කියවීම්
2027 අගෝස්තු 1
Eighteenth Sunday in Ordinary Time
දවසේ දේව මෙහෙය
First Reading
නික්මයාම 16: 2-4, 12-15
2ඉශ්රායෙල් ජනයා මෝසෙස්ට හා ආරොන්ට විරුද්ධ ව පාළුකරයේ දී මැසිවිලි කියන්නට වූ හ.
3ඔව්හු ඔවුන්ට කතා කොට, ”මිසර දේශයේ දී සමිඳාණන් වහන්සේගේ අතින් අපි මැරුණෙමු නම් කෙතරම් යහපත් ද? එහි දී අපට, මස් පිරුණු බඳුන් ළඟ වාඩි වී, ඇති තරම් කෑම කන්න පුළුවන්කම තිබිණි. එහෙත්, ඔබ මේ මුළු ජනතාව සාගින්නෙන් මරාදැමීමට මේ පාළුකරයට ගෙනාවහු ය”යි කී හ.
4එවිට සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, ”මම නුඹලාට අහසින් ආහාර වස්වමි. දිනපතා මිනිසුන් නික්ම ගොස් එදිනට අවශ්‍ය කොටස එකතු කරගත යුතු ය. මෙසේ ඔව්හු මාගේ නීතිය පිළිපදින්නෝ ද නැද්ද කියා මට ඔවුන් පරීක්ෂා කළ හැක.
12ඉශ්රායෙල් ජනයාගේ මැසිවිලි මට ඇසිණි, නුඹ ඔවුන් අමතමින්, ‘සවස ඔබ මාංස කන්නහු ය. උදය ඔබට ඇති තරම් රොටි ලැබෙන්නේ ය. මෙසේ නුඹලාගේ දෙවි සමිඳාණන් වහන්සේ මා බව නුඹලා දැනගන්නහු ය’යි කියන්නැ”යි පැවසූ සේක.
13ඉන්පසු සවස් කාලයේ දී වටුවන් වර්ගයක් අවුත් කඳවුර වසාගති. උදය කාලයේ දී කඳවුර සිසාරා පිනි තට්ටුවක් විය.
14පිනි වාෂ්ප වී ගිය පසු පාළුකරයේ භූමිය මතුපිට සිහින් වූ, කුඩා වටකුරු හිම වැනි දෙයක් තිබෙනු ඔව්හු දුටහ.
15මෙය දුටු ඉශ්රායෙල් ජනයා එකිනෙකාට කතා කරමින්, ”මෙය කුමක් දැ”යි විචාළාහ. මන්ද, ඒ කුමක් ද කියා ඔවුන් නොදත් බැවිනි. මෝසෙස් ඔවුන්ට පිළිතුරු දෙමින්, ”මෙය වනාහි සමිඳාණන් වහන්සේ ඔබට අනුභව කිරීමට දුන් ආහාරය වේ.
Responsorial Psalm
ගීතාවලිය 78: 3-4, 23-24, 25, 54
3අප අසා දැනගත් දේවල් ද අපේ පියවරුන් අපට දැන්වූ දේවල් ද අපි දන්වන්නෙමු.
4දරු මුණුබුරන් කෙරෙන් නොසඟවා ඊළඟ පරපුරට දන්වන්නෙමු. සමිඳුන්ගේ ප්‍රබල ක්‍රියා හා බල මහිමය ද එතුමන් කළ හාස්කම් ද කියාපාන්නෙමු.
23එහෙත්, එතුමාණෝ ඉහළ අහසට කතා කළ සේක; සුරලොව දොරටු විවෘත කළ සේක.
24ඔවුන්ට කෑමට මන්නා වැසි වැස්වූ සේක. සගලොවින් ධාන්‍ය ප්‍රදානය කළ සේක.
25දෙව් දූතුන්ගේ ආහාර පොදු ජනතාව අනුභව කළහ. එතුමාණෝ පමණටත් වඩා ආහාර පාන එවූ සේක.
54එතුමාණෝ තම ශුද්ධ දේශයට ඔවුන් ගෙනා සේක; තම බලයෙන් දිනාගත් කන්දට ඔවුන් ගෙනා සේක.
Second Reading
එපීස 4: 17, 20-24
17එබැවින්, සමිඳාණන් වහන්සේගේ නාමයෙන් මම තදින් ම ඔබට මෙසේ කියමි: පුහු අදහස් ඇති මිසදිටුවන් මෙන් තවත් නොහැසිරෙන්න.
20එහෙත් ක්‍රිස්තුන් වහන්සේ ගැන ඔබ ඉගෙනගත් දේ එවැන්නක් නොවේ.
