කියවීම්
2027 අගෝස්තු 12
Ordinary Weekday/ Jane Frances De Chantal, Married Woman, Religious Founder
Jane Frances De Chantal, Married Woman, Religious Founder
First Reading
ජෝෂුවා 3: 7-10a, 11, 13-17
7සමිඳාණන් වහන්සේ ජෝෂුවාට මෙසේ වදාළ සේක: ”මා මෝසෙස් සමඟ වැඩ සිටියාක් මෙන් නුඹ සමඟ ද වැඩ සිටින බව සියලු ඉශ්රායෙල්වරුන් දැනගනු පිණිස ඔවුන්ගේ ඇස් ඉදිරියෙහි නුඹ උසස් කිරීමට ද අද දවසේ මම පටන් ගන්නෙමි.
8නුඹ ගිවිසුම් කරඬුව උසුලාගෙන යන පූජකවරුන්ට කතා කොට, ‘ඔබ හැම ජොර්දාන් ගඟේ දිය අද්දරට පැමිණි විට එහි නැවතී සිටින්න’ කියා අණ කරන්න.”
9එවිට ජෝෂුවා ඉශ්රායෙල් ජනයා අමතමින්, ”මෙහි පැමිණ ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ වදාළ දේට සවන් දෙන්නැ”යි කීවේ ය.
10ඔහු තවදුරටත් මෙසේ කීවේ ය: ”ජීවමාන දෙවියන් වහන්සේ ඔබ අතර සිටින බවත්, උන් වහන්සේ නොඅනුමානව ම ඔබ ඉදිරියෙන් කානානිවරුන් සහ හිත්තීවරුන් ද හිවීවරුන් සහ පෙරිස්සිවරුන් ද ගිර්ගාෂිවරුන් සහ අමෝරිවරුන් ද ජෙබුසිවරුන් ද පන්නා දමන බවත් ඔබ මෙයින් දැනගන්නහු ය.
11බලන්න, මුළු පොළොවට අධිපති වන සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ඔබ පෙරටුවෙන් ජොර්දාන් ගඟට වැඩම කරනු ඇත.
13මුළු පොළොවට අධිපති වන සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව උසුලාගෙන යන පූජකවරුන් ජොර්දාන් ගඟේ දියෙහි පා තැබූ කෙණෙහි ම ඉහළින් ගලා බසින ජලය නතර වී ගොඩගැහී සිටිනු ඇත.”
14සෙනඟ ජොර්දාන් ගඟින් එතෙරට යන්නට තමන්ගේ කූඩාරම්වලින් නික්ම ගිය විට, ගිවිසුම් කරඬුව උසුලාගෙන යන පූජකවරු සෙනඟට පෙරටුවෙන් ගියෝ ය.
15ගිවිසුම් කරඬුව උසුලාගෙන ගිය පූජකවරු ජොර්දාන් ගඟට පැමිණ දියෙහි පා තැබූ හ. අස්වැන්න නෙළන මුළු කාලය තුළ දී ජොර්දාන් ගඟේ දිය ඉවුරු තළා උතුරා යයි.
16ඔවුන් පා තැබූ වහා ම ඉහළින් බැස එන දිය නැවතී, ඉතා දුරට, ශාරෙතාන් ඉදිරිපිට තිබෙන නුවර වන ආදාම් දක්වා ගොඩගැසුණේ ය. අරබා මිටියාවතෙහි පිහිටි ලුණු මුහුදට බැස යන දිය සම්පූර්ණයෙන් ම වෙන් වී ගියේ ය. සෙනඟ ජෙරිකෝවට මූණ ලා ගඟින් එතෙර වූ හ.
17ජොර්දාන් ගඟෙන් එතෙර වනතෙක්, ඉශ්රායෙල්වරුන් සියලු දෙනා වියළි බිම පිට ගමන් කළ අතර සමිඳාණන් වහන්සේගේ ගිවිසුම් කරඬුව ගෙන ගිය පූජකවරු ජොර්දාන් ගඟ මැද වියළි බිම පිට සිටගෙන සිටියෝ ය.
Responsorial Psalm
ගීතාවලිය 114: 1-2, 3-4, 5-6
1ඉශ්රායෙල් සෙනඟ මිසර දේශයෙන් ද ජාකොබ්ගේ පරපුර විදේශයකින් ද නික්ම ගියෝ ය.
2එවිට ජුදා දේශය සමිඳුන්ගේ ශුද්ධස්ථානය විය, ඉශ්රායෙල් දේශය එතුමන්ගේ රාජ්‍යය විය.
3රතු මුහුද එය දැක පලා ගියා ය; ජොර්දාන් ගඟ ආපසු ගලා යෑම නැවතුණේ ය.
4කඳු, බැටළුවන් මෙන් ද කුඩා හෙල්, බැටළු පැටවුන් මෙන් ද පැන පැන ක්‍රීඩා කෙළේ ය.
