කියවීම්
2027 අගෝස්තු 4
John Mary Vianney, Priest Obligatory Memorial
දවසේ දේව මෙහෙය
First Reading
ගණන් කථාව 13: 1-2, 25 - 14: 1, 26a-29a, 34-35
1සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට,
2මා ඉශ්රායෙල් ජනයාට දෙන්නට යන කානාන් දේශයට චරපුරුෂයන් යවන්න. නුඹලාගේ පිය ගෝත්‍ර සෑම එකකින් ම එක්කෙනා බැගින් ඔවුන් අතර මූලිකයන් වන අය යවන්නැ”යි වදාළ සේක.
25දවස් හතළිහකට පසු ඔව්හු රටේ ඔත්තු බලා ආපසු පැමිණියහ.
26පාරාන් පාළුකරයේ කාදෙෂ් නම් ස්ථානයේ සිටි මෝසෙස්, ආරොන් සහ මුළු ඉශ්රායෙල් ජනතාව වෙත ඔව්හු පැමිණ, ඔවුන් සියල්ලන්ට රටේ යථා තත්ත්වය වාර්තා කර, තමන් ඒ රටින් ගෙනා පලතුරු පෙන්වූ හ.
27ඔව්හු මෝසෙස් අමතා, ”ඔබ අප යැවූ දේශයට අපි ගියෙමු. ඇත්තට ම ඒ නම් කිරෙන් හා මී පැණියෙන් ඉතිරෙන රටකි. මෙන්න, එහි පලතුරු.
28එහෙත්, ඒ දේශවාසීහු බලසම්පන්න ය. ඔවුන්ගේ නගර පවුරුවලින් වට කොට ඇත; ඒවා අති විශාල ය; ඇරත් අපි එහි දී අනාක්ගේ දරුමුණුබුරන් ද දුටිමු,
29අමලෙක්වරු රටේ දකුණු දිශාවේ වාසය කරති, හිත්තීවරු සහ ජෙබුසිවරු, අමෝරිවරු කඳුකරයේ වාසය කරති; කානානිවරු මුහුදුබඩ ද ජොර්දාන් ගඟ අසබඩ ද වාසය කරති”යි කී හ.
30එවිට කාලෙබ්, මෝසෙස්ට විරුද්ධ ව මැසිවිලි කී සෙනඟ නිහඬ කරමින්, ”අපි වහා ම ගොස්, එය හිමි කර ගනිමු. ඔවුන් පරාජය කිරීම පහසුවෙන් ම කළ හැකි යැ”යි කී ය.
31එහෙත්, ඔහු සමඟ ගිය සෙසු චරපුරුෂයෝ කතා කරමින්, ”සෙනඟ පරාජය කිරීමට තරම් අප බලසම්පන්න නොවන්නට පුළුවන, ඔව්හු අපට වඩා ශක්ති සම්පන්න ය”යි කී හ.
32මෙලෙස ඔව්හු තමන් ඔත්තු බැලූ රට ගැන අසත්‍ය වාර්තාවක් ඉශ්රායෙල් ජනයාට දෙමින්, ”අප ඔත්තු බැලීමට ගිය රට නම්, වැසියන් කාදමන රටකි. එහි අප දුටු මිනිසුන් සියල්ලෝ ම උස මහත මිනිස්සු ය.
33එහි දී, යෝධයන්ට නෑකම් කියන අනාක්ගෙන් පැවතෙන යෝධ පරපුරක් අපි දුටිමු. ඔවුන් ඉදිරියෙහි අප පළඟැටියන් මෙන් අපට ම පෙනුණේ ය. අප ද ඔවුන්ටත් එලෙස ම පෙනෙන්නට ඇතැ”යි කී හ.
1එදින රාත්‍රියේ මුළු සෙනඟ ම ශබ්ද නඟා කෑගසමින් හඬන්නට වූ හ.
26සමිඳාණන් වහන්සේ යළි මෝසෙස්ට සහ ආරොන්ට කතා කොට,
27මට විරුද්ධ ව මැසිවිලි කියන මේ නපුරු ජනතාව ගැන මම කොපමණ කල් ඉවසම් ද? ඉශ්රායෙල් ජනයා මට විරුද්ධ ව කී මැසිවිලි මා අසා ඇත.
28එබැවින් ඔබ ඔවුන් අමතා මෙසේ කියන්න: ‘නුඹලා මාගේ කනට ඇසෙන සේ කී ලෙස මා නුඹලාට කරන බවට, මම දිවුරමි’යි සමිඳාණන් වහන්සේ වදාරන සේක.
29ජන සංගණනයේ දී ලියාපදිංචි කළ, වයස අවුරුදු විස්සක් හා ඊට වඩා වයසැති, මට විරුද්ධ ව මැසිවිලි කී සියල්ලෝ ම මේ පාළුකරයේ ම නසිනු ඇත.
34නුඹලා ඒ රටේ ඔත්තු සෙවූ කාලය දවස් හතළිහක් නොවේ ද? හැබැයි, එක එක දවසකට, එක එක අවුරුද්ද බැගින් සලකා, අවුරුදු හතළිහක් තුළ නුඹලාගේ දුෂ්ටකම්වලට වග කියමින්, මාගේ පොරොන්දු කඩ කිරීමේ විපාකයේ බරපතලකම කෙතරම් ද කියා දැනගන්නහු ය.
