කියවීම්
2027 අගෝස්තු 14
Maximilian Mary Kolbe, Priest, Martyr Obligatory Memorial
දවසේ දේව මෙහෙය
First Reading
ජෝෂුවා 24: 14-29
14එබැවින් ඔබ හැම දෙවියන් වහන්සේට ගරුබිය පා, අවංක ව ද විශ්වාසී ව ද උන් වහන්සේට වැඳුම්පිදුම් කරන්න. ඔබේ පියවරුන් ගංගාවෙන් එතෙර දීත්, මිසරයේ දීත් වැඳුම්පිදුම් කළ දෙවිවරුන් පහකර දමා, සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්න.
15සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කිරීමට ඔබ සතුටු නැත් නම්, ඔබ වැඳුම්පිදුම් කරන්නට කැමැති කවරෙකුට ද කියා අදම තීරණය කරගන්න. ගඟින් එගොඩ සිටි ඔබේ පියවරුන් වැඳුම්පිදුම් කළ දෙවිවරුන්ට හෝ ඔබ වාසය කරන දේශයේ සිටින අමෝරිවරුන්ගේ දෙවිවරුන්ට හෝ වැඳුම්පිදුම් කරන්නට තීරණය කරගන්න. එහෙත් අපි, එනම්, මාගේ පවුල ද, මම ද සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්නෙමු.”
16සෙනඟ පිළිතුරු දෙමින්, ”අන් දෙවිවරුන්ට වැඳුම්පිදුම් කරන පිණිස කවරදාවත් අපි සමිඳාණන් වහන්සේ අත් නොහරින්නෙමු.
17මන්ද, අප සහ අපේ පියවරුන් මිසර දේශය නමැති වහල්කමේ නිවාසයෙන් පිටතට ගෙනාවේත්, අපේ ඇස් ඉදිරියේ මහත් හාස්කම් කෙළේත්, අපේ මුළු මාර්ගයේ දී ද අප පසු කර ආ මුළු සෙනඟ අතරේ දී ද අප ආරක්ෂා කෙළේත්, අපේ දෙවි සමිඳාණන් වහන්සේ ම ය.
18සමිඳාණන් වහන්සේ සියලු මනුෂ්‍ය වර්ගයන් ද දේශයේ සිටි අමෝරිවරුන් ද අප ඉදිරියෙන් එළවා දැමූ සේක. එබැවින් අපිත් සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්නෙමු. මන්ද, උන් වහන්සේ අපේ දෙවියන් වහන්සේ ය”යි කීවෝ ය.
19ජෝෂුවා සෙනඟට කතා කොට, ”සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්නට ඔබට නොහැකි ය. මන්ද, උන් වහන්සේ ශුද්ධ දෙවි කෙනෙකි; ප්‍රතිවාදීන් නොඉවසන දෙවි කෙනෙකි. එබැවින් උන් වහන්සේ ඔබේ අපරාධ ද පාප ද කමා නොකරන සේක.
20ඉතින් ඔබ සමිඳාණන් වහන්සේ අත්හැර අන් දෙවිවරුන්ට වැඳුම්පිදුම් කරන්නහු නම්, උන් වහන්සේ ඔබට කලින් යහපත කළ නමුත්, දැන් ඔබට විරුද්ධ වී ඔබට විපත්ති පමුණුවා ඔබ විනාශ කරන සේකැ”යි කීවේ ය.
21සෙනඟ ද පිළිතුරු දෙමින්, ”නැත. අප වැඳුම්පිදුම් කරන්නේ සමිඳාණන් වහන්සේට ම ය”යි ජෝෂුවාට කීවෝ ය.
22ජෝෂුවා කතා කරමින්, ”සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කිරීමට ඔබ උන් වහන්සේ තෝරාගත් බවට ඔබට විරුද්ධ ව ඔබ ම සාක්ෂිකාරයෝ ය”යි සෙනඟට කීවේ ය. ඔව්හු පිළිතුරු දෙමින්, ”අපි සාක්ෂිකාරයෝ වමු”යි කීවෝ ය.
23එසේ වී නම් ඔබ අතරෙහි ඇති අන් දෙවිවරුන් පහකර දමා, ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ වෙත ඔබේ සිත් යොමු කරන්නැ”යි ජෝෂුවා ඔවුන්ට කීවේ ය.
