කියවීම්
2026 අප්‍රේල් 16
Thursday of the Second Week of Easter
දවසේ දේව මෙහෙය
Reading I
ක්‍රියා 5:27-33
27ඔව්හු ඔවුන් ගෙනවුත් මන්ත්‍රණ සභාව ඉදිරියෙහි සිටෙව්වෝ ය. උත්තම පූජකයා ඔවුන් අමතා,
28මේ මිනිසාගේ නාමයෙන් නූගන්වන ලෙස අපි ඔබට අණ කෙළෙමු. එහෙත් ඔබ, ඔබගේ මේ ධර්මය ජෙරුසලම පුරා පතළ කර, මේ මිනිසාගේ මරණය ගැන අප වගකිව යුත්තන් කරන්නට අදහස් කරන්නහු දැ”යි ඇසූ හ.
29එවිට පේදුරු සහ ප්‍රේරිතයෝ පිළිතුරු දෙමින්, ”අප මිනිසුන්ට නොව දෙවියන් වහන්සේට කීකරු විය යුතු ය.
30අප පියවරුන්ගේ දෙවියන් වහන්සේ, ඔබ විසින් ගසක එල්ලා මරණයට පත් කළ ජේසුස් වහන්සේ උත්ථාන කොට වදාළ සේක.
31එම තැනැන් වහන්සේ නායකයාණන් ද ගැළවුම් කාරයාණන් ද වන පිණිස දෙවියන් වහන්සේ සිය දකුණතින් දකුණතට උසස් කර වදාළ සේක. එසේ කෙළේ, ඉශ්රායෙල්ට පසුතැවී සිත් හරවා ගැනීමත් පව් කමාවත් දෙන පිණිස ය.
32මේ කරුණුවලට අපි සාක්ෂිකාරයෝ වෙමු. දෙවියන් වහන්සේට කීකරු වන අයට ප්‍රදානය කර ඇති ශුද්ධාත්මයාණන් වහන්සේ ද අප සමඟ, සාක්ෂිකාරයෙක් වන සේකැ”යි කී හ.
33ඔව්හු ඒ අසා කෝපයෙන් දිළිහී, ඔවුන් මරන්නට අදහස් කළහ.
Responsorial Psalm
ගීතාවලිය 34:2 and 9, 17-18, 19-20
2මම එතුමන්ගේ ගුණ වර්ණනා කරමි. නිහතමානී අය ඒ අසා තොස් වෙත්වා;
9එතුමන්ගේ සැදැහැවතුනි, එතුමන්ට ගරුබිය දක්වන්න; මන්ද, දේව ගරුබිය ඇති අයට අගහිඟයක් නැත.
17දැහැමි අය අයැදුම් කළහ; හිමි තුමාණෝ සවන් දී සියලු දුක් වේදනාවලින් ඔවුන් මිදූ සේක.
18හිමි තුමාණෝ බිඳුණු සිත් ඇත්තන්ට ළං ව සිටින සේක; තැළුණු හදවත් ඇත්තන්ට පිහිට වන සේක.
19දමිටුන්ට බොහෝ ආපදා ඇතත්, හිමි තුමාණෝ ඒ සියල්ලෙන් ඔවුන් මුදා හරින සේක.
20එතුමාණෝ ඔවුන්ගේ ඇඟේ එක ඇටයකුදු නෑර ඔවුන් රක්නා සේක; ඉන් එකක් වත් බිඳෙන්න නොහරින සේක;
Alleluia
ශුද්ධ වූ ජොහන් 20:29
29එවිට ජේසුස් වහන්සේ, ”ඔබ මා දුටු බැවින් අදහාගත්තෙහි ය. නුදුටු නමුත් අදහන්නෝ භාග්‍යවන්තයෝ ය”යි වදාළ සේක.
Gospel
ශුද්ධ වූ ජොහන් 3:31-36
31ඉහළින් වඩිනා තැනැත්තේ සියල්ලනට වඩා උතුම් ය. භූමියෙන් වන තැනැත්තේ භූමියට අයිති වේ; ඔහු