35මෙය වදාළේ සමිඳාණන් වහන්සේ වන මම ය. මට විරුද්ධ ව පෙරමුණු බැඳගත් මේ මුළු නපුරු ජනතාවට ම මම සත්තකට ම දඬුවම් කරමි. මේ පාළුකරයේ ම ඔවුන් නැති නාස්ති වී වැනසී යනු ඇතැ”යි වදාළ සේක.
Responsorial Psalm
ගීතාවලිය 106: 6-7ab, 13-14, 21-22, 23
6අපි අපේ පියවරුන් මෙන් පව් කෙළෙමු; නපුරුකම් කෙළෙමු; දුෂ්ට ලෙස ක්‍රියා කෙළෙමු.
7අපේ පියවරු මිසරයේ දී ඔබේ පුදුම ක්‍රියා තේරුම් නොගත්තෝ ය. ඔබේ අසීමිත ප්‍රේමය සිහි නොකළෝ ය. රතු මුහුද ළඟ දී මහෝත්තමයාණන්ට විරුද්ධ ව කැරලි ගැසුවෝ ය.
13එහෙත්, ඔව්හු එතුමන්ගේ ක්‍රියා වහා අමතක කළෝ ය; එතුමන්ගේ අවවාද නොතකා ක්‍රියා කළෝ ය.
14ඔව්හු පාළුකරයේ දී අධික ලෙස තෘෂ්ණාවෙන් පිරී දෙවිඳුන්ට අභියෝග කළෝ ය.
21මිසරයේ දී බලවත් ක්‍රියා කර, ඔවුන් ගළවාගත් දෙවිඳුන් ඔව්හු අමතක කළෝ ය.
22එතුමාණෝ, ඒ දේශයේ දී අරුමපුදුම ක්‍රියා ද රතු මුහුද ළඟ බියකරු ක්‍රියා ද කළ තැනැන් වහන්සේ නොවන සේක් ද?
23එබැවින් එතුමාණෝ ඔවුන් විනාශ කරන බව වදාළ සේක. එහෙත්, එතුමාණන් ඔවුන් විනාශ නොකරන ලෙස, දේව උදහස පහකරන පිණිස, එතුමාණන් තෝරාගත් මෝසෙස් එතුමාණන් ඉදිරියේ මැදහත් වූයේ ය. දේව කෝපයෙන් ඔවුන් විනාශ කිරීම වැළැක්විය.
Alleluia
ශුද්ධ වූ ලූක් 7: 16
16එකල සියල්ලෝ ම බිය පත් ව, ”ශ්‍රේෂ්ඨ දිවැසිවරයෙක් අප අතර පහළ වී සිටියි. දෙවියන් වහන්සේ සිය සෙනඟ ගළවන්න වැඩිය සේකැ”යි කියමින් දෙවියන් වහන්සේට ප්‍රශංසා කළහ.
Gospel
ශුද්ධ වූ මතෙව් 15:21-28
21ජේසුස් වහන්සේ එතැනින් නික්ම තීර් හා සීදොන් පෙදෙස්වලට වැඩිය සේක.
22එක් කානානිය ස්ත්‍රියක් ඒ පෙදෙස්වල සිට අවුත්, ”දාවිත්ගේ පුත්‍ර වූ ස්වාමීනි, මට අනුකම්පා කළ මැනව; මාගේ දුව බලවත් සේ දුෂ්ටාත්මාවේශ ව සිටින්නී ය”යි කියමින් මොරගැසුවා ය.
23එහෙත් උන් වහන්සේ ඇයට වචනයකින් වත් පිළිතුරු නුදුන් සේක. උන් වහන්සේගේ ශ්‍රාවකයෝ අවුත්, ”මේ ස්ත්‍රිය මොරගසමින් අප පස්සේ එන බැවින්, ඇයට යන්න කිව මැනවැ”යි උන් වහන්සේගෙන් ඉල්ලූ හ.
24උන් වහන්සේ කතා කරමින්, ”මා එවන ලද්දේ ඉශ්රායෙල් වංශයේ නැති වූ බැටළුවන් වෙත පමණකැ”යි වදාළ සේක.
25එහෙත්, ඈ අවුත් පසඟ පිහිටුවා උන් වහන්සේට වැඳ, ”ස්වාමීනි, මට පිහිට වුව මැනවැ”යි කීවා ය.
26උන් වහන්සේ උත්තර දෙමින්, ”දරුවන්ගේ කෑම ගෙන බල්ලන්ට දැමීම යුතු නැතැ”යි වදාළ සේක.
27එහෙත් ඈ කතා කොට, ”එසේ ය, ස්වාමීනි, බල්ලන් පවා තම ස්වාමිවරුන්ගේ මේසයෙන් වැටෙන කැබලි අවුලා කති”යි කීවා ය.
28එවිට ජේසුස් වහන්සේ උත්තර දෙමින්, ”ස්ත්‍රිය, ඔබේ ඇදහිල්ල මහත් ය. ඔබේ කැමැත්ත ලෙස ම ඔබට වේ වා”යි වදාළ සේක. ඒ මොහොතේ පටන් ඇගේ දුව සුවපත් වූවා ය.