5එම්බා රතු මුහුද! නුඹ පලා යන්නේත්, ජොර්දාන් ගඟ, නුඹේ ගැලීම නැවතුණේත් නුඹලාට කුමක් සිදු වූ නිසා ද?
6එම්බා කඳු! නුඹලා බැටළුවන් මෙන් ද කුඩා හෙල්, නුඹලා බැටළු පැටවුන් මෙන් ද පැන පැන ක්‍රීඩා කරන්නේ කුමක් නිසා ද?
Alleluia
ගීතාවලිය 119: 135
135දයාවෙන් මා දෙස බැලුව මැනව; ඔබේ පණත් මට ඉගැන්නුව මැනව.
Gospel
ශුද්ධ වූ මතෙව් 18: 21 - 19: 1
21එකල පේදුරු උන් වහන්සේ වෙතට අවුත්, ”ස්වාමීනි, මට විරුද්ධ ව පව් කරන මාගේ සහෝදරයාට මා කී වාරයක් කමා විය යුතු ද? සත් වාරයක් දක්වා දැ”යි උන් වහන්සේගෙන් ඇසී ය.
22ජේසුස් වහන්සේ ඔහුට කතා කොට, ”සත් වාරයක් නොව, සත් වාර සැත්තෑවකි.
23මන්ද, ස්වර්ග රාජ්‍යය මෙවැන්නකට උපමා කළ හැකි ය: සිය දාසයන් සමඟ ගණන් හිලව් බැලීමට තීරණය කරගත් රජෙක් විය.
24ඔහු එසේ කරන්න පටන්ගත් කල රුපියල් දෙකෝටියක් පමණ ණය වූ කෙනෙක් ඔහු වෙත ගෙනෙන ලද්දේ ය.
25ණය ගෙවීමට ඔහුට කිසිවක් නොතිබුණු බැවින්, ස්වාමියා ඔහු ද ඔහුගේ බිරිඳ හා දරුවන් ද ඔහු සන්තක සියල්ල ද විකුණා ණය ගෙවන්න අණ කෙළේ ය.
26එවිට ඒ දාසයා දණින් වැටී, ‘මා ගැන ඉවසන්න, මුළු ණය ගෙවන්නෙමි’යි කී ය.
27ඒ දාසයාගේ ස්වාමියා ඔහු ගැන අනුකම්පාවෙන් පිරී, ඔහු ණයෙන් නිදහස් කොට කමාව දුන්නේ ය.
28එහෙත්, ඒ දාසයා නික්ම ගොස්, තම සහකාර දාසයන්ගෙන් තමාට රුපියල් දෙසීයක් පමණ ණය ව සිටි කෙනෙකු දැක, ඔහුගේ බෙල්ල මිරිකා ඔහු අල්ලාගෙන, ‘මගේ ණය ගෙවාපන්නැ’යි කී ය.
29එවිට ඔහුගේ සහකාර දාසයා බිම වැටී, ‘මා ගැන ඉවසන්න, ණය ගෙවන්නෙමි’යි කන්නලව් කරමින් කී ය.
30එහෙත්, ඔහු නොඉවසා ණය ගෙවන තෙක් ඔහු හිර අඩස්සි කෙළේ ය.
31ඔහුගේ සහකාර දාසයෝ සිදුවූ දේ දැක, අතිශයින් ශෝක වී, අවුත් සිදුවූ සියල්ල තම ස්වාමියාට දැන්වූ හ.
32එවිට ඔහුගේ ස්වාමියා ඔහු කැඳවා කතා කොට, ‘දුෂ්ට දාසය, නුඹේ ඉල්ලීම නිසා මම ඒ ණය සියල්ල නුඹට කමා කෙළෙමි.
33මා නුඹට අනුකම්පා කළාක් මෙන් ම, නුඹත් නුඹේ සහකාර දාසයාට අනුකම්පා කළ යුතුව තිබුණා නොවේ දැ’යි ඇසී ය.
34ඔහුගේ ස්වාමියා කෝප ව ඔහු තමාට ගෙවිය යුතු සම්පූර්ණ ණය ගෙවන තෙක් ඔහු වධකයන්ට භාර දුන්නේ ය.
35ඔබත් එකිනෙකා තමාගේ සහෝදරයාට මුළු සිතින් කමා නොකරන්නහු නම්, ස්වර්ගයෙහි වැඩ වසන මාගේ පියාණන් වහන්සේ ද, එසේ ම ඔබටත් කමා නොකරනු ඇත.”
1තවද ජේසුස් වහන්සේ මේ වචන වදාරා නිම කොට, ගලීලයෙන් නික්ම ජොර්දානෙන් එගොඩ ජුදයේ පළාත්වලට පැමිණි සේක.