අගෝස්තු 2027

බ්‍ර සි සෙ
1234567
891011121314
15161718192021
22232425262728
293031
අද දිනට

කියවීම්

2027 අගෝස්තු 22

Twenty-First Sunday in Ordinary Time

දවසේ දේව මෙහෙය
First Reading

ජෝෂුවා 24: 1-2a, 15-17, 18b

1ඉන්පසු ජෝෂුවා සියලු ඉශ්රායෙල් ගෝත්‍රයන් ෂෙකෙම්ට රැස් කරවා, ඉශ්රායෙල්වරුන්ගේ ප්‍රජා මූලිකයන් ද ප්‍රධානීන් ද විනිශ්චයකාරයන් ද නිලධාරීන් ද කැඳවී ය. ඔව්හු දෙවියන් වහන්සේ ඉදිරියෙහි පෙනී සිටියෝ ය. 2ජෝෂුවා මුළු සෙනඟට මෙසේ කීවේ ය: ”ඉශ්රායෙල්වරුන්ගේ දෙවි සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක: ‘යටගිය දවස ආබ්‍රහම්ගේ ද නාහෝර්ගේ ද පිය වූ තේරා වැනි, නුඹලාගේ පියවරු යුප්‍රටීස් ගඟෙන් එතෙර වාසය කරමින් අන් දෙවිවරුන්ට වැඳුම්පිදුම් කළෝ ය. 15සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කිරීමට ඔබ සතුටු නැත් නම්, ඔබ වැඳුම්පිදුම් කරන්නට කැමැති කවරෙකුට ද කියා අදම තීරණය කරගන්න. ගඟින් එගොඩ සිටි ඔබේ පියවරුන් වැඳුම්පිදුම් කළ දෙවිවරුන්ට හෝ ඔබ වාසය කරන දේශයේ සිටින අමෝරිවරුන්ගේ දෙවිවරුන්ට හෝ වැඳුම්පිදුම් කරන්නට තීරණය කරගන්න. එහෙත් අපි, එනම්, මාගේ පවුල ද, මම ද සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්නෙමු.” 16සෙනඟ පිළිතුරු දෙමින්, ”අන් දෙවිවරුන්ට වැඳුම්පිදුම් කරන පිණිස කවරදාවත් අපි සමිඳාණන් වහන්සේ අත් නොහරින්නෙමු. 17මන්ද, අප සහ අපේ පියවරුන් මිසර දේශය නමැති වහල්කමේ නිවාසයෙන් පිටතට ගෙනාවේත්, අපේ ඇස් ඉදිරියේ මහත් හාස්කම් කෙළේත්, අපේ මුළු මාර්ගයේ දී ද අප පසු කර ආ මුළු සෙනඟ අතරේ දී ද අප ආරක්ෂා කෙළේත්, අපේ දෙවි සමිඳාණන් වහන්සේ ම ය. 18සමිඳාණන් වහන්සේ සියලු මනුෂ්‍ය වර්ගයන් ද දේශයේ සිටි අමෝරිවරුන් ද අප ඉදිරියෙන් එළවා දැමූ සේක. එබැවින් අපිත් සමිඳාණන් වහන්සේට වැඳුම්පිදුම් කරන්නෙමු. මන්ද, උන් වහන්සේ අපේ දෙවියන් වහන්සේ ය”යි කීවෝ ය.
Responsorial Psalm

ගීතාවලිය 34: 2-3, 16-17, 18-19, 20-21, 22-23

2මම එතුමන්ගේ ගුණ වර්ණනා කරමි. නිහතමානී අය ඒ අසා තොස් වෙත්වා; 3මා සමඟ හිමි තුමන් වර්ණනා කරන්න; අපි එක් වී එතුමන්ගේ නාමය පසසමු. 16පව්කම් කරන අය පොළොවෙන් අමතක වී යන ලෙස හිමි තුමාණෝ ඔවුන්ට විරෝධය දක්වන සේක. 17දැහැමි අය අයැදුම් කළහ; හිමි තුමාණෝ සවන් දී සියලු දුක් වේදනාවලින් ඔවුන් මිදූ සේක. 18හිමි තුමාණෝ බිඳුණු සිත් ඇත්තන්ට ළං ව සිටින සේක; තැළුණු හදවත් ඇත්තන්ට පිහිට වන සේක. 19දමිටුන්ට බොහෝ ආපදා ඇතත්, හිමි තුමාණෝ ඒ සියල්ලෙන් ඔවුන් මුදා හරින සේක. 20එතුමාණෝ ඔවුන්ගේ ඇඟේ එක ඇටයකුදු නෑර ඔවුන් රක්නා සේක; ඉන් එකක් වත් බිඳෙන්න නොහරින සේක; 21දුෂ්ටයා නපුරෙන් වැනසෙයි. දැහැමි අයට දෙස් තබන්නෝ දඬුවම් ලබන්නෝ ය. 22හිමි තුමාණෝ සිය මෙහෙකරුවන් මුදන සේක. එතුමන්ගේ රැකවරණය සොයන කිසිවෙක් දඬුවම් නොලබන්නෝ ය.
Second Reading

