අප්‍රේල් 2026

බ්‍ර සි සෙ
1234
567891011
12131415161718
19202122232425
2627282930
අද දිනට

කියවීම්

2026 අප්‍රේල් 4

Holy Saturday At the Easter Vigil in the Holy Night of Easter

දවසේ දේව මෙහෙය
Reading I

උත්පත්ති කථාව 1:1-2:2

1ආරම්භයේ දී දෙවියන් වහන්සේ අහසත් පොළොවත් මැවූ සේක. 2පොළොව හිස් ව පාළු ව තිබිණි. මහ සයුර මත අන්ධකාරයක් විය. a දේවාත්මානුභාවය ජලය මතු පිට හැසුරුණේ ය. 3එවිට දෙවියන් වහන්සේ, ”ආලෝකය වේ වා!”යි වදාළ සේක; ආලෝකය විය. 4ආලෝකය මනහර බව උන් වහන්සේ දුටු සේක. උන් වහන්සේ අන්ධකාරයෙන් ආලෝකය වෙන් කර 5ආලෝකයට ”දවාල” කියා ද, අන්ධකාරයට ”රාත්‍රිය” කියා ද නම් තැබූ සේක. සවස ගත විය, උදය උදා විය, ඒ පළමු වන දවස ය. 6ඉන්පසු දෙවියන් වහන්සේ, ”ජලය ස්ථාන දෙකක වෙන් වෙන් ව පවතින පිණිස එය වෙන් කරන අහස් කුස වේ වා!”යි වදාළ සේක. එසේ ම විය. 7මෙසේ උන් වහන්සේ අහස් කුස සාදා, ඊට යටින් තිබෙන ජලය, ඊට උඩින් තිබෙන ජලයෙන් වෙන් කර 8‍‍‍‍අහස් කුසට ”අහස” කියා නම් තැබූ සේක. සවස ගත විය, උදය උදා විය, ඒ දෙ වන දවස ය. 9ඉන්පසු දෙවියන් වහන්සේ, ”ගොඩබිම මතු වන පිණිස අහස යට තිබෙන ජලය එක තැනකට රැස් වේ වා!”යි වදාළ සේක. එසේ ම විය. 10ගොඩබිමට ”පොළොව” කියා ද, ජලයට ”සාගරය” කියා ද උන් වහන්සේ නම් තැබූ සේක. එය මනහර බව උන් වහන්සේ දුටු සේක. 11එවිට දෙවියන් වහන්සේ, ”බීජ උපදවන ඇට සහිත පල දරන, සියලු වර්ගවල ගස්කොළන් භූමියේ හටගැනේ වා!”යි වදාළ සේක. එසේ ම විය. 12මෙසේ භූමිය බීජ උපදවන, ඇට සහිත පල දරන, සියලු වර්ගවල ගස්කොළන් නිපදවිය. එය මනහර බව දෙවියන් වහන්සේ දුටු සේක. 13සවස ගත විය, උදය උදා විය, ඒ තුන් වන දවස ය. 14ඉන්පසු දෙවියන් වහන්සේ, ”දවාල රාත්‍රියෙන් වෙන් කිරීම සඳහාත්, දවස්, අවුරුදු හා මංගල්‍ය වකවානු දක්වනු සඳහාත් අහස් කුසෙහි ආකාශ වස්තු වේ වා!” කියා ද, 15පොළොවට එළිය දීමට ඒවා අහසෙහි බැබළේ වා!” කියා ද වදාළ සේක. එසේ ම විය. 16මෙසේ දෙවියන් වහන්සේ ප්‍රධාන ආලෝක දෙකක්, එනම් දවාල පාලනය කිරීම සඳහා ලොකු ආලෝකය ද, රාත්‍රිය පාලනය කිරීම සඳහා කුඩා ආලෝකය ද සෑදූ සේක; තාරකා ද සෑදූ සේක. 17දෙවියන් වහන්සේ මේ අලෝකයන් අහසේ තැබුවේ පොළොවට ආලෝකය දීම සඳහාත්, 18දවාල හා රාත්‍රිය පාලනය කිරීම සඳහාත්, අඳුරින් ආලෝකය වෙන් කිරීම සඳහාත් ය. එය මනහර බව දෙවියන් වහන්සේ දුටු සේක. 19සවස ගත විය, උදය උදා විය, ඒ සතර වන දවස ය. 20ඉන්පසු දෙවියන් වහන්සේ, ”ජලය, අසංඛ්‍ය ජීවමාන සතුන්ගෙන් පිරී ඉතිරේවා!” කියා ද, ”පක්ෂීහු පොළොවට උඩින් අහස් කුස හරහා පියඹා යත් වා!” කියා ද වදාළ සේක. එසේ ම විය. 21මෙසේ දෙවියන් වහන්සේ දැවැන්ත තල්මසුන් ද ඔබමොබ පීනන නන් වැදෑරුම් ජලජ සතුන් ද නන් වැදෑරුම් පක්ෂීන් ද මැවූ සේක. එය මනහර බව දෙවියන් වහන්සේ දුටු සේක. 22තවද, දෙවියන් වහන්සේ ඔවුන්ට ආසිරි පතමින්, ”බෝ වී වැඩි වර්ධනය වී මුහුදු ජලය පුරා පැතිරෙත් වා!” කියා ද, ”පක්ෂීහු පොළොවේ බෝවෙත් වා!” කියා ද පැවසූ සේක. 23සවස ගත විය, උදය උදා විය, ඒ පස් වන දවස ය. 24ඉන්පසු දෙවියන් වහන්සේ; ”විවිධ ගවමහිෂයන් ද උරගයන් ද වන මෘගයන් ද යන ජීවමාන සත්ත්වයෝ පොළොවෙන් නිපදෙත් වා!”යි වදාළ සේක. එසේ ම විය. 25මෙසේ උන් වහන්සේ විවිධාකාර වන මෘගයන් ද ගවමහිෂයන් ද උරගයන් ද පොළොවෙන් ඉපද වූ සේක. එය මනහර බව දෙවියන් වහන්සේ දුටු සේක. 26ඉන්පසු දෙවියන් වහන්සේ; ”අපගේ ස්වරූපය අනුව, අපගේ සමානත්වය ලෙස මනුෂ්‍යයා මවමු, ඔහු මුහුදේ මසුන් ද අහසේ පක්ෂීන් ද ගවමහිෂයන් ද මුළු පොළෝ තලයෙහි සියලු වන මෘගයන් ද උරගයන් ද පාලනය කෙරේවා!”යි අණ කළ සේක. 27දෙවියන් වහන්සේ තම ස්වරූපය අනුව මිනිසා මැවූ සේක; දෙවියන් වහන්සේගේ ම ස්වරූපය අනුව ඔවුන් මවා වදාළ සේක; පුරුෂයා ද ස්ත්‍රිය ද වශයෙන් ඔවුන් මැවූ සේක. 28දෙවියන් වහන්සේ ඔවුන්ට ආසිරි පතමින්, ”නුඹලා දරුසම්පත් ලබා, වැඩි වර්ධනය වී, පොළොව පුරා පැතිර එය යටත් කරගන්න. මුහුදේ මසුන් කෙරෙහි ද, අහසේ පක්ෂීන් කෙරෙහි ද, පොළොවේ සැරි සරන සියලු සතුන් කෙරෙහි ද බලය පවත්වන්නැ”යි ඔවුන්ට වදාළ සේක. 29තවද, උන් වහන්සේ, ”මුළු පොළෝ තලයෙහි ධාන්‍ය දරන සියලු පැලෑටි ද බීජ සහිත පල දරන සියලු ගස් ද නුඹලාගේ ආහාරය පිණිස වේ වා! 30එහෙත්, පොළොවේ සියලු වන සතුන්ට ද අහසේ පක්ෂීන්ට ද උරගයන්ට ද සියලු ජීවමාන සතුන්ට ද ආහාර පිණිස නිල් පලා දෙමි”යි වදාළ සේක. එසේ ම විය. 31දෙවියන් වහන්සේ තමන් මවා වදාළ සියලු දේ නරඹා, එය ඉතා මනහර බව දුටු සේක. සවස ගත විය, උදය උදා විය, ඒ සය වන දවස ය. 1මෙසේ අහසත්, පොළොවත් එහි ඇති සියලු දේත් මවා නිම කරන ලද්දේය. 2දෙවියන් වහන්සේ තමන් කළ කාර්යය සත් වන දවසෙහි නිමවා, එදින සියලු වැඩ නතර කළ සේක.
Reading I - Alternative

