අගෝස්තු 2027

බ්‍ර සි සෙ
1234567
891011121314
15161718192021
22232425262728
293031
අද දිනට

කියවීම්

2027 අගෝස්තු 3

Ordinary Weekday

දවසේ දේව මෙහෙය
First Reading

ගණන් කථාව 12: 1-13

1මෝසෙස්, කුෂ් නම් දේශයෙන් කුෂ් ජාතික ස්ත්‍රියක සරණ පාවාගත් හෙයින් මීරියම් සහ ආරොන් ඔහුට විරුද්ධ ව කතා කළහ. 2සමිඳාණන් වහන්සේ කතා කෙළේ මෝසෙස් මඟින් පමණක් ද? උන් වහන්සේ අප මඟින් පවා කතා නොකරන සේක් දැ”යි ඔව්හු කීවෝ ය. සමිඳාණන් වහන්සේට එය ඇසිණි. 3මිහි පිට සිටි සියලු මිනිසුන් අතරෙන් මෝසෙස් අතිනිහතමානී කෙනෙක් විය. 4සමිඳාණන් වහන්සේ හදිසියෙන් මෝසෙස්ට, ආරොන්ට සහ මීරියම්ට කතා කොට, ”නුඹලා තිදෙන සම්මුඛ මණ්ඩපයට නික්ම ආ යුතු ය”යි වදාළ සේක. ඔව්හු ද එහි ගියහ. 5උන් වහන්සේ වලා ටැඹකින් බැස අවුත්, සම්මුඛ මණ්ඩපයේ දොරකඩ වැඩ සිට, ආරොන් සහ මීරියම් කැඳවූ සේක. ඔව්හු දෙදෙන පැමිණියහ. 6එවිට උන් වහන්සේ කතා කොට, ”මා වදනට සවන් දෙන්න; දිවැසිවරු ඔබ අතර සිටිත් නම්, සමිඳුන් ඔවුන්ට ප්‍රකාශ වනුයේ දර්ශනවලිනි; ඔවුන්ට කතා කරනුයේ සිහිනවලිනි: 7මා සේවක මෝසෙස් එසේ නොවේ, ඔහුට මාගේ මුළු සෙනඟ භාර දී ඇත. 8මම ඔහු සමඟ මුහුණට මුහුණ ලා කතා කරමි, ගුප්ත වදනින් නොව, පැහැදිලි ව, කතා කරමි. ඔහු සමිඳුන්ගේ රූපය දකිනු ඇත. එබැවින් මාගේ සේවක මෝසෙස්ට විරුද්ධ ව කතා කිරීමට නුඹලා එඩිතර වූයේ කෙසේ දැ’යි ඇසූ සේක. 9සමිඳාණන් වහන්සේගේ උදහස ඔවුන්ට විරුද්ධ ව ඇවිළිණි. උන් වහන්සේ නික්ම ගිය සේක. 10වලාකුළ මණ්ඩපයෙන් ඉවත් විය. පුදුමයකි! මීරියම්ට හිම මෙන් සුදු කුෂ්ඨ රෝගයක් වැළඳී තිබිණි. ආරොන් ඈ දෙස බැලූ විට ඈට කුෂ්ඨයක් තිබෙන බව පෙනිණි. 11එවිට ආරොන් මෝසෙස්ට කතා කොට, ”අහෝ ස්වාමීනි! අපගේ මෝඩකමින් අප කළ පාපයේ වගකීම අප පිට පවරනු නොමැනවි. 12ඈ මවු කුසින් බිහි වන, මාංසයෙන් කොටසක් දිරා ගිය, මළ කෙනෙකු මෙන් නො වේ වා”යි කීවේ ය. 13මෝසෙස් සමිඳාණන් වහන්සේට මොරගසමින්, ”මාගේ දෙවිඳුනි, ඈ වහා ම සුව කරන ලෙස, මම ඔබගෙන් අයැදිමි”යි කියා කෑගැසී ය.
Responsorial Psalm

