අගෝස්තු 2027

බ්‍ර සි සෙ
1234567
891011121314
15161718192021
22232425262728
293031
අද දිනට

කියවීම්

2027 අගෝස්තු 19

Ordinary Weekday/ John Eudes, Priest, Religious Founder

John Eudes, Priest, Religious Founder
First Reading

වීරාවලිය 11: 29-39a

29සමිඳාණන් වහන්සේගේ ආත්මානුභාවය ජෙප්තා කෙරෙහි පහළ විය. ඔහු ගිලියද් සහ මනස්සේ මැදින් ගොස් ගිලියද්හි මිශ්පාට පැමිණ එතැන් සිට අම්මොන්වරුන් වෙත ගියේ ය. 30ජෙප්තා සමිඳාණන් වහන්සේට බාරයක් වෙමින්, ”ඔබ වහන්සේ සැබැවින් අම්මොන්වරුන් මා අතට පාවා දෙන සේක් නම්, 31මා සාමදානයෙන් අම්මොන්වරුන් වෙතින් හැරී එන කල, මා හමු වන පිණිස මාගේ ගෙයින් පිටත් ව එන කවරෙකු වුවත්, ඔහු සමිඳාණන් වහන්සේට අයිති වන්නේ ය; මම ඔහු දවන යාග පූජාවක් කොට ඔප්පු කරන්නෙමි”යි කීවේ ය. 32මෙසේ ජෙප්තා අම්මොන්වරුන්ට විරුද්ධ ව යුද්ධ කරන පිණිස ඔවුන් කරා ගියේ ය. සමිඳාණන් වහන්සේ ද ඔහු අතට ඔවුන් පාවා දුන් සේක. 33ඔහු නගර විස්සකින් සමන්විත අරෝයෙර් පටන් මින්නිත්ට පැමිණෙන තැන දක්වා ද ආබෙල්-කෙරාමීම් දක්වා ද ඔවුන්ට පහර දී ඉමහත් ඝාතනයක් කෙළේ ය. මෙසේ අම්මොන්වරු ඉශ්රායෙල්වරුන් විසින් යටත් කරනු ලැබූ හ. 34ජෙප්තා මිශ්පාහි තමාගේ ගෙදරට එන විට, ඔහුගේ දුව රබන් ගසමින් ද නටමින් ද ඔහුගේ පෙරමඟට ආවා ය. ඈ වූ කලී ඔහුගේ එක ම දරුවා ය. ඈ හැර ඔහුට පුතෙක් වත්, දුවක් වත් නො වූ හ. 35ඔහු ඇය දුටු විට, තමාගේ වස්ත්‍ර ඉරාගෙන, ”අහො‍් මාගේ දියණියෙනි! ඔබ මා ඉමහත් දුකට පත් කෙළෙහි ය. ඔබ මාගේ දුක් වේදනාවට හේතු වූයේ මන් ද? මා එසේ කියන්නේ, මම සමිඳාණන් වහන්සේට මාගේ මුවින් පොරොන්දුවක් වූ බැවිනි. එය වෙනස් කළ නොහැකි ය”යි කී ය. 36ඈ ද පිළිතුරු දෙමින්, ”මාගේ පියාණෙනි, ඔබේ මුවින් ඔබ සමිඳාණන් වහන්සේට පොරොන්දුවක් වුණෙහි නම්, ඔබ දුන් පොරොන්දුව ලෙස මට කරන්න; ඔබේ සතුරන් වන අම්මොන්වරුන්ගෙන් ඔබ උදෙසා උන් වහන්සේ පළිගත් සේකැ”යි කීවා ය. 37තවදුරටත් ඈ පියාට කතා කොට, ”මෙසේ මට අවසර ලැබේ වා. මා ද මාගේ යෙහෙළියන් ද ගොස් කඳුවල ඇවිද, මාගේ කන්‍යාභාවය ගැන වැලපෙන්නට මට දෙමසක් කල් දුන මැනවැ”යි කීවා ය. 38ඔහු ද ඈට, ”යන්නැ”යි කියා ඈ දෙමසකට පිටත් කර යැව්වේ ය. ඈ ඇගේ යෙහෙළියන් සමඟ කඳුකරයට ගොස් ඇගේ කන්‍යාභාවය ගැන වැලපුණා ය. 39දෙමස ගෙවී ගිය කල ඈ ඇගේ පියා වෙත හැරී ආවා ය. එවිට ඔහු තමා කළ බාරය අනුව ඈට කෙළේ ය. ඈ කන්‍යාවක් ව සිටියා ය. මෙය ඉශ්රායෙල්වරුන් අතරේ ඇති වූ සිරිතකි.
Responsorial Psalm