උත්පත්ති කථාව 1:1, 26-31

1ආරම්භයේ දී දෙවියන් වහන්සේ අහසත් පොළොවත් මැවූ සේක. 26ඉන්පසු දෙවියන් වහන්සේ; ”අපගේ ස්වරූපය අනුව, අපගේ සමානත්වය ලෙස මනුෂ්‍යයා මවමු, ඔහු මුහුදේ මසුන් ද අහසේ පක්ෂීන් ද ගවමහිෂයන් ද මුළු පොළෝ තලයෙහි සියලු වන මෘගයන් ද උරගයන් ද පාලනය කෙරේවා!”යි අණ කළ සේක. 27දෙවියන් වහන්සේ තම ස්වරූපය අනුව මිනිසා මැවූ සේක; දෙවියන් වහන්සේගේ ම ස්වරූපය අනුව ඔවුන් මවා වදාළ සේක; පුරුෂයා ද ස්ත්‍රිය ද වශයෙන් ඔවුන් මැවූ සේක. 28දෙවියන් වහන්සේ ඔවුන්ට ආසිරි පතමින්, ”නුඹලා දරුසම්පත් ලබා, වැඩි වර්ධනය වී, පොළොව පුරා පැතිර එය යටත් කරගන්න. මුහුදේ මසුන් කෙරෙහි ද, අහසේ පක්ෂීන් කෙරෙහි ද, පොළොවේ සැරි සරන සියලු සතුන් කෙරෙහි ද බලය පවත්වන්නැ”යි ඔවුන්ට වදාළ සේක. 29තවද, උන් වහන්සේ, ”මුළු පොළෝ තලයෙහි ධාන්‍ය දරන සියලු පැලෑටි ද බීජ සහිත පල දරන සියලු ගස් ද නුඹලාගේ ආහාරය පිණිස වේ වා! 30එහෙත්, පොළොවේ සියලු වන සතුන්ට ද අහසේ පක්ෂීන්ට ද උරගයන්ට ද සියලු ජීවමාන සතුන්ට ද ආහාර පිණිස නිල් පලා දෙමි”යි වදාළ සේක. එසේ ම විය. 31දෙවියන් වහන්සේ තමන් මවා වදාළ සියලු දේ නරඹා, එය ඉතා මනහර බව දුටු සේක. සවස ගත විය, උදය උදා විය, ඒ සය වන දවස ය.
Responsorial Psalm

ගීතාවලිය 104:1-2, 5-6, 10, 12, 13-14, 24, 35

1මාගේ සිත, සමිඳුන් පසසන්න. මාගේ දෙවි සමිඳුනි, ඔබ ඉතා උතුම් ය, ඔබ තෙද මහිමයෙන් සැරසී සිටින සේක. 2ඔබ ආලෝකය නමැති වස්ත්‍රය හැඳ පැළඳ සිටින සේක; වියනක් මෙන් අහස විහිදාලන සේක. 5පොළොව කිසි කලෙක නොසැලෙන ලෙස එය තිර පදනමක් මත පිහිටෙවූ සේක. 6උතුරු සළුවකින් මෙන් මහා සයුරෙන් ඔබ එය වැසූ සේක; ජලයෙන් කඳු හෙල් වැසී ගියේ ය. 10සමිඳාණෝ මිටියාවත්වල උල්පත් හටගන්වන සේක. ඒවා කඳු අතරේ ගලා යයි. 12ඒවා අසල, අහසේ පක්ෂීහු කැදලි සාදති; අතු අතරේ ගී නද දෙති. 13එතුමාණෝ අහස් තලයෙන් කඳුකරයට වැසි වස්වන සේක. එතුමන්ගේ ආසිරිවලින් පොළොව සාරවත් වන්නේ ය, 14එතුමාණෝ, සිවුපාවුන්ට තණ කොළත්, මිනිසුන්ගේ ප්‍රයෝජනයට ගස් කොළත් පොළොවේ වැඩෙන්නට සලසන සේක. මිනිසාට ආහාර නිපදවන සේක. 24සමිඳුනි, ඔබේ කර්මාන්ත කොපමණ විවිධාකාර ද? ඔබ සියල්ල ප්‍රඥාවෙන් මැවූ සේක. පොළොව ඔබ මැවූ සතුන්ගෙන් පිරී ඇත; 35පව්කාරයෝ පොළො‍් තලයෙන් විනාශ වී යත් වා! දුෂ්ටයෝ තවත් ජීවත් නොවෙත් වා! මාගේ සිත සමිඳුන්ට ප්‍රශංසා කරා වා! සමිඳුන්ට ප්‍රශංසා වේ වා!
Responsorial Psalm - Alternative

ගීතාවලිය 33:4-5, 6-7, 12-13, 20 and 22

4සමිඳුන්ගේ වචනය අවංක ය; එතුමන්ගේ ක්‍රියා සියල්ලක් ම විශ්වාසශීලී ය. 5දැහැමි බව හා යුක්තිය එතුමන්ට ප්‍රිය ය. මහ පොළොව හිමි තුමන්ගේ කරුණාවෙන් පිරී ඇත. 6හිමි තුමන්ගේ වචනයෙන් ආකාශය ද එතුමන්ගේ හුස්මෙන් සියලු ආකාශ වස්තූහු ද මවනු ලැබූ හ. 7එතුමාණෝ මුහුදු දිය දහර එක් ගොඩකට රැස් කරන සේක; ගැඹුරු දිය ගබඩාවල නිදන් කරන සේක. 12සමිඳුන් තමන් දෙවියන් කොට සලකන ජාතිය ද දෙවිඳුන් සතු උරුමය ලෙස තේරුණු සෙනඟ ද ආසිරි ලද්දෝ ය. 13හිමි තුමාණෝ සගලොව සිට නරඹන සේක; මුළු මිනිස් සංහතිය දක්නා සේක. 20අපි හිමි තුමන් කෙරේ විශ්වාසයෙන් බලා සිටියෙමු. අපේ පිහිටත්, පලිහත් එතුමාණෝ ය. 22සමිඳුනි, ඔබ කෙරේ අපේ බලාපොරොත්තු පිහිටෙවු ලෙස ම ඔබේ කරුණාව අප කෙරෙහි වේ වා!
Reading II

