අගෝස්තු 2027

බ්‍ර සි සෙ
1234567
891011121314
15161718192021
22232425262728
293031
අද දිනට

කියවීම්

2027 අගෝස්තු 5

Ordinary Weekday/ Dedication of the Basilica of Saint Mary Major in Rome

Dedication of the Basilica of Saint Mary Major in Rome
First Reading

ගණන් කථාව 20: 1-13

1පළමු වන මාසයේ දී මුළු ඉශ්රායෙල් ජනතාව ශීන් නම් පාළුකරයට ඇතුළු වී කාදෙෂ් නම් ස්ථානයේ නවාතැන් ගත්හ. එහි දී මීරියම් මරණයට පත් වූයෙන්, ඈ භූමදාන කෙරිණි. 2ජනතාවට එහි ජලය නොතිබුණු බැවින් ඔව්හු මෝසෙස්ට හා ආරොන්ට විරුද්ධ ව එක්රැස් වී 3මෝසෙස්ට අභියෝග කරමින්, ”සමිඳාණන් වහන්සේ ඉදිරිපිට අපේ සොහොයුරන් නැසුණු විට අපිත් නැසුණෙමු නම් කෙතරම් හොඳ ද? 4ඔබ දෙදෙන සමිඳාණන් වහන්සේගේ සෙනඟ මේ පාළුකරයට ගෙනාවේ මන් ද? අපත් අපේ ගවමහිෂයනුත් මරාදමන්නට ද? 5ඔබ දෙදෙන මිසරයෙන් පිටතට අප ගෙනාවේ මන් ද? මේ කාලකණ්ණි තැනට අප ගෙනෙන්නට ද? මෙතැන ධාන්‍යයටත්, අත්තික්කාවලටත්, මිදිවලටත්, දෙළුම් ගස්වලටත් තැනක් නොවේ. ඒ මදිවාට බොන්නට වතුරත් නැතැ”යි කී හ. 6එවිට මෝසෙස් සහ ආරොන් සෙනඟගෙන් ඉවත් ව, සම්මුඛ මණ්ඩපයේ දොරකඩට ගොස් මුණින්තලා වැටුණාහ. සමිඳාණන් වහන්සේගේ මහිමාලංකාරය ඔවුන්ට දර්ශනය විය. 7සමිඳාණන් වහන්සේ මෝසෙස් අමතමින්, 8නුඹේ සැරයටිය ගෙන නුඹත්, නුඹේ සොහොයුරු ආරොනුත් ජනතාවත් එකට රැස් කරන්න. එසේ රැස් කොට, ඔවුන්ට පෙනෙන අර පර්වතයට අණ කරන්න. ඉන් වතුර ගලා යනු ඇත. නුඹ පර්වතයෙන් ගලා යන ඒ වතුර ඔවුන්ට දිය යුතු ය. මෙසේ සෙනඟටත්, ඔවුන්ගේ සතුන්ටත් බොන්නට වතුර ලැබෙනු ඇතැ”යි වදාළ සේක. 9සමිඳාණන් වහන්සේ මෝසෙස්ට අණ කළ පරිදි, ඔහු උන් වහන්සේ ඉදිරිපිටින් සැරයටිය ගත්තේ ය. 10ඔවුන් දෙදෙන පර්වතය ඉදිරිපිට ජනතාව එක්රැස් කළහ. ඉන්පසු මෝසෙස් ඔවුන් අමතමින්, ”දැන් ඉතින්, කැරලිකරුවෙනි, මට සවන් දෙනු. මේ පර්වතයෙන් වතුර ගලා එවන්නට දැ”යි ඇසී ය. 11ඔහු අත ඔසවා, සැරයටියෙන් පර්වතයට දෙවරක් ගැසී ය. මහා ජලධාරාවක් පිටාර ගැලී ය, ජනතාව සහ ඔවුන්ගේ සත්තු එයින් බීවෝ ය. 12සමිඳාණන් වහන්සේ මෝසෙස්ට හා ආරොන්ට කතා කොට, ”ඉශ්රායෙල් ජනයා ඉදිරියෙහි මගේ ශුද්ධ බල මහිමය පිළිගන්නා තරමට නුඹලා මා කෙරෙහි විශ්වාසය නොතැබූ බැවින්, මා මේ සෙනඟට දීමට පොරොන්දු වූ දේශයට නුඹලා ඔවුන් ගෙන නොයන්නහු ය”යි වදාළ සේක. 13ඉශ්රායෙල් ජනයා සමිඳාණන් වහන්සේට විරුද්ධ ව දොස් තැබූ බැවිනුත්, ඒ වතුර මඟින් උන් වහන්සේ සිය ශුද්ධ බල මහිමය ඔවුන්ට ප්‍රකාශ කළ බැවිනුත්, ඒ වතුර ”මෙරිබාහි වතුර ය”යි නම් කරනු ලැබී ය.
Responsorial Psalm