ගීතාවලිය 40: 5, 7-8a, 8b-9, 10

5දෙවි සමිඳුනි, ඔබ අප උදෙසා කර ඇති හාස්කම් කොපමණ ද? ඔබ අප උදෙසා අදහස් කළ දේ කොපමණ ද? ඔබට සම අන් කෙනෙක් සිටී ද? ඒ සියල්ල පවසා නිම කරන්නට කිසි දා මට බැරි ය. ඒවායේ ගණන ඉමහත් ය. 7එවිට මම, ”මෙන්න, මම මෙහි ය”යි කීවෙමි. ”මා පිළිබඳ අණපණත් ඔබේ ව්‍යවස්ථාවලියෙහි ලියා ඇත. 8මාගේ දෙවියෙනි, ඔබේ කැමැත්තට ප්‍රිය වෙමි, ඔබේ නීති මසිතෙහි නිදන් කරගතිමි.” 9සමිඳුනි, ඔබට වඳින පිරිස් මැද, ඔබේ ගැළවීමේ ක්‍රියා වර්ණනා කෙළෙමි. නොනවත්වා එය තවත් වර්ණනා කරන බව ඔබ දන්න සේක. 10ඔබ දෙන ගැළවීම සිතෙහි රඳවා නිකම් නොසිටියෙමි; ඔබේ ගැළවීම හා විශ්වාසවන්තකම ප්‍රකාශ කෙළෙමි; මහ පිරිස් මැද ඔබේ කරුණාව ද විශ්වාසවන්තකම ද නොවළහා දන්වා සිටියෙමි.
Alleluia

ගීතාවලිය 95: 8

8පාළුකරයේ මස්සා නම් ස්ථානයේ සිටි දවසේ දී මෙන් ද මෙරිබා නම් ස්ථානයේ දී මෙන් ද ඔබේ සිත් දැඩි කර නොගන්න.
Gospel

ශුද්ධ වූ මතෙව් 22: 1-14

1යළිත්, උන් වහන්සේ සෙනඟට කතා කරමින් උපමා මඟින් මෙසේ වදාළ සේක: 2ස්වර්ග රාජ්‍යය මෙවැන්නකට උපමා කළ හැකි ය. එක්තරා රජෙක් තමාගේ පුත්‍රයාට සරණ මංගල්‍යයක් පිළියෙළ කෙළේ ය. 3ඔහු සරණ මංගල්‍යයට ආරාධිතයන් කැඳවාගෙන එන පිණිස දාසයන් යැවී ය. එහෙත්, ඔව්හු එන්න අකමැති වූ හ. 4යළිත් ඔහු වෙන දාසයන් යවා, ‘මෙන්න, මාගේ මංගල භෝජනය පිළියෙළ කර තිබේ. ගොනුන් හා තර කළ සතුන් මරා, කෑම සාදා ඇත. හැම දෙය ම සූදානම් ව තිබේ. මංගල්‍යයට එන්න කියා ආරාධිතයන්ට කියන්නැ’යි කී ය. 5එහෙත්, ඔව්හු එය නොසලකා, කෙනෙක් තමාගේ කෙතටත්, තව කෙනෙක් තමාගේ වෙළඳාමටත් ගියහ. 6සෙස්සෝ ඔහුගේ දාසයන් අල්ලා, ඔවුන්ට නිග්‍රහ කොට, මැරූ හ. 7රජතුමා උදහස් වී, තමාගේ යුද්ධ සේනා යවා ඒ මිනීමරුවන් විනාශ කොට ඔවුන්ගේ නුවර ගිනි ලැවී ය. 8එවිට ඔහු තම දාසයන්ට කතා කොට, ‘මංගල්‍යය සූදානම් කර තිබේ. එහෙත්, ආරාධිතයෝ සුදුස්සෝ නොවෙති. 9එබැවින් ඔබ මංසන්ධිවලට ගොස් හමු වන සියල්ලන් මංගල්‍යයට කැඳවා ගෙනෙන්නැ’යි කී ය. 10ඒ දාසයෝ මාවත්වලට ගොස් හමු වූ යහපත් අයහපත් දෙගොල්ල ම රැස් කළහ. අමුත්තන්ගෙන් මඟුල් මඩුව පිරී ගියේ ය. 11එහෙත්, රජතුමා අමුත්තන් බැලීමට පැමිණි කල, එහි මඟුල් ඇඳුම් නොහැඳ සිටි මිනිසෙකු දැක, 12‘මිත්‍රය, මඟුල් ඇඳුමක් නොහැඳ මෙතැනට ආවේ කෙසේ දැ’යි ඔහුගෙන් ඇසී ය. ඔහු නිහඬ විය. 13එවිට රජතුමා කතා කොට, ‘මොහුගේ අත් පා බැඳ, පිටත අන්ධකාරයෙහි දමන්න; එහි දී විලාප කීමත් දත්මිටි කෑමත් වන්නේ ය’යි සේවකයන්ට කී ය. 14මන්ද, කැඳවනු ලැබුවෝ බොහෝ ය. තෝරාගනු ලැබුවෝ ස්වල්ප ය.”