උත්පත්ති කථාව 22:1-18

1ඉනික්බිති දෙවියන් වහන්සේ ආබ්‍රහම් පරීක්ෂා කරමින්, ”ආබ්‍රහම්” කියා ඔහුට හඬගැසූ සේක. ඔහු ද, ”ස්වාමීනි මම මෙහි ය” කියා උත්තර දුනි. 2එවිට උන් වහන්සේ ”නුඹ දැන්, නුඹේ පුත්‍රයා-නුඹ ප්‍රේම කරන නුඹේ එක ම පුත්‍රයා වන ඊසාක් ගෙන මොරියා දේශයට යන්න, එහි ගොස්, මා නුඹට පෙන්වන කන්ද මත දවන යාග පූජාවක් මෙන් ඔහු මට ඔප්පු කරන්නැ”යි වදාළ සේක. 3ආබ්‍රහම් උදෑසනින් නැඟිට, තම කොටළුවාට සෑදලය යොදා, සේවකයන් දෙදෙනෙකු ද සිය පුත් ඊසාක් ද රැගෙන, දවන යාග පූජාව සඳහා දර ද පළාගෙන දෙවියන් වහන්සේ වදාළ ස්ථානයට පිටත් ව ගියේය. 4තුන් වන දින, ආබ්‍රහම් හිස ඔසවා බැලූ විට, දුරින් පිහිටි එම ස්ථානය දිටී ය. 5එවිට ඔහු සිය සේවකයන්ට කතා කොට, ”කොටළුවා සමඟ මෙහි නවතින්න, දරුවා ද මම ද අතනට ගොස්, වැඳ පුදා ආපසු එන්නෙමු”යයි කීවේ ය. 6මෙසේ කියා ආබ්‍රහම් දවන යාග පූජාවට සූදානම් කළ දර සිය පුත් ඊසාක් මත තබා, තම අතට ගින්දර ද පිහිය ද ගෙන, දෙදෙනා ම එක් ව යන්න පිටත් වූ හ. 7මෙසේ යද්දී, ඊසාක් තම පිය ආබ්‍රහම්ට, ”තාත්තේ” කියා ඇමතූ විට, ”පුතා, මම මෙහි ය”යි ඔහු පිළිතුරු දුනි. එවිට ඊසාක්, ”තාත්තේ, මෙහි දරත් ඇත; ගින්දරත් ඇත; නමුත් පූජාවට බැටළු පැටවා කොහේ ද” කියා ඇසී ය. 8එවිට ආබ්‍රහම්, ”පුතා, දෙවියන් වහන්සේ ම පූජාව සඳහා බැටළු පැටවා දෙන සේකැ”යි පිළිතුරු දුනි. මෙලෙස දෙදෙනා ම ගමන් කළහ. 9මෙසේ ගමන් කොට දෙවියන් වහන්සේ වදාළ ස්ථානයට ඔවුන් පැමිණි විට, ආබ්‍රහම් එහි පූජාසනයක් ඉදි කර, පිළිවෙළට දර කෑලි තබා, තම පුත් ඊසාක් බැඳ, පූජාසනය පිට තැනූ දර සෑය මත තැබී ය. 10මෙසේ තබා ඔහු අත දිගු කොට, සිය පුතු මරනු පිණිස පිහිය ගත්තේ ය. 11එවිට සමිඳාණන් වහන්සේගේ දූතයා ස්වර්ගයේ සිට, ”ආබ්‍රහම්, ආබ්‍රහම්” කියා හඬගැසී ය. ”මම මෙහි සිටිමි”යි ඔහු කී ය. 12එවිට දූතයා, ”ළමයාට අත නොගසන්න, ඔහුට කිසි අනතුරක් නොකරන්න, ඔබේ පුත්‍රයා, ඔබේ එක ම පුත්‍රයා පූජා කිරීමට තරම්, ඔබ දේව ගරුබිය ඇත්තෙකු බව මට දැන් පෙනේ ය”යි පැවසී ය. 13එවිට ආබ්‍රහම් හිස ඔසවා බැලූ විට ඔහුට පිටුපසින් අංවලින් පඳුරක පැටලී සිටි බැටළුවෙකු දිටී ය. ආබ්‍රහම් ඌ වෙත ගොස් බැටළුවා ගෙන, සිය පුත්‍රයා වෙනුවට දවන යාග පූජාවක් මෙන් ඌ පූජා කෙළේ ය. 14තවද, ආබ්‍රහම් ඒ ස්ථානයට ”ජෙහොවා-ජීරේ” යන නාමය තැබී ය. මීට අද දක්වා ”සමිඳාණන් වහන්සේගේ කන්දේදී සපයන ලදී” යන කීම ව්‍යවහාර වේ. 15සමිඳාණන් වහන්සේගේ දූතයා දෙ වන වරටත් ස්වර්ගයේ සිට ආබ්‍රහම්ට කතා කොට, 16සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි මම දිවුරා කියමි. ඔබේ පුත්‍රයා, ඔබේ එක ම පුත්‍රයා පවා මට බිලි පූජා කිරීමට කැමැති වී මෙලෙස ක්‍රියා කළ බැවින් 17මම බොහෝ සෙයින් ඔබට ආශීර්වාද කරමි. ඔබේ දරු පෙළපත අහසේ තාරකා මෙන් ද වෙරළේ වැලි මෙන් ද බහුල වන සේ වර්ධනය කරමි. ඔබේ පෙළපත සතුරන් පරදා රට හිමි කරගන්නෝ ය. 18ඔබ මාගේ හඬට කීකරු වූ බැවින්, මිහි පිට සියලු ජාතීහු ඔබ මඟින් ආසිරි ලබන්නෝ ය”යි කී ය.
Reading II - Alternative

