ලැබූ සේක; ආත්මික ස්වභාවයෙන් උත්ථාන කරනු ලැබූ සේක.
Alleluia
ශුද්ධ වූ ජොහන් 14:23
23ජේසුස් වහන්සේ ඔහුට පිළිතුරු දෙමින්, ”යමෙක් මට ප්‍රේම කරන්නේ නම්, හෙතෙම මාගේ ධර්මය පිළිපදින්නේ ය. මාගේ පියාණන් වහන්සේ ද ඔහුට ප්‍රේම කරන සේක. අපි ඔහු වෙතට පැමිණ ඔහු සමඟ වාසය කරන්නෙමු.
Gospel
ශුද්ධ වූ ජොහන් 14:15-21
15ඔබ මට ප්‍රේම කරන්නහු නම්, ඔබ මාගේ ආඥා පිළිපදින්නහු ය.
16එවිට මම පියාණන් වහන්සේගෙන් අයැදින්නෙමි; උන් වහන්සේ ද ඔබ සමඟ සදහට ම සිටින පිණිස වෙනත් සහායදායකයෙකු දෙන සේක.
17ඒ සහායදායකයාණෝ, සත්‍යයේ ආත්මයාණෝ ය. උන් වහන්සේ පිළිගැනීමට ලෝකයා අපොහොසත් ය. මන්ද, ලෝකයා උන් වහන්සේ දකින්නේ වත් හඳුනන්නේ වත් නැත. එහෙත්, ඔබ උන් වහන්සේ හඳුනන්නහු ය. මන්ද, උන් වහන්සේ ඔබ සමඟ නැවතී සිටිමින්, ඔබ තුළ වැඩ වසන සේක.
18ඔබ අනාථ වීමට ඉඩ නොදෙන්නෙමි, මම නැවත ඔබ වෙතට එන්නෙමි.
19තව ස්වල්ප වේලාවකින් ලෝකයා මා තවත් නොදකිති. එහෙත් ඔබ මා දකින්නහු ය; කුමක් හෙයින් ද, මා ජීවත් වන නිසා ඔබත් ජීවත් වන බැවිනි.
20ඒ දවසේ දී, මා පියාණන් වහන්සේ තුළ ද ඔබ මා තුළ ද මා ඔබ තුළ ද සිටින බව ඔබ දැනගන්නහු ය.
21මාගේ ආඥා පිළිගෙන ඒවා පිළිපදින යම් තැනැත්තෙක් වේ ද, මට ප්‍රේම කරන්නේ ඔහු ය. යම් තැනැත්තෙක් මට ප්‍රේම කරන්නේ ද මාගේ පියාණන් වහන්සේත් ඔහුට ප්‍රේම කරන සේක. මම ද ඔහුට ප්‍රේම කොට ඔහුට එළිදරව් වන්නෙමි”යි වදාළ සේක.