එපීස 5: 21-32 or එපීස 5: 2a, 25-32

21ක්‍රිස්තුන් වහන්සේට ඇති ගෞරවය නිසා එකිනෙකාට යටත් වන්න. 22භාර්යාවෙනි, ඔබ සමිඳාණන් වහන්සේට මෙන්, තම ස්වාමි පුරුෂයන්ට යටත් ව සිටින්න. 23මන්ද, ක්‍රිස්තුන් වහන්සේ සභාවේ, එනම් උන් වහන්සේගේ ශරීරයේ, හිස වන්නාක් මෙන්, පුරුෂයා භාර්යාවගේ හිස ය. උන් වහන්සේ එම ශරීරයේ ගැළවුම්කාරයාණෝ වන සේක. 24එබැවින් සභාව ක්‍රිස්තුන් වහන්සේට යටත් වන්නාක් මෙන්, භාර්යාවන් ද සියලු දේවල දී පුරුෂයන්ට යටත් විය යුතු ය. 25පුරුෂයෙනි, ක්‍රිස්තුන් වහන්සේ සභාවට ප්‍රේම කොට සභාව වෙනුවෙන් සිය දිවි පුද කළාක් මෙන්, ඔබත් ඔබගේ භාර්යාවන්ට ප්‍රේම කරන්න. 26උන් වහන්සේ එසේ කෙළේ, වචනය නමැති වතුරෙන් ද සභාව සෝදා පිරිසුදු කර, කැප කර, 27එය තේජාන්විත සභාවක් වශයෙන් කැළලක් වත්, රැල්ලක් වත්, එබඳු කිසිවක් වත් නැති ව විශුද්ධ ව, නිකෙලෙස් ව, තමන්ට ම ප්‍රදානය කරගැනීමට ය. 28එසේ ම පුරුෂයන් විසින් ද සිය භාර්යාවන්ට තම ශරීරයට මෙන් ප්‍රේම කටයුතු ය. සිය භාර්යාවට ප්‍රේම කරන තැනැත්තා තමාට ම ප්‍රේම කරගන්නේ ය. 29කවරකුවත් කිසි ම කලෙක තමාගේ ශරීරයට ද්වේෂ කරගෙන නැත. එසේ නොව, ඔහු එය පෝෂණය කරගෙන ආරක්ෂා කරයි. ක්‍රිස්තුන් වහන්සේ සභාව ගැන සලකන්නේත් එසේ ම ය. මන්ද, එය උන් වහන්සේගේ ශරීරය වන බැවිනි. 30අපි ඒ ශරීරයේ අවයවයෝ වෙමු. 31මේ නිසා මිනිසෙක් තමාගේ පියා ද මව ද අත්හැර සිය භාර්යාවට ඇලුම් වන්නේ ය. ඒ දෙදෙන එක් කෙනෙක් වන්නෝ ය. 32මෙය මහා අබිරහසකි. මට හැඟෙන පරිදි එය අදාළ වන්නේ ක්‍රිස්තුන් වහන්සේට සහ සභාවට ය.
Alleluia

ශුද්ධ වූ ජොහන් 6: 63c, 68c

63ජීවනය දෙන්නේ ආත්මය වේ. මාංසයෙන් කිසි ප්‍රයෝජනයක් නැත. මා ඔබට වදාළ වචන ආත්මය ද ජීවනය ද වෙයි. 68සීමොන් පේදුරු පිළිතුරු දෙමින්, ”ස්වාමීනි, අප කවරෙකු වෙතට යන්න ද? සදාතන ජීවනයේ වචන ඇත්තේ ඔබ වහන්සේ වෙත ය.
Gospel

ශුද්ධ වූ ජොහන් 6: 60-69

60එය ඇසූ විට, උන් වහන්සේගේ ශ්‍රාවකයෝ බොහෝ දෙනෙක් ”මෙය දරාගන්නට බැරි කීමකි, එතුමාණන්ට සවන් දී සිටිය හැක්කේ කාට දැ”යි තමන් අතරේ කතා කරගත්හ. 61ශ්‍රාවකයන් මෙසේ මැසිවිලි කියන බව ජේසුස් වහන්සේ දිවැසින් දැන ඔවුන් අමතා, ”මෙය ඔබට අධෛර්යයට පත්වීමට හේතුවක් ද? 62එසේ නම්, මනුෂ්‍ය-පුත්‍රයාණන් පෙර සිටි තැනට නඟිනු බව ඔබ දුටුවොත් කෙසේ ද? 63ජීවනය දෙන්නේ ආත්මය වේ. මාංසයෙන් කිසි ප්‍රයෝජනයක් නැත. මා ඔබට වදාළ වචන ආත්මය ද ජීවනය ද වෙයි. 64එහෙත් නොඅදහන සමහරෙක් ඔබ අතරෙහි සිටිති”යි වදාළ සේක. එසේ වදාළේ, නොඅදහන්නො‍් කවුරු ද කියාත්, තමන් වහන්සේ පාවා දෙන්නට යන්නේ කවරෙක් ද කියාත්, ජේසුස් වහන්සේ මුල සිට ම දැනගෙන සිටි බැවිනි. 65එහෙයින් උන් වහන්සේ ඔවුන් අමතා, ”මාගේ පියාණන් වහන්සේගෙන් වරය ලැබූ කෙනෙකුට මිස, අන් කිසිවෙකුට මා වෙතට පැමිණිය නො හැකි බව මා කීවේ ඒ නිසා ය”යි වදාළ සේක. 66මේ නිසා එවක් පටන් උන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් බොහෝ දෙනෙක් පසුබට වී, තවත් උන් වහන්සේ අනුව නොගියහ. 67ජේසුස් වහන්සේ දොළොස් දෙනා අමතා, ”ඔබත් ඉවත් ව යන්නට සිතන්නහු දැ”යි ඇසූ සේක. 68සීමොන් පේදුරු පිළිතුරු දෙමින්, ”ස්වාමීනි, අප කවරෙකු වෙතට යන්න ද? සදාතන ජීවනයේ වචන ඇත්තේ ඔබ වහන්සේ වෙත ය. 69ඔබ දෙවියන් වහන්සේගේ ශුද්ධවරයාණන් වහන්සේ බව අපි අදහමු. එසේ ම ඒ බව දනිමු”යි කී ය.