උත්පත්ති කථාව 22:1-2, 9, 10-13, 15-18

1ඉනික්බිති දෙවියන් වහන්සේ ආබ්‍රහම් පරීක්ෂා කරමින්, ”ආබ්‍රහම්” කියා ඔහුට හඬගැසූ සේක. ඔහු ද, ”ස්වාමීනි මම මෙහි ය” කියා උත්තර දුනි. 2එවිට උන් වහන්සේ ”නුඹ දැන්, නුඹේ පුත්‍රයා-නුඹ ප්‍රේම කරන නුඹේ එක ම පුත්‍රයා වන ඊසාක් ගෙන මොරියා දේශයට යන්න, එහි ගොස්, මා නුඹට පෙන්වන කන්ද මත දවන යාග පූජාවක් මෙන් ඔහු මට ඔප්පු කරන්නැ”යි වදාළ සේක. 9මෙසේ ගමන් කොට දෙවියන් වහන්සේ වදාළ ස්ථානයට ඔවුන් පැමිණි විට, ආබ්‍රහම් එහි පූජාසනයක් ඉදි කර, පිළිවෙළට දර කෑලි තබා, තම පුත් ඊසාක් බැඳ, පූජාසනය පිට තැනූ දර සෑය මත තැබී ය. 10මෙසේ තබා ඔහු අත දිගු කොට, සිය පුතු මරනු පිණිස පිහිය ගත්තේ ය. 11එවිට සමිඳාණන් වහන්සේගේ දූතයා ස්වර්ගයේ සිට, ”ආබ්‍රහම්, ආබ්‍රහම්” කියා හඬගැසී ය. ”මම මෙහි සිටිමි”යි ඔහු කී ය. 12එවිට දූතයා, ”ළමයාට අත නොගසන්න, ඔහුට කිසි අනතුරක් නොකරන්න, ඔබේ පුත්‍රයා, ඔබේ එක ම පුත්‍රයා පූජා කිරීමට තරම්, ඔබ දේව ගරුබිය ඇත්තෙකු බව මට දැන් පෙනේ ය”යි පැවසී ය. 13එවිට ආබ්‍රහම් හිස ඔසවා බැලූ විට ඔහුට පිටුපසින් අංවලින් පඳුරක පැටලී සිටි බැටළුවෙකු දිටී ය. ආබ්‍රහම් ඌ වෙත ගොස් බැටළුවා ගෙන, සිය පුත්‍රයා වෙනුවට දවන යාග පූජාවක් මෙන් ඌ පූජා කෙළේ ය. 15සමිඳාණන් වහන්සේගේ දූතයා දෙ වන වරටත් ස්වර්ගයේ සිට ආබ්‍රහම්ට කතා කොට, 16සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි මම දිවුරා කියමි. ඔබේ පුත්‍රයා, ඔබේ එක ම පුත්‍රයා පවා මට බිලි පූජා කිරීමට කැමැති වී මෙලෙස ක්‍රියා කළ බැවින් 17මම බොහෝ සෙයින් ඔබට ආශීර්වාද කරමි. ඔබේ දරු පෙළපත අහසේ තාරකා මෙන් ද වෙරළේ වැලි මෙන් ද බහුල වන සේ වර්ධනය කරමි. ඔබේ පෙළපත සතුරන් පරදා රට හිමි කරගන්නෝ ය. 18ඔබ මාගේ හඬට කීකරු වූ බැවින්, මිහි පිට සියලු ජාතීහු ඔබ මඟින් ආසිරි ලබන්නෝ ය”යි කී ය.
Responsorial Psalm

ගීතාවලිය 16:5, 8, 9-10, 11

5සමිඳුනි, මාගේ උරුමය හා ඉරණම ඔබ වහන්සේ ය. ඔබ, ඔබ පමණක් ම මා උරුම කොටස රක්නා සේක. 8හිමි තුමන් නිරතුරු මා අබියස තබාගන්නෙමි. මා දකුණු පස එතුමාණන් වැඩ වසන බැවින් මම නොසැලෙන්නෙමි. 9එබැවින් මසිත උදන් අනයි; මහද ප්‍රීතියෙන් පිනා යන්නේ ය; මා ගත සුරැකි ව ඇත්තේ ය. 10මන්ද, ඔබ මා පාතාලයෙහි නොරඳවන සේක; ඔබේ දැහැමි තැනැත්තාට ජරාපත් වීමට ඉඩ නොදෙන සේක. 11ඔබ මට ජීවන මඟ හෙළි කරන සේක. ඔබ අබිමුවෙහි පිරිපුන් සතුට මට වන්නේ ය. ඔබ දකුණු පස සැප සම්පත් සදහට ම ඇත්තේ ය.
Reading III

නික්මයාම 14:15-15:1

15සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට මෙසේ වදාළ සේක: ”නුඹ මට මොරගසන්නේ මන් ද? ඉශ්රායෙල් ජනයාට ‘ඉදිරියට යන්නැ’යි කියන්න. 16තවද, ඔවුන්ට මුහුද මැදින් වියළි බිම දිගේ යන්න හැකි වන පරිදි ඔබ ද ඔබේ සැරයටිය ඔසවා, අත මුහුද දෙසට දිගු කොට මුහුද දෙබෑ කරවන්න. 17බලන්න, මම ද මිසර වාසීන්ගේ සිත් දැඩි කරමි. ඔව්හු ද ඉශ්රායෙල් ජනයා පසුපස යන්නෝ ය. එවිට පාරාවෝ ද ඔහුගේ මුළු හමුදාව ද ඔහුගේ යුද්ධ රථ ද ඔහුගේ අසරුවන් ද පරාජය කොට මම කීර්තිය ලබන්නෙමි. 18මෙසේ මා පාරාවෝ ද ඔහුගේ යුද්ධ රථ ද අසරුවන් ද ජයගෙන කීර්තිය ලැබූ පසු මා සමිඳාණන් වහන්සේ බව මිසර වාසීහු දැනගන්නෝ ය.” 19ඉන්පසු ඉශ්රායෙල් හමුදාවට පෙරටුවෙන් ගිය දේව දූතයා ද තමා සිටි තැන වෙනස් කොට ඔවුන් පසුපස ගියේ ය. ඔවුන් ඉදිරියේ තිබූ වලා ටැඹ ඔවුන් පිටුපසට වී, 20මිසර වාසීන්ගේ හමුදාව හා ඉශ්රායෙල්වරුන්ගේ හමුදාව අතරට පැමිණියේ ය. වලාකුළක් හා අඳුරක් ඇති විය, රාත්‍රිය a ගෙවිණි, එහෙත් මුළු රාත්‍රියේ ම හමුදා දෙක එකිනෙකට ළඟා නො වූ හ. 21මෝසෙස් තම අත මුහුද දෙසට දිගු කෙළේ ය. එවිට සමිඳාණන් වහන්සේ ඒ මුළු රාත්‍රියේ ම පෙරදිගින් හැමූ සැඬ සුළඟක් මඟින් මුහුදු ජලය පසුබැස යාමට සලසා, මුහුද වියළි බිමකට හැරෙවු සේක. මුහුදු ජලය ද දෙබෑ විය. 22ඉශ්රායෙල් ජනතාව වියළි බිම දිගේ මුහුද මැදට ගියහ. ජලය දකුණු පසින් හා වම් පසින් තාප්පයක් මෙන් විය. 23මිසර වැසියෝ ලුහුබැඳ ගියහ; පාරාවෝගේ සියලු අසුන් ද රථ ද අසරුවන් ද ඔවුන් පසුපස මුහුද මැදට ගියහ. 24එවිට උදය යාමයෙහි, සමිඳාණන් වහන්සේ ගිනි හා වලා ටැඹින් මිසර වාසීන්ගේ හමුදා දෙස බලා ඒ හමුදාවන් සන්ත්‍රාසයට පත් කරවූ සේක. 25උන් වහන්සේ ද ඔවුන්ගේ රථ රෝද ක්‍රියා විරහිත කළ සේක. ඒවා ඉදිරියට ගියේ ඉතා අමාරුවෙනි. එවිට මිසර වාසීහු, ‘අපි ඉශ්රායෙල්වරුන් වෙතින් පලා යමු, මන්ද, සමිඳාණන් වහන්සේ අපට විරුද්ධ ව ඔවුන් උදෙසා සටන් කරන සේකැ”යි කී හ. 26උන් වහන්සේ මෝසෙස් අමතමින්, ”මිසර වාසීන් පිට ද ඔවුන්ගේ රථ හා අසරුවන් පිට ද ජලය ආපසු ගලන ලෙස මුහුද දෙසට නුඹේ අත දිගු කරන්නැ”යි වදාළ සේක. 27ඔහු මුහුද දෙසට තම අත දිගු කෙළෙන් පහන් වූ විට ජලය ආපසු පෙර තිබුණ මට්ටමට ම ගැලී ය. මිසර වැසියෝ පලා යන්නට උත්සාහ කරන්නෝ මූද මැදට ම දිවූ හ. සමිඳාණන් වහන්සේ ඔවුන් මුහුද මැද හෙළාදැමූ සේක. 28ඉශ්රායෙල්වරුන් ලුහුබැඳ මුහුදට පැමිණි යුද්ධ රථ ද අසරුවෝ ද පාරාවෝගේ මුළු හමුදාව ද ආපසු ගලා ආ ජලයට යට වූ හ. ඔවුන්ගෙන් එක් කෙනෙක් වත් ඉතිරි නො වී ය. 29එහෙත්, ඉශ්රායෙල් ජනයා මුහුද මැද වියළි බිමින් ගමන් කළහ. ඔවුන්ගේ දකුණු පසින් හා වම් පසින් ජලය තාප්පයක් මෙන් විය. 30මෙසේ එදින සමිඳාණන් වහන්සේ මිසර වාසීන් අතින් ඉශ්රායෙල්වරුන් ගළවාගත් සේක. ඉශ්රායෙල්වරු ද මිසර වාසීන් මුහුදු වෙරළේ මැරී සිටිනු දුටහ. 31ඔව්හු සමිඳාණන් වහන්සේ මිසර වාසීන්ට කළ ප්‍රබල ක්‍රියාව දුටහ. සෙනඟ සමිඳාණන් වහන්සේට ගරුබිය පා, උන් වහන්සේ ද උන් වහන්සේගේ සේවකයා වන මෝසෙස් ද කෙරෙහි විශ්වාසය තැබූ හ. 1එවිට මෝසෙස් සහ ඉශ්රායෙල් ජනයා සමිඳාණන් වහන්සේට මේ ගීතය ගැයූ හ. සමිඳුන් හට මම ගී ගයමි, එතුමාණෝ තෙද මහිමෙන් ජයගෙන අසුන් හා අසරුවන් මූද මැද හෙළූ සේක. ‍
Responsorial Psalm