ගීතාවලිය 51: 3-4, 5-6ab, 6cd-7, 12-13

3මාගේ අපරාධ මම මැනැවින් දනිමි. දිවා රෑ දෙක්හි මාගේ පාප මට සිහි වේ. 4ඔබට විරුද්ධ ව, ඔබට පමණක් විරුද්ධ ව මම පව් කෙළෙමි; ඔබ හමුවෙහි මම නපුර කෙළෙමි. එබැවින් ඔබේ තීන්දුව සාධාරණ ය; ඔබේ විනිශ්චය යුක්ති සහගත ය. 5පවට නැම්ම ඇතිව යි, මා මෙලොව උපන්නේ; කෙලෙස් මලින් යුතුව යි, මා මව් කුසේ පිළිසිඳුණේ. 6සත්‍යයට හා අවංක බවට ඔබ ප්‍රිය කරන සේක. එබැවින් සැබෑ ප්‍රඥාව මට ඉගැන්නුව මැනව. 7ආසිරි පැන් මට ඉසිනු මැනව; එවිට මම පිවිතුරු වන්නෙමි. මා ධෝවනය කළ මැනව; එවිට මම හිමට වඩා සුදු වන්නෙමි. 12විමුක්තියේ ප්‍රීතිය මට යළි දුන මැනව; අවනත සිතක් දී මා දැරුව මැනව. 13එවිට මම අපරාධකරුවන්ට ඔබ මඟ පහදා දෙන්නෙමි; පව්කරුවන් ඔබ වෙත හරවාගෙන එන්නෙමි.
Alleluia

ශුද්ධ වූ ජොහන් 1: 49b

49නතානියෙල් උත්තර දෙමින්, ”ගුරුදේවයෙනි, ඔබ වහන්සේ නම්, දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ය; ඔබ වහන්සේ නම්, ඉශ්රායෙල්හි රජිඳාණෝ ය”යි කී ය.
Gospel

ශුද්ධ වූ මතෙව් 14: 22-36 or ශුද්ධ වූ මතෙව් 15: 1-2, 10-14

22ඉන්පසු උන් වහන්සේ සමූහයා පිටත් කර හරින අතර, ඔරුවට නැඟී, තමන්ට පළමුවෙන් එගොඩට යන ලෙස ශ්‍රාවකයන්ට නියම කළ සේක. 23උන් වහන්සේ ජනකාය යැවූ පසු, යාච්ඤා කරන පිණිස වෙන් ව කන්දට වැඩිය සේක. සවස් වූ කල්හි උන් වහන්සේ තනි ව එහි සිටි සේක. 24සුළඟ තදින් හැමූ බැවින් ඔරුව එවේලෙහි තරංගවල හැපෙමින්, ගැටෙමින් මුහුද මැද තිබිණි. 25අලුයම තුනටත් හයටත් අතර උන් වහන්සේ ඔවුන් වෙත මුහුද මතුපිට ඇවිදගෙන ආ සේක. 26ශ්‍රාවකයෝ උන් වහන්සේ මුහුද මත ඇවිදගෙන එනු දැක, කලබල වී, ”ඒ අවතාරයකැ”යි කියමින්, බියෙන් මොරගැසූ හ. 27එහෙත්, ජේසුස් වහන්සේ එකෙණෙහි ම ඔවුන්ට කතා කොට, ”ධෛර්යවත් වන්න; මේ මම ය; බිය නොවන්නැ”යි වදාළ සේක. 28පේදුරු උත්තර දෙමින්, ”ස්වාමීනි, ඔය ඔබ වහන්සේ නම්, වතුර මත ඔබ වෙත එන්න මට අණ කළ මැනවැ”යි කී ය. 29එන්නැ”යි උන් වහන්සේ වදාළ සේක. එවිට පේදුරු ඔරුවෙන් බැස, ජේසුස් වහන්සේ වෙත වතුර මත ඇවිදගෙන ගියේ ය. 30එහෙත්, ඔහු මාරුතය වේගවත් බව දැක, බිය වී ගිලෙන්න පටන්ගෙන, ”ස්වාමීනි, මා බේරාගත මැනවැ”යි මොරගැසී ය. 31ජේසුස් වහන්සේ වහා ම අත දිගු කොට ඔහු අල්ලාගෙන, ”ඔබේ ඇදහිල්ල කොතරම් හීන ද? සැක කෙළේ මන්දැ”යි විචාළ සේක. 32ඔවුන් දෙදෙන ඔරුවට නැඟුණු කල සුළඟ නැවතිණි. 33එවිට ඔරුවේ උන් අය, ”ඒකාන්තයෙන් ම ඔබ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ය”යි කියමින් උන් වහන්සේට පසඟ පිහිටුවා වැඳ නමස්කාර කළහ. 34ඔව්හු එගොඩ වී ගෙන්නෙසරෙත් රටට පැමිණියහ. 35ඒ රටේ මිනිස්සු උන් වහන්සේ ඇඳින, අවට පෙදෙස පුරා පණිවුඩ යවා, සියලු රෝගීන් උන් වහන්සේ වෙත ගෙන්වා, 36උන් වහන්සේගේ සළුවේ දාවල්ල පමණ වත් ස්පර්ශ කරන්න රෝගීන්ට ඉඩ දෙන ලෙස, උන් වහන්සේගෙන් ඉල්ලා සිටියහ. එසේ ස්පර්ශ කළ සියල්ලෝ ම සුවපත් වූ හ.