කියවීම්
2027 අගෝස්තු 21
Pius X, Pope Obligatory Memorial
දවසේ දේව මෙහෙය
First Reading
රූත්ගේ කථාව 2: 1-3, 8-11; 4: 13-17
1නයෝමිට බෝවස් නමින් ධනවත් නෑයෙක් සිටියේ ය. ඔහු ඇගේ පුරුෂයා ව සිටි එලිමෙලෙක්ගේ පෙළපතට අයත් කෙනෙකි.
2මෝවබ් ජාතික රූත් නයෝමිට කතා කොට, ”අස්වැන්න එකතු කරන අයගෙන් මඟ හැරෙන කරල් එකතු කරගැනීමට ඉඩ දෙන මිනිසෙකු පසුපස යන්නට මට අවසර දෙන්නැ”යි කීවා ය. නයෝමි උත්තර දෙමින්, ”හොඳයි, යන්න දුව” කියා ඇයට අවසර දුන්නා ය.
3මෙසේ රූත් කෙතට ගොස් එහි වැඩකරන්නන් පසුපස යමින් කරල් අහුලාගත්තා ය. වාසනාවකට මෙන් ඈ පැමිණියේ, එලිමෙලෙක්ගේ පෙළපතේ කෙනෙකු වූ බෝවස්ට අයිති කෙතට ය.
8එවිට බෝවස් රූත්ට මෙසේ කී ය: ”මාගේ දියණිය, මට ඇහුම්කන් දෙන්න, මේ කෙතෙහි හැර වෙන කිසි තැනක කරල් අහුලන්නට නොයන්න. මෙහි නැවතී මාගේ සේවිකාවන් සමඟ වැඩ කරන්න.
9ඔවුන් අස්වැන්න එකතු කරගන්නේ කොහේ දැ යි බලාගෙන ඔවුන් පස්සෙන් යන්න. ඔබට කිසි හිරිහැරයක් නොකිරීමට මම මාගේ සේවකයන්ට අණ කෙළෙමි. ඔබට පිපාසය ඇති වූවොත්, ගොස් ඔවුන් පුරවා තබා තිබෙන වතුර භාජනවලින් බොන්න.”
10රූත් බෝවස්ගේ පාමුල මුණින්තළා වැඳ වැටී, ”විදේශික ගැහැණියක වන මා දෙස ඇස් හෙළා ඔබ මට මෙපමණ කරුණාවන්ත වන්නේ මන්දැ”යි ඇසුවා ය.
11බෝවස් මෙසේ පිළිතුරු දුන්නේ ය: ”ඔබේ ස්වාමි පුරුෂයාගේ මරණින් පසු ඔබේ නැන්දම්මාට ඔබ සලකා තිබෙන අන්දම ගැන සියලු කාරණා මම දැනගතිමි. ඔබේ දෙමාපියන් ද මවුබිම ද හැර දමා නන්නාඳුනන සෙනඟක් මැදට ඔබ පැමිණි ආකාරය ගැන සියලු කාරණා මම දනිමි.
13මෙසේ බෝවස් සිය භාර්යාව ලෙස රූත් පෙළවහට ගත්තේ ය. ඔහු ඈ සමඟ එක් වූ විට සමිඳාණන් වහන්සේ ඇය පිළිසිඳ ගැනීමට සැලැසූ සේක. ඈ පුතෙකු ලැබුවා ය.
14ස්ත්‍රීහු නයෝමිට කතා කොට, ”සමිඳාණන් වහන්සේට ප්‍රශංසා වේ වා! ඔබ රැකබලාගැනීමට උන් වහන්සේ ඔබට පුතෙකු දී තිබේ. ඒ දරුවා ඉශ්රායෙල්හි ප්‍රසිද්ධ වේ වා!
15ඔහු ඔබට නව ජීවනයක් ලබා දී ඔබේ මහලු කාලයේ දී ඔබට ආරක්ෂාව සලසනු ඇත. මන්ද, ඔබට ආදරය කරන, පුතුන් හත්දෙනකුට වඩා ඔබට වැඩදායක වන ඔබේ ලේලී ඒ දරුවා ලබා ඇතැ”යි කීවෝ ය.
16නයෝමි ඒ දරුවා වඩාගෙන ළයෙහි හොවා රැකබලාගත්තා ය.
17අසල්වැසි ස්ත්‍රීහු, ”නයෝමිට පුතෙක් උපන්නේ යැ”යි කියමින්, ඔහුට ඕබෙද් යන නම තැබූ හ. ඔහු දාවිත්ගේ පියා වූ ජෙස්සේගේ පියා විය.