නික්මයාම 15:1-2, 3-4, 5-6, 17-18

1එවිට මෝසෙස් සහ ඉශ්රායෙල් ජනයා සමිඳාණන් වහන්සේට මේ ගීතය ගැයූ හ. සමිඳුන් හට මම ගී ගයමි, එතුමාණෝ තෙද මහිමෙන් ජයගෙන අසුන් හා අසරුවන් මූද මැද හෙළූ සේක. ‍ 2සමිඳාණෝ, මා සවිය හා ගීතය වෙති; එතුමාණෝ මා විමුක්තිය වෙති; මාගේ දෙවිඳාණෝ ය. මා දෙවිතුමන් මම පසසමි. මා පියාගේ දෙවිඳුන් මහිමයට පමුණුවමි. 3සමිඳාණෝ, රණ ශූර ය, එතුමන්ගේ නම හිමිසඳ වේ. 4එතුමාණෝ, පාරාවෝගේ රිය සෙන් හා බළ ඇණි මූද මැද හෙළූ සේක. උසස් ම සෙන්පතීහු ද රතු මූදට බිලි වූ හ. 5ගැඹුරු සමුදුර ඔවුන් වසාගති; ගලක් විලස මූදු පත්ලට ඔව්හු කිඳා ගියහ. 6සමිඳුනි, ඔබ දකුණත බල මහිමෙන් උදාර ය. සමිඳුනි, ඔබ දකුණත හතුරන් කැබලි කරලී ය. 17සමිඳුනි, ඔබට උරුමය වන කඳු මුදුනට, සමිඳුනි, ඔබේ වාසභවනය වන තැනට, ඔබ අතින් ඉදි කළ ශුද්ධස්ථානයට, ඔබ ඔවුන් ගෙන ගොස්, පිහිටුවන සේක. 18සමිඳාණෝ, සදහට ම රජකම් කරන සේක.
Reading IV

යෙසායා 54:5-14

5නුඹේ මැවුම්කාරයාණෝ නුඹේ ස්වාමි පුරුෂයා මෙන් වන සේක. එතුමන්ගේ නාමය සව් බලැති සමිඳාණෝ ය. ඉශ්රායෙල්වරුන්ගේ ශුද්ධ තැනැන් වහන්සේ නුඹේ මිදුම්කාරයාණෝ ය. ‘මුළු පොළොවේ දෙවිඳාණෝ ය’යි එතුමන්ට කියනු ලබන්නේ ය. 6ඉශ්රායෙල්, නුඹ සිය පුරුෂයා විසින් අත්හරිනු ලැබූ අතිශයෙන් ශෝකයට පත් වී සිටින තරුණ භාර්යාවක වැන්න. එහෙත්, සමිඳාණන් එතුමන් වෙත නුඹ කැඳවා ඇත.” නුඹේ දෙවිඳාණෝ නුඹට මෙසේ වදාරන සේක: 7මම ස්වල්ප කලකට නුඹ අත්හළෙමි. එහෙත් මහා දයානුකම්පාවෙන් නැවත නුඹ කැඳවාගන්නෙමි. 8ඉමහත් උදහසින් මොහොතකට මාගේ මුහුණ නුඹ කෙරෙන් සඟවාගතිමි. එහෙත්, නොමියෙන සුලු ප්‍රේමයකින් මම නුඹට අනුකම්පා කරන්නෙමි.” නුඹේ මිදුම්කාරයාණන් වන සමිඳාණෝ මෙසේ වදාරන සේක: 9නෝවාගේ කාලයේ ඇති වූ ජලගැල්ම මට සිහි වේ. ඒ කාලයේ ඇති වූවාක් මෙන් නුඹ කෙරෙහි උදහස් නොවන බවටත්, නුඹට තරවටු නොකරන බවටත් මම දිවුරුම් දෙන්නෙමි. 10කඳු පහ ව ගියත්, හෙල් සෙලවුණත්, නුඹට ඇති මාගේ තිර පෙම පහ වෙන්නේ වත්, මාගේ ගිවිසුම සෙලවෙන්නේ වත් නැත. මෙසේ වදාරන්නේ නුඹට අනුකම්පා කරන සමිඳාණන් වන මම ය.” 11සමිඳාණෝ මෙසේ වදාරන සේක: ”අහෝ අසරණ කුණාටුවකින් මෙන් කැළඹී සිටින සැනසිල්ලක් නැති තැනැත්තියක වැනි ජෙරුසලම! මම නුඹේ ගඩොල් මරකතවලින් සාදා, නුඹේ අත්තිවාරම් නිල් මාණික්‍යවලින් ඉදි කරන්නෙමි. 12නුඹේ කොත් රතුකැටවලින් ද නුඹේ දොරටු පද්මරාගවලින් ද නුඹ වටේ ඇති තාප්පය මැණික්වලින් ද මම තනන්නෙමි. 13නුඹේ දරුවන්ට ස්වාමීන් වන මම උගන්වන්නෙමි. ඔවුන්ගේ සෞභාග්‍යය අධික වන්නේ ය. 14නුඹ ධර්මිෂ්ඨකමෙහි පිහිටුවනු ලබන්නෙහි ය. නුඹ පීඩාවෙන් දුරු ව බිය නැති ව සිටින්නෙහි ය. භීතියක් නුඹට ළං වන්නේ නැත.
Responsorial Psalm