24අපි අපේ දෙවි සමිඳාණන් වහන්සේට වැඳ පුදා උන් වහන්සේගේ හඬට සවන් දෙන්නෙමු”යි සෙනඟ ද, ජෝෂුවාට පිළිතුරු දුන්නෝ ය.
25මෙසේ ජෝෂුවා ඒ දවසේ ෂෙකෙම්හි දී සෙනඟ සමඟ ගිවිසුමක් කර, ඔවුන්ට පණතක් ද නියෝගයක් ද නියම කෙළේ ය.
26ජෝෂුවා මේ වචන දෙවියන් වහන්සේගේ ව්‍යවස්ථා පොතේ ලියා, විශාල ගලක් රැගෙන එය සමිඳාණන් වහන්සේගේ ශුද්ධස්ථානයේ තිබුණ ආලෝන ගස යට පිහිටුවා,
27මුළු සෙනඟ අමතා, ”මේ ගල අපට සාක්ෂියක් පිණිස තිබේ. මන්ද, සමිඳාණන් වහන්සේ අපට වදාළ සියලු වචන ඒ ගලට ඇසුණේ ය. එබැවින් ඔබේ දෙවි සමිඳාණන් වහන්සේ ප්‍රතික්ෂේප නොකරන පිණිස ඒ ගල ඔබට සාක්ෂියක් වන්නේ ය”යි කීවේ ය.
28ඉන්පසු ජෝෂුවා මුළු සෙනඟ තම තමන්ගේ උරුම ප්‍රදේශවලට යැව්වේ ය.
29මේ සිද්ධීන්ගෙන් පසු සමිඳාණන් වහන්සේගේ මෙහෙකරු නූන්ගේ පුත් ජෝෂුවා එකසිය දස අවුරුද්දක් ආයු වළඳා මියගියේ ය.
Responsorial Psalm
ගීතාවලිය 16: 1-2a and 5, 7-8, 11
1දෙවිඳුනි, මම ඔබ සරණකොට ගතිමි. එබැවින් මා රැකගත මැනව.
2මම මෙසේ කීමි: ”සමිඳුනි, ඔබ මාගේ සමිඳාණන් වහන්සේ ය, මාගේ සව් සම්පත ය. ඔබ හැර අන්කිසි සෙතක් මට නැත්තේ ය.”
5සමිඳුනි, මාගේ උරුමය හා ඉරණම ඔබ වහන්සේ ය. ඔබ, ඔබ පමණක් ම මා උරුම කොටස රක්නා සේක.
7මට උවදෙස් දෙන හිමි තුමන් හට තුති කරන්නෙමි. රෑ යාම්වල දී මා සිත්සතන්හි නුවණ පහළ වන්නේ ය.
8හිමි තුමන් නිරතුරු මා අබියස තබාගන්නෙමි. මා දකුණු පස එතුමාණන් වැඩ වසන බැවින් මම නොසැලෙන්නෙමි.
11ඔබ මට ජීවන මඟ හෙළි කරන සේක. ඔබ අබිමුවෙහි පිරිපුන් සතුට මට වන්නේ ය. ඔබ දකුණු පස සැප සම්පත් සදහට ම ඇත්තේ ය.
Alleluia
ශුද්ධ වූ මතෙව් 11: 25
25ඒ අවස්ථාවේ දී ජේසුස් වහන්සේ උත්තර දෙමින් මෙසේ වදාළ සේක: ”ස්වර්ගයටත්, පොළොවටත් ස්වාමීන් වන පියාණන් වහන්ස, ඔබ වහන්සේ මේ කරුණු පැණවතුන් හා නැණවතුන් කෙරෙන් ආවරණය කොට, බාලයන්ට අනාවරණය කළ හෙයින් ඔබට තුති පුදමි.
Gospel
ශුද්ධ වූ මතෙව් 19: 13-15
13එකල උන් වහන්සේගේ අත් ළදරුවන් පිට තබා යාච්ඤා කරන පිණිස, සමහරු උන් වහන්සේ වෙතට ඔවුන් ගෙනාහ. ශ්‍රාවකයෝ ඔවුන්ට තරවටු කළහ.
14එහෙත්, ජේසුස් වහන්සේ කතා කොට, ”ළදරුවන්ට මා වෙත එන්න ඉඩ හරින්න; ඔවුන් නොවළක්වන්න; මන්ද, ස්වර්ග රාජ්‍යය මෙවැන්නන්ගේ ය”යි වදාළ සේක.
15උන් වහන්සේ ඔවුන් පිට අත් තබා එතැනින් නික්ම ගිය සේක.