කියවීම්
2027 අගෝස්තු 18
Ordinary Weekday
දවසේ දේව මෙහෙය
First Reading
වීරාවලිය 9: 6-15
6ඉන්පසු ෂෙකෙම්හි සියලු වැසියෝ ද මිල්ලෝහි සියලු වැසියෝ ද එක් ව ගොස් ෂෙකෙම්හි තිබුණු කණුව අසල ආලෝන වෘක්ෂය ළඟ දී අබිමෙලෙක් රජකමට පත් කළෝ ය.
7මේ කරුණ ගැන ජෝතාම්ට දැන්වූ විට ඔහු ගොස් ගෙරිශීම් කන්ද පිට සිට මොරගසමින් මෙසේ කීවේ ය: ”ෂෙකෙම්හි වැසියෙනි, දෙවියන් වහන්සේ ඔබට සවන් දෙන පිණිස, ඔබ මට සවන් දෙන්න.
8එක් කලෙක වෘක්ෂයෝ තමන් කෙරෙහි රජෙකු පත් කරගන්නට ගිය හ. ඒ වෘක්ෂයෝ, ‘ඔබ අප කෙරෙහි රජ වුණ මැනවැ’යි ඔලීව වෘක්ෂයට කී හ.
9ඔලීව ගස ඒ වෘක්ෂයන්ට පිළිතුරු දෙමින්, ‘දෙවියන් වහන්සේට ද මනුෂ්‍යයන්ට ද ගෞරව කරන්නට පාවිච්චි කරන මාගේ තෙල් අත්හැර ඔබ කෙරෙහි රජ කරන පිණිස යාම මට යුතු දැ’යි ඇසී ය.
10එවිට වෘක්ෂයෝ, ‘ඔබ අවුත් අප කෙරෙහි රජ වුණ මැනවැ’යි අත්තික්කා ගසට කී හ.
11අත්තික්කා ගස ඒ වෘක්ෂයන්ට පිළිතුරු දෙමින්, ‘ඔබ කෙරෙහි රජ කරන පිණිස, මාගේ හොඳ ඵල ද එහි මිහිර ද අත්හැරීම යුතු දැ’යි ඇසී ය.
12එවිට වෘක්ෂයෝ, ‘ඔබ අවුත් අප කෙරෙහි රජ වුණ මැනවැ’යි මිදි වැලට කී හ.
13මිදි වැල පිළිතුරු දෙමින්, ‘ඔබ කෙරෙහි රජකම් කරන පිණිස, මා දෙවිවරුන් සහ මනුෂ්‍යයන් ප්‍රීති කරවන මාගේ මිදියුස අත්හැරීම යුතු දැ’යි ඇසී ය.
14එවිට සියලු වෘක්ෂයෝ, ‘ඔබ අවුත් අප කෙරෙහි රජ වුණ මැනවැ’යි කටුඇඹිල්ල ගසට කී හ.
15කටුඇඹිල්ල ගස පිළිතුරු දෙමින්, ‘ඔබ සැබෑවට ම ඔබ කෙරෙහි රජෙකු කොට මා පත්කරගන්නහු නම්, අවුත් මාගේ සෙවණෙහි රැකවරණය ලබා සිටින්න. එසේ නොකළොත්, කටුඇඹිල්ල ගසෙන් ගින්නක් නික්ම ලෙබනොන්හි කිහිරි ගස් දවාලන්නේ යැ’යි වෘක්ෂයන්ට කීවේ ය.
Responsorial Psalm
ගීතාවලිය 21: 2-3, 4-5, 6-7
2ඔබ ඔහුගේ මන දොළ පුරවා ලූ සේක; ඔහුගේ යාදිනි නොපිරිහෙළා ඉටු කළ සේක.
3ඔබ සැප සම්පත් රැගෙන ඔහු වෙත එන සේක; ඔහුට පිවිතුරු රන් කිරුළක් පළඳවන සේක.
4ඔහු ඔබෙන් දිවි සම්පත අයැදී ය, ඔබ ඔහුට එය දුන් සේක; දිගායු ද ප්‍රදානය කළ සේක.
5ඔබෙන් ලත් විමුක්තිය රජුට යස ඉසුරු ගෙන දෙයි. කීර්තිය හා ප්‍රතාපය ඔබ ඔහුට දෙන සේක.
6ඔබ ඔහුට සදහට ම ඉමහත් ආසිරි දානය කරන සේක; ඔබ ඔහු සමඟ සිටීමෙන් ඇති වන ප්‍රීතියෙන් ඔහු පිනවන සේක.