Responsorial Psalm
ගීතාවලිය 128: 1b-2, 3, 4, 5
1සමිඳුන් කෙරෙහි ගරුබිය ඇති, එතුමන්ගේ මාර්ගයෙහි හැසිරෙන සියල්ලෝ භාග්‍යවන්තයෝ ය.
2මන්ද, ඔබේ ශ්‍රම ශක්තියේ ප්‍රතිඵලය ඔබ භුක්ති විඳින්නෙහි ය. ඔබ වාසනාවන්ත ය; ඔබට ශුභසිද්ධ වන්නේ ය.
3ඔබේ බිරිඳ ඔබේ නිවෙස තුළ පල දෙන මිදිවැලක් මෙන් වන්නී ය. ඔබේ දරුවෝ ඔබේ මේසය වටා ඔලීව පැල මෙන් වන්නෝ ය.
4සමිඳුන් කෙරෙහි ගරුබිය දක්වන්නා මෙසේ ආසිරි ලබන්නේ ය.
5සමිඳාණෝ සියොන්හි සිට ඔබට ආශීර්වාද කරන සේක් වා! ඔබේ මුළු ජීවිත කාලයේ දී ජෙරුසලමේ සුබ සෙත ඔබට දක්නට ලැබේ වා!
Alleluia
ශුද්ධ වූ මතෙව් 23: 9b, 10b
9මිහි පිට කිසිවෙකුට ‘පියාණෝ’ යි නොකියන්න. ඔබට ඇත්තේ ස්වර්ගයෙහි වැඩ වසන එක ම පියාණන් වහන්සේ ය.
10ඔබ ‘නායකයෝ’ යි කියවා නොගන්න. ඔබගේ නායකයාණෝ එක් කෙනෙක් ම ය, එනම්, ක්‍රිස්තුන් වහන්සේ ය.
Gospel
ශුද්ධ වූ මතෙව් 23: 1-12
1එකල ජේසුස් වහන්සේ සමූහයාටත්, සිය ශ්‍රාවකයන්ටත් කතා කොට මෙසේ වදාළ සේක:
2විනයධරයෝ ද පරිසිවරු ද මෝසෙස්ගේ ව්‍යවස්ථාවලිය පිළිබඳ බලය ලත් අටුවාචාරීහු වෙති.
3එබැවින් ඔවුන් ඔබට අණ කරන සියල්ල නොපිරිහෙළා පිළිපදින්න. එහෙත්, ඔවුන්ගේ ක්‍රියා අනුව නොයන්න. ඔව්හු එකක් කියති, අනිකක් කරති.
4ඔව්හු ඉසිලිය නොහැකි මහ බර පොදි බැඳ මිනිසුන්ගේ කරේ තබති. එහෙත්, ඒ බර පොදි ඉසිලීමට සුළැඟිල්ලක තරම වත් ආධාරයක් දීමට කැමැති නොවෙති.
5ඔවුන් හැම දෙය ම කරන්නේ මිනිසුන්ට පෙනෙන පිණිස ය. ඔව්හු ශුද්ධ ලියවිලි පාඨ සඳහන් බඳන පළල් කරගෙන නළලෙහි ද බාහුවල ද පළඳිති. වස්ත්‍රවල දාවලු මහත් කරති.
6මංගල්‍යය භෝජනවල දී මූලාසනයට ද ධර්මශාලාවල දී ප්‍රධාන අසුන්වලට ද,
7වෙළඳ පොළවල දී ගෞරවාචාර ලැබීමට ද, මිනිසුන් විසින් ‘ගුරුදේව’ කියා අමතනු ලැබීමට ද ප්‍රිය කරති.
8එහෙත්, ඔබ ‘ගුරුදේව’ යයි කියවා නොගන්න. ඔබගේ ගුරුදේවයාණෝ එක් කෙනෙක් ම ය. ඔබ කවුරුත් සහෝදරයෝ ය.
9මිහි පිට කිසිවෙකුට ‘පියාණෝ’ යි නොකියන්න. ඔබට ඇත්තේ ස්වර්ගයෙහි වැඩ වසන එක ම පියාණන් වහන්සේ ය.
10ඔබ ‘නායකයෝ’ යි කියවා නොගන්න. ඔබගේ නායකයාණෝ එක් කෙනෙක් ම ය, එනම්, ක්‍රිස්තුන් වහන්සේ ය.
11එහෙත්, ඔබ අතරෙන් ඉතා උතුම් තැනැත්තා ඔබගේ සේවකයා වන්නේ ය.
12තමා ම උසස් කරගන්නා කවරෙකු වුව ද, පහත් කරනු ලබන්නේ ය; තමා ම පහත් කරගන්නා කවරෙකු වුව ද, ඔහු උසස් කරනු ලබන්නේ ය.