21සැබැවින් ම උන් වහන්සේ ගැන ඔබ ඇසුවා පමණක් නොව, කිතුනුවන් වශයෙන් උන් වහන්සේ තුළ වූ සත්‍යය ද ඔබට උගන්වන ලදී.
22එබැවින් ඔබේ පසුගිය පැවැත්මට අයිති වූ තෘෂ්ණාවලින් මුළා වී විනාශ වන්නා වූ පරණ ස්වභාවය අහක දමා,
23ආධ්‍යාත්මික නවතාවයක් ඇති කරගන්න.
24දෙවියන් වහන්සේගේ ස්වරූපය අනුව මවන ලද, දමිටුකමින් ද ශුද්ධවන්තකමින් ද ප්‍රකාශ වන අලුත් ස්වභාවය පැළඳගන්න.
Alleluia
ශුද්ධ වූ මතෙව් 4: 4b
4උන් වහන්සේ උත්තර දෙමින්, ” ‘මිනිසා ජීවත් වන්නේ කෑමෙන් පමණක් නොව; දෙවියන් වහන්සේගේ මුවින් නික්මෙන සියලු වචන වලින් ය’ කියා ලියා ඇතැ”යි වදාළ සේක.
Gospel
ශුද්ධ වූ ජොහන් 6: 24-35
24ජේසුස් වහන්සේ වත්, ශ්‍රාවකයන් වත් එහි නො සිටි බව සමූහයා දුටු කල, ඔව්හු ඒ ඔරුවලට නැඟී ජේසුස් වහන්සේ සොයමින් කපර්ණවුමට පැමිණියාහ.
25මුහුදෙන් එගොඩ දී උන් වහන්සේ හමු වී, ”ගුරුදේවයෙනි, ඔබ මෙහි වැඩියේ කොයි වේලේ දැ”යි ඔව්හු ඇසූ හ.
26ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”ඒකාන්තයෙන් මම ඔබට කියමි, ඔබ මා සොයන්නේ හාස්කම් දුටු නිසා නොව, රොටි කා තෘප්තියට පැමිණි නිසා ය.
27නැති වී යන ආහාරය සඳහා නොව, සදාතන ජීවනයට ඉවහල් වන ආහාරය සඳහා වීර්ය වඩන්න. මේ ආහාරය ඔබට ප්‍රදානය කරන්නේ මනුෂ්‍ය-පුත්‍රයාණෝ ය. පියාණන් වන දෙවියන් වහන්සේ මුද්‍රාව තබා ඇත්තේ උන් වහන්සේ මත ය”යි වදාළ සේක.
28එබැවින් ඔව්හු, ”දෙවියන් වහන්සේගේ අභිප්‍රාය අනුව වැඩ කරන පිණිස අප කුමක් කටයුතු දැ”යි ඇසූ හ.
29ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”දෙවියන් වහන්සේගේ අභිප්‍රාය වනුයේ, උන් වහන්සේ එවා වදාළ තැනැත්තාණන් ඔබ විසින් අදහාගැනීම ය”යි වදාළ සේක.
30එවිට ඔව්හු, ”එසේ නම්, අප විසින් දැක අදහාගන්නා පිණිස ඔබ කවර හාස්කමක් දක්වන සේක් ද? කවර ක්‍රියාවක් කරන සේක් ද?
31අපේ පියවරු පාළුකරයෙහි දී මන්නා කෑහ. ‘බුදින පිණිස එතුමෝ ඔවුන්ට ස්වර්ගයෙන් ආහාර සැපයූහ’යි ලියා ඇතැ”යි උන් වහන්සේට කී හ.
32එවිට ජේසුස් වහන්සේ, ”ඒකාන්තයෙන් මම ඔබට කියමි, ස්වර්ගයෙන් ඔබට ආහාරය දුන්නේ මෝසෙස් නොවේ; ස්වර්ගයෙන් සැබෑ ආහාරය දෙන්නේ මාගේ පියාණන් වහන්සේ ය.
33මන්ද, දෙවියන් වහන්සේ දෙන ආහාරය වනාහි, ස්වර්ගයෙන් පහළ වී ලෝකයට ජීවනය දෙන ආහාර ය”යි වදාළ සේක.
34ඔව්හු ද, ”ස්වාමීනි, ඒ ආහාරය නිතර ම අපට දුන මැනවැ”යි කී හ.
35ජේසුස් වහන්සේ කතා කොට, ”ජීවනදායක ආහාරය මම ය, මා වෙත පැමිණෙන යමෙක් වේ ද, ඔහුට සාගිනි නොවන්නේ ය. මා අදහන යමෙක් වේ ද, ඔහුට කිසි කලෙකත් පිපාසය නොවන්නේ ය.