7මන්ද, සමිඳුන් කෙරේ රජ තෙමේ විශ්වාසය තබයි; මහෝත්තමයාණන්ගේ කරුණා මහිමය නිසා ඔහු නොසැලී රජකම් කරයි.
Alleluia
හෙබ්‍රෙව් 4: 12
12දෙවියන් වහන්සේගේ වචනය ජීවමාන ය; ක්‍රියාශීලී ය; දෙමුවහත් කඩුවකටත් වඩා තියුණු ය; ආත්මය ප්‍රාණයෙන් ද, සන්ධි ඇටමිදුලුවලින් ද වෙන් කරන තරම් විනිවිද යන්නේ ය; සිතේ සිතුවිලි ද අරමුණු ද විමසන්නේ ය.
Gospel
ශුද්ධ වූ මතෙව් 20: 1-16
1උන් වහන්සේ මෙසේ ද වදාළ සේක: ”ස්වර්ග රාජ්‍යය වූකලී තමාගේ මිදි වත්තට කුලීකරුවන් ගන්නා පිණිස එක් දිනක් අලුයම පිටත් ව ගිය ඉඩම් හිමියෙකුට සමාන ය.
2ඔහු දිනකට රිදී කාසියක් බැගින් ගෙවීමට කුලීකරුවන්ට පොරොන්දු වී, තමාගේ මිදි වත්තට ඔවුන් යැවී ය.
3උදේ නවයට පමණ ඔහු පිටත් ව ගොස්, කඩමණ්ඩියේ වැඩක් නැති ව සිටි තවත් අය දැක,
4‘ඔබත් මිදි වත්තට යන්න, සෑහෙන කුලියක් ඔබට දෙමි’යි කී ය.
5ඔව්හු වැඩට ගියහ. නැවත මද්දහනේ දී ද අපර භාග තුනට පමණ ද ඔහු පිටත් ව ගොස් එසේ ම කෙළේ ය.
6සවස පහට පමණ ද පිටත් ව ගොස් එහි තවත් අය සිටිනු දැක, ‘ඔබ මෙතැන දවස තිස්සේ නිකම් සිටින්නේ මන්දැ’යි ඔවුන්ගෙන් ඇසී ය.
7‘කිසිවෙකු අප වැඩට නොගත් නිසා ය’යි ඔව්හු කී හ. ‘ඔබත් මිදි වත්තට යන්නැ’යි ඔහු ඔවුන්ට කී ය.
8සවස් වූ කල මිදි වත්ත හිමියා සිය කළමනාකාරයාට කතා කොට, ‘කුලීකරුවන් කැඳවා අන්තිමට ආ අයගෙන් පටන්ගෙන පළමු වැන්නා දක්වා ඔවුන් හැමට කුලිය ගෙවන්නැ’යි කී ය.
9එවිට සවස පහට පමණ වැඩට ආ අය අවුත් එක එක මිනිසා රිදී කාසිය බැගින් ලැබූ හ.
10මුලින් ම වැඩට ගිය අය ආ විට තමන්ට ඊට වැඩියෙන් ලැබෙනු ඇතැයි සිතූ හ. එහෙත්, ඔව්හු ද එක එක මිනිසා රිදී කාසියක් බැගින් ලැබූ හ.
11එසේ ලැබූ ඔව්හු ඉඩම් හිමියාට විරුද්ධ ව දොස් කියමින්,
12‘මේ අන්තිමට ආ අය වැඩ කෙළේ එක පැයක් පමණි. එහෙත්, අවු රස්නය නොබලා මුළු දවසේ ම වෙහෙස මහන්සි වූ අපටත් ඔබ රිදී කාසියක කුලිය ම ගෙවන්නෙහි ය’යි කී හ.
13එහෙත්, ඔහු ඔවුන්ගෙන් කෙනෙකුට උත්තර දෙමින්, ‘යහළුව, මා ඔබට අයුත්තක් කරනවා නොවේ. ඔබ මා සමඟ රිදී කාසියක කුලියට එකඟ වුණා නොවේ ද?
14ඔබට දුන් කුලිය රැගෙන යන්න; ඔබට ගෙවූ ලෙස ම මේ අන්තිමයාටත් ගෙවීම මාගේ කැමැත්ත ය.
15මා සන්තක දෙයින් මා කැමැති දෙයක් කිරීමට මට අයිතියක් තිබෙනවා නොවේ ද? මා කාරුණික බැවින් ඔබ ඊර්ෂ්‍යා වන්නේ මන්දැ’යි ඇසී ය.
16මෙසේ අන්තිමයෝ ප්‍රථමයෝ ද ප්‍රථමයෝ අන්තිමයෝ ද වන්නෝ ය.”