ගීතාවලිය 95: 1-2, 6-7, 8-9

1එන්න, සමිඳුන් හට ප්‍රීති ප්‍රමෝදයෙන් ගායනා කරමු; අප මිදූ පර්වතයාණන් හට සාදු හඬ නඟා තුති ගී ගයමු. 2තුති ගී ගයා එතුමන් අබිමුවට ගමන් කරමු; එතුමන් හට ජය මංගල ගී ගයමු. 6එන්න, හිස නමා එතුමන් හට නමස්කාර කරමු; අප මැවූ සමිඳුන් අබිමුව දණින් වැටෙමු. 7එතුමාණෝ අපේ දෙවිඳාණෝ ය. අපි එතුමන්ගේ සෙනඟ ය; එතුමාණන් පෝෂණය කරන බැටළුවෝ ය. එතුමාණන් පවසන දේට සවන් දුන්නොත් යහපත! 8පාළුකරයේ මස්සා නම් ස්ථානයේ සිටි දවසේ දී මෙන් ද මෙරිබා නම් ස්ථානයේ දී මෙන් ද ඔබේ සිත් දැඩි කර නොගන්න. 9එහි දී ඔබේ ආදි පියවරු මා පරීක්ෂා කළෝ ය. මාගේ ක්‍රියා දැක දැකත් මට අභියෝග කළෝ ය.
Alleluia

ශුද්ධ වූ මතෙව් 16: 18

18මම ඔබට කියමි: ඔබ පේදුරු ය. මේ පර්වතය පිට මාගේ සභාව ගොඩනඟන්නෙමි. පාතාලයේ දොරටුවලට වුව ද, එය පරාජය නොකළ හැකි ය.
Gospel

ශුද්ධ වූ මතෙව් 16: 13-23

13ජේසුස් වහන්සේ පිලිප්පි කායිසාරියේ පෙදෙස්වලට පැමිණි කල, ”මනුෂ්‍ය-පුත්‍රයාණෝ කවරෙක් ය කියා මිනිස්සු කියත් දැ”යි සිය ශ්‍රාවකයන්ගෙන් ඇසූ සේක. 14ඔව්හු කතා කොට, ”සමහරෙක්, ‘ස්නාවක ජොහන් ය’ කියා ද සමහරෙක්, ‘එලියා ය’ කියා ද, අන් සමහරෙක් ‘ජෙරෙමියා නොහොත් දිවැසිවරයන්ගෙන් කෙනෙක් ය’ කියා ද කියති”යි කී හ. 15එහෙත් ඔබ මා කවරෙකු කියා කියන්නහු දැ”යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. 16සීමොන් පේදුරු උත්තර දෙමින්, ”ඔබ ක්‍රිස්තුවරයාණෝ ය, ජීවමාන දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝ ය”යි කී ය. 17ජේසුස් වහන්සේ උත්තර දෙමින්, ”ජෝනාගේ පුත් සීමොන්, ඔබ ඉතා භාග්‍යවන්ත ය. මන්ද, ස්වර්ගයෙහි වැඩවසන මාගේ පියාණන් වහන්සේ විසින් මිස මනුෂ්‍ය මඟකින් මෙය ඔබට එළිදරව් නොකරන ලද්දේ ය. 18මම ඔබට කියමි: ඔබ පේදුරු ය. මේ පර්වතය පිට මාගේ සභාව ගොඩනඟන්නෙමි. පාතාලයේ දොරටුවලට වුව ද, එය පරාජය නොකළ හැකි ය. 19ස්වර්ග රාජ්‍යයේ යතුරු ඔබට දෙන්නෙමි. ඔබ පොළොවෙහි දී යමක් බඳින්නෙහි ද, එය ස්වර්ගයෙහි දී බඳිනු ලබන්නේ ය. ඔබ පොළොවෙහි දී යමක් මුදන්නෙහි ද එය ස්වර්ගයෙහි දී මුදනු ලබන්නේ ය”යි වදාළ සේක. 20තවද, තමන් ක්‍රිස්තුන් වහන්සේ බව කිසිවෙකුට නොකියන ලෙස උන් වහන්සේ ශ්‍රාවකයන්ට අණ දුන් සේක. 21එවක් පටන් ජේසුස් වහන්සේ, තමන් ජෙරුසලමට වැඩම කර, ප්‍රජා මූලිකයන්ගෙන් හා නායක පූජකයන්ගෙන් ද විනයධරයන්ගෙන් ද බොහෝ දුක් වේදනා විඳින්ටත් මරනු ලබන්ටත්, තුන් වන දා උත්ථාන කරනු ලබන්ටත් යන බව සිය ශ්‍රාවකයන්ට දන්වන්න පටන්ගත් සේක. 22එවිට පේදුරු උන් වහන්සේ පැත්තකට කැඳවා තරවටු කරන්න පටන් ගෙන, ”ස්වාමීනි, එය දුරින් ම දුරුවේ වා! එවැන්නක් ඔබට කවදාවත් සිදු නො වේ වා”යි කී ය. 23එහෙත්, උන් වහන්සේ හැරී, පේදුරුට කතා කොට, ”සාතන්, අහකට යව; නුඹ මට බාධාවකි; නුඹ සිතන්නේ මිනිසුන් සිතන විධියට මිස දෙවියන් වහන්සේ සිතන විධියට නොවේ ය”යි වදාළ සේක.