ගීතාවලිය 30:2, 4, 5-6, 11-12, 13

2මාගේ දෙවි සමිඳුනි, ඔබට යාදිනි කීවෙමි, ඔබ මට සුව සෙත දුන් සේක. 4පින්වතුනි, සමිඳුන්ට ගී පසස් නඟන්න; ඒ නිර්මල නාමයට තුති ගී ගයන්න. 5මන්ද, එතුමන්ගේ උදහස ඇසිල්ලකට පමණ ය. එතුමන්ගේ කරුණාව දිවි ඇති තාක් ය. රැයේ හැඬීම පවතියි; උදය ප්‍රීතිය උදා වෙයි. 6සැප සම්පතේ දී කිසිදාක මම නොසෙල්වෙන්නෙමි”යි කියා ගතිමි. 11ඔබ මාගේ දොම්නස සොම්නසට හැරෙවු සේක. ඔබ මාගේ ගෝණි රෙදි මුදා තුටු පිළියෙන් මා සැරසූ සේක. 12දැන් ඉතින් මම නිහඬ ව නොසිටිමි. ඔබට ගී පසස් ගයන්නෙමි. මාගේ දෙවි සමිඳුනි, සදහට ම ඔබ හට ගී ගයන්නෙමි.
Reading V

යෙසායා 55:1-11

1පිපාසා ඇති සියල්ලෙනි, ඇල දොළ වෙත පැමිණෙන්න; මුදල් නැති තැනැත්තෙනි, එන්න, අරගන්න, වළඳන්න. එන්න, මිදියුස හා කිරි ගන්න, නොමිලේ ම ලබාගන්න. 2කෑමක් නොවන දේට මුදල් ගෙවන්නේ කුමට ද? තෘප්තිය නොදෙන දේට වෙහෙස වන්නේ මන් ද? මා හට සවන් දී, මා කී දේ කර, හොඳ ම ආහාර වළඳා පෝෂණය වී ප්‍රීති වන්න.” 3මට සවන් දී, මා වෙත එන්න; අවුත් ජීවනය ලබාගන්න; දාවිත්ට මා ප්‍රේම කළාක් මෙන් ම නුඹටත් ප්‍රේම කරන ලෙසට සදහට ම පවතින ගිවිසුමක් නුඹ සමඟ කරන්නෙමි. 4දාවිත්, ජාතීන්ගේ ප්‍රධානියෙකු ද ආඥාපතියෙකු ද කෙළෙමි. මාගේ සෙනඟට ඔහු මාගේ සාක්ෂිකාරයෙකු කරමි. 5නුඹේ සමිඳුන් හා දෙවිඳුන් වන, ඉශ්රායෙල්වරුන්ගේ සුවිශුද්ධ තැනැන් වහන්සේ වන මා නුඹ ගෞරවයට පත් කළ බැවින්, නුඹ නොහැඳින සිටි ජාතීන් කැඳවා, නුඹ අණ කළ පමණින් නුඹ වෙත විගසින් ඇදී එනු ඇත.” 6හමු විය හැකි බැවින් සමිඳුන් සොයා යන්න; ළඟ ම සිටිය දී එතුමන් අයැදින්න. 7දුෂ්ටයා සිය මාර්ගයෙන් හැරී, අදමිටු මිනිසා තම සිතුවිලි දුරලා, සමිඳුන් වෙත ඇදී ඒවා! එතුමන් ඔහුට අනුකම්පා කරනු ඇත. දෙවිඳුන් වෙත ඔහු හැරී ඒවා; එතුමන් ඔහුට බොහෝ සේ කමා කරනු ඇත. 8සමිඳාණන් වන මම මෙසේ පවසමි. ”මාගේ සිතුවිලි නුඹේ සිතුවිලි මෙන් නොවේ; මාගේ මාර්ග නුඹේ මාර්ග මෙන් නොවේ. 9අහස පොළොවට වඩා බොහෝ ඉහළින් ඇති සේ නුඹේ මාර්ගවලට වඩා මාගේ මාර්ග උසස් ය. නුඹේ සිතුවිලිවලට වඩා මාගේ සිතුවිලි බොහෝ සේ උසස් ය.” 10අහසින් වැටෙන හිම හා වසින වැස්ස නැවත හැරී නොගොස් පොළොව සරුසාර කර, පැළ නංවා, කරල් හටගන්වා වපුරන්නාට ධාන්‍ය ද මිනිසාට ආහාර ද ගෙන දෙයි. 11එලෙස මා මුවින් නික්මෙන වචන මා වෙත ම හිස් ව නොපැමිණ මාගේ අදහස් සඵල කර නියමයන් සිකුරට ම ඉටු කරයි.”
Responsorial Psalm

යෙසායා 12:2-3, 4, 5-6

2බලන්න, දෙවිඳාණෝ මාගේ ගැළවීම ය. මම එතුමාණන් කෙරෙහි විශ්වාසය තබමි; එතුමන් කෙරෙහි මට බියක් නැත. මන්ද, සමිඳාණෝ මාගේ ශක්තියත්, ගීතිකාවත් ය. එතුමාණෝ මාගේ ගැළවීම ය.” 3ඔබ ගැළවීමේ ළිංවලින් ප්‍රීතියෙන් දිය ඇදගන්නහු ය. 4ඒ දවසේ දී සෙනඟ මෙසේ පැසසුම් ගී යන්නෝ ය: ”සමිඳුන්ට තුති පුදන්න; එතුමන්ගේ නම පවසා අයැදින්න. එතුමන්ගේ ක්‍රියා ජාතීන් අතර පවසන්න. එතුමන්ගේ නාමයේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රකාශ කරන්න. 5සමිඳුන් කළ අරුමපුදුම දේ නිසා පසස් ගී ගයන්න; මුළු ලොවට ම ඒ ගැන දන්වන්න. 6සියොන් වැසි සියල්ලෙනි, මොරගසා ගී ගයන්න; ඉශ්රායෙල් ශුද්ධ දෙවිඳාණන් උතුම් වන බැවින් ද සිය සෙනඟ අතරේ වැඩ සිටින බැවින් ද සතුටින් හඬ නඟා ගී ගයන්න.”
Reading VI

බාරුක් 3:9-15, 32-4:4

පාඨ අන්තර්ගතය ලබා ගත නොහැක.

Responsorial Psalm

ගීතාවලිය 19:8, 9, 10, 11

8සමිඳුන්ගේ අණපණත් සාධාරණ ය; සිතට සතොස වඩන්නේ ය. සමිඳුන්ගේ අණසක පැහැදිලි ය; දෙනෙතට එළිය දෙන්නේ ය, 9සමිඳුන් කෙරෙහි ගරුබිය නිර්මල ය; එය සදහට ම පවතින්නේ ය. සමිඳුන්ගේ විනිශ්චය යුක්තිසහගත ය; මුළුමනින් දැහැමි වේ ම ය. 10රනට වඩා, පෙරූ රනට වඩා, එය මනහර ය; පැණියට වඩා, මී පැණියට වඩා, එය සුමිහිරි ය. 11එය ඔබ සේවකයා හට අනතුරු ඇඟවීමක් වන්නේ ය; එය පිළිපැදීමෙන් විපුල විපාක අත්වන්නේ ය.
Reading VII

එසකියෙල් 36:16-17, 18-28

16තවද, සමිඳාණන් වහන්සේ මට කතා කොට මෙසේ වදාරන සේක: 17මනුෂ්‍ය පුත්‍රය, ඉශ්රායෙල් වංශය තමන්ගේ රටෙහි වාසය කරද්දී ඔව්හු තමන්ගේ කල්ක්‍රියාවෙන් ද තමන්ගේ හැසිරීමෙන් ද ඒ රට අපවිත්‍ර කළෝ ය. ඔවුන්ගේ කල්ක්‍රියාව කිලි වූ ස්ත්‍රියකගේ අපවිත්‍රකම මෙන් මා ඉදිරියෙහි විය. 18ඔවුන් දේශයෙහි මිනී මැරූ නිසාත්, ඔවුන් තමන්ගේ රූපවලින් එය අපවිත්‍ර කළ නිසාත් මාගේ කෝපය ඔවුන් කෙරෙහි වගුරුවා, 19විජාතීන් අතරට මම ඔවුන් පන්නාදැමීමි. ඇරත් ඔව්හු දේශවල විසුරුවනු ලැබූ හ. ඔවුන්ගේ කල්ක්‍රියාවේ හැටියට ද ඔවුන්ගේ හැසිරීමේ ප්‍රකාරයට ද ඔවුන් විනිශ්චය කෙළෙමි. 20ඔවුන් පැමිණි කොතැන වුවත්, ජාතීන් ළඟට ඔවුන් ගිය කල, ‘මොවුහු සමිඳාණන්ගේ සෙනඟ ය, උන් වහන්සේගේ දේශයෙන් ඔවුන්ට පිට වීමට සිදු වී ය’යි මිනිසුන් ඔවුන් ගැන කී නිසා ඔව්හු මාගේ ශුද්ධ නාමය කෙලෙසූ හ. 21එහෙත්, ඉශ්රායෙල් සෙනඟ ගිය තැන්වල ජාතීන් අතරෙහි මාගේ ශුද්ධ නාමය කෙලෙසූ නිසා, මාගේ නාමය ගැන මම සැලකිලිමත් වීමි. 22එබැවින් මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ මෙසේ වදාරන සේකැ යි ඉශ්රායෙල් සෙනඟට කියන්න: එම්බා ඉශ්රායෙල් ජනයෙනි! නුඹලා උදෙසා නොව, නුඹලා ගිය ගිය සෑම තැන්වල ජාතීන් අතරෙහි නුඹලා මාගේ ශුද්ධ නාමය කෙලෙසූ නිසා ඒ නාමය උදෙසා මම ක්‍රියා කරමි. 23ජාතීන් අතරෙහි කෙලෙසී ඇති නුඹලා විසින් ඔවුන් අතරෙහි කෙලෙසනු ලැබූ මාගේ උදාර නාමය විශුද්ධ කරන්නෙමි. මා විශුද්ධ බව නුඹලා කරණකොටගෙන විජාතීන්ගේ ඇස් හමුයෙහි ප්‍රකාශ වන කල මා සමිඳාණන් වහන්සේ බව ඔවුන් දැනගනු ඇතැ යි මහෝත්තම දෙවි ස්වාමීන් වහන්සේ වදාරන සේක. 24එසේ ය, විජාතීන් අතරෙන් නුඹලා රැගෙන, සියලු දේශවලින් නුඹලා රැස් කර නුඹලාගේ ම රටට ගෙනෙන්නෙමි. 25නුඹලා පිරිසිදු වන ලෙස මම නුඹලා කෙරෙහි පිරිසිදු දිය ඉසින්නෙමි. නුඹලාගේ සියලු අපවිත්‍රකම්වලින් ද නුඹලාගේ සියලු දේවරූපවලින් ද නුඹලා පිරිසිදු කරන්නෙමි.” 26මම අලුත් හදක් නුඹලාට දී, අලුත් සිතක් නුඹලා තුළ මවා, නුඹලාගේ මුරණ්ඩු ගල් සිත පහකොට කීකරු සිතක් නුඹලාට දෙන්නෙමි. 27මාගේ ආත්මානුභාවය නුඹලා තුළ නිදන් කොට, නුඹලා මාගේ පණත් අනුව හැසිර මාගේ නියමයන් හරියාකාර ඉටු කරන්න සලස්වන්නෙමි. 28මා විසින් නුඹලාගේ පියවරුන්ට දෙන ලද දේශයෙහි නුඹලා වාසය කොට මාගේ ම සෙනඟ ව සිටිනු ඇත. මම ද නුඹලාගේ දෙවියන් වහන්සේ වන්නෙමි.
Responsorial Psalm

ගීතාවලිය 42:3, 5; 43:3, 4

3‘ඔබේ දෙවියෝ කොහේ ද’ කියා දවස පුරා මිනිසුන් මට කියන කල මම දිවා රෑ දෙක්හි කඳුළු වගුරුවමි. 5ඇයි මා මෙසේ දුක් සයුරේ කිමිදෙන්නේ? ඇයි මා මෙසේ කෙඳිරිගාමින් ළතවන්නේ? දෙවි තුමන් ගැන බලා සිටිමි. මාගේ දෙවිඳුන් හට, මිදුම්කරුන් හට, යළිත් මෙ මම් පැසසුම් දෙමි. 3ඔබේ ආලෝකය හා සත්‍යය මට දුන මැනව; ඒවායින් මට මඟපෙන්වීම ලැබී, ඔබේ ශුද්ධ සියොන් පව්වට ආපසු ගොස්, ඔබේ වාසභවනය වන දෙව් මැදුරට පිවිසීමට මට ලැබේවා. 4දෙවියෙනි, මාගේ දෙවියෙනි, එවිට මම දිව්‍ය පූජාසනය වෙත, මාගේ පස්වණක් ප්‍රීතිය වන දෙවිඳුන් වෙත ගොස් වීණා වාදනයෙන් ඔබ පසසන්නෙමි.
Responsorial Psalm - Alternative

යෙසායා 12:2-3, 4, 5-6

2බලන්න, දෙවිඳාණෝ මාගේ ගැළවීම ය. මම එතුමාණන් කෙරෙහි විශ්වාසය තබමි; එතුමන් කෙරෙහි මට බියක් නැත. මන්ද, සමිඳාණෝ මාගේ ශක්තියත්, ගීතිකාවත් ය. එතුමාණෝ මාගේ ගැළවීම ය.” 3ඔබ ගැළවීමේ ළිංවලින් ප්‍රීතියෙන් දිය ඇදගන්නහු ය. 4ඒ දවසේ දී සෙනඟ මෙසේ පැසසුම් ගී යන්නෝ ය: ”සමිඳුන්ට තුති පුදන්න; එතුමන්ගේ නම පවසා අයැදින්න. එතුමන්ගේ ක්‍රියා ජාතීන් අතර පවසන්න. එතුමන්ගේ නාමයේ ශ්‍රේෂ්ඨත්වය ප්‍රකාශ කරන්න. 5සමිඳුන් කළ අරුමපුදුම දේ නිසා පසස් ගී ගයන්න; මුළු ලොවට ම ඒ ගැන දන්වන්න. 6සියොන් වැසි සියල්ලෙනි, මොරගසා ගී ගයන්න; ඉශ්රායෙල් ශුද්ධ දෙවිඳාණන් උතුම් වන බැවින් ද සිය සෙනඟ අතරේ වැඩ සිටින බැවින් ද සතුටින් හඬ නඟා ගී ගයන්න.”
Responsorial Psalm - Alternative

ගීතාවලිය 51:12-13, 14-15, 18-19

12විමුක්තියේ ප්‍රීතිය මට යළි දුන මැනව; අවනත සිතක් දී මා දැරුව මැනව. 13එවිට මම අපරාධකරුවන්ට ඔබ මඟ පහදා දෙන්නෙමි; පව්කරුවන් ඔබ වෙත හරවාගෙන එන්නෙමි. 14දෙවිඳුනි, මා ගැළවුම්කාර දෙවිඳුනි, මිනී මැරීමේ අපරාධයෙන් මා මුදාලුව මැනව. එවිට ඔබේ දැහැමි ක්‍රියා ගැන මම උස් හඬින් ගීත ගයන්නෙමි. 15සමිඳුනි, ගී ගැයුමේ වරම මට දුන මැනව. එවිට මා මුවින් ඔබ පැසසුම් ගයන්නෙමි. 18සියොන් ගිරට ඔබ කරුණාව පා සෙත සැලසුව මැනව; ජෙරුසලමේ කොටු පවුරු යළි ඉදි කළ මැනව. 19එකල, දවන යාග පූජා වන නියමිත පඬුරුවලට ඔබ ප්‍රිය වන සේක. එවිට ඔබේ පුදසුන මත ඔව්හු ගව පූජා පුදන්නෝ ය.
Epistle

රෝම 6:3-11

3බව්තීස්ම-ස්නාපනයෙන් ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ හා සමඟ ඒකාබද්ධ වූ අප සියල්ලන් ම එම බව්තීස්ම-ස්නාපනයෙන් උන් වහන්සේගේ මරණයෙහි, උන් වහන්සේ හා සමඟ ඒකාබද්ධ වූ බව ඔබ නොදන්නහු ද? 4එබැවින් අපේ බව්තීස්ම-ස්නාපනයෙන් අපිත් උන් වහන්සේගේ මරණයට, සම්බන්ධ වී උන් වහන්සේ සමඟ වළලනු ලැබුවෙමු. එසේ කරනු ලැබුවේ පියාණන් වහන්සේගේ මහිමාන්විත ක්‍රියාවෙන් ක්‍රිස්තුන් වහන්සේ මළවුන්ගෙන් උත්ථානය ලැබූ සේ ම, අප ද නව ජීවන මඟක ගමන් කරනු සඳහා ය. 5උන් වහන්සේගේ මරණය වැනි සිද්ධියකින් අපි උන් වහන්සේ හා සමඟ එක් වුණෙමු නම්, උන් වහන්සේගේ උත්ථානය වැනි සිද්ධියකින් ද අපි උන් වහන්සේ හා සමඟ එක් වන්නෙමු. 6මින් මතු අප පාපයට වහල් නොවන පිණිස අපේ පාපී ස්වභාවය නැති වන සේ අපේ පූර්ව මිනිස් ගතිය උන් වහන්සේ සමඟ කුරුසියෙහි ඇණ ගසනු ලැබූ බව අපි දනිමු. 7මන්ද, මළා වූ තැනැත්තාට පාපය ගැන වගකීමක් නැත. 8අපි ක්‍රිස්තුන් වහන්සේ සමඟ මැරුණෙමු නම්, උන් වහන්සේ සමඟ ජීවත් වන බව ද විශ්වාස කරමු. 9උත්ථාන කරනු ලැබූ ක්‍රිස්තුන් වහන්සේ යළිත් නොමැරෙන බව ද අපි දනිමු. මින් මතු මරණය උන් වහන්සේ කෙරේ බල පවත්වන්නේ නැත. 10උන් වහන්සේ මරණයට පත් වීමෙන් එක ම වරක් පාපය නිසා මළ සේක; එහෙත් දැන් ජීවත් වන ජීවිතයෙන් දෙවියන් වහන්සේ උදෙසා ජීවත් වන සේක. 11ඔබත් එසේ ම පාප විමුක්තිය ලත් අය බව ද, ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ තුළ දෙවියන් වහන්සේ උදෙසා ජීවත් ව සිටින්නන් බව ද සිතට ගන්න.
Responsorial Psalm

ගීතාවලිය 118:1-2, 16-17, 22-23

1සමිඳුන්ට ස්තුති කරන්න. මන්ද, එතුමාණෝ යහපත් ය. එතුමන්ගේ තිර පෙම සදාකාලයට පවත්නේ ය. 2එතුමන්ගේ තිර පෙම සදාකාලයට පවත්නේ ය”යි ඉශ්රායෙල් දැන් කියත් වා! 16සමිඳුන්ගේ බාහු බලය උදාර ය. සමිඳුන්ගේ බාහු බලය විකුම් දක්වයි. 17මම නොනැසී, ජීවත් ව සිටින්නෙමි; සමිඳුන්ගේ ක්‍රියා ප්‍රකාශ කරන්නෙමි. 22ගෘහ ශිල්පීන් ඉවත ලූ ගල ම මුල් ගල වී ඇත. 23මෙය සමිඳුන්ගේ ක්‍රියාවකි; එය අපේ දෙනෙතට අසිරිමත් ය.
Gospel

ශුද්ධ වූ මතෙව් 28:1-10

1සබත් දින නිම වී සතියේ පළමු වන දින එළිවන වේලෙහි මග්දලායේ මරියා ද අනික් මරියා ද සොහොන් ගෙය බලන්න ගියහ. 2එවිට මහා භූමිකම්පාවක් විය. සමිඳාණන් වහන්සේගේ දූතයෙක් ස්වර්ගයෙන් බැස අවුත්, ගල ඉවතට පෙරළා ඒ මත හිඳගත්තේ ය. 3ඔහුගේ පෙනුම විදුලිය වැනි ය, ඔහුගේ වස්ත්‍ර හිම මෙන් සුදු ය. 4මුර සෙබළු ඔහුට භයින් වෙවුලා, මළවුන් මෙන් වූ හ. 5දේව දූතයා ඒ ස්ත්‍රීන්ට කතා කරමින්, ”බිය නොවන්න, ඔබ කුරුසියෙහි ඇණ ගැසූ ජේසුස් වහන්සේ සොයන බව දනිමි; 6උන් වහන්සේ මෙහි නැත; උන් වහන්සේ වදාළ ලෙස ම උත්ථාන වූ සේක. එන්න, සමිඳාණන් වහන්සේ තැන්පත් කළ ස්ථානය බලා, 7වහා ම ගොස්, ‘උන් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වූ සේක. උන් වහන්සේ ඔබට පළමු ව ගලීලයට යන සේක. එහි දී ඔබ උන් වහන්සේ දකින්නහු ය’යි ශ්‍රාවකයන්ට දන්වන්න. මා කී දේ මතක තබා ගන්නැ”යි කී ය. 8එවිට ඔව්හු භයින් ද මහත් ප්‍රීතියෙන් ද යුක්ත ව සොහොන් ගෙයින් වහා ම නික්ම ගොස්, උන් වහන්සේගේ ශ්‍රාවකයන්ට දන්වන පිණිස දිවූ හ. 9එකල ජේසුස් වහන්සේ හදිසියේ ඔවුන්ට මුණ ගැසී, ”සෙත් වේ වා!”යි වදාළ සේක. ඔව්හු ළං වී උන් වහන්සේගේ පා වැළඳගෙන, උන් වහන්සේට පසඟ පිහිටුවා නමස්කාර කළහ. 10එවිට උන් වහන්සේ ඔවුන්ට කතා කොට, ”බිය නොවන්න; මාගේ සහෝදරයන් වෙතට ගොස්, ගලීලය බලා යන්න ඔවුන්ට කියන්න; එහි දී ඔවුන් මා දකිනු ඇතැ”යි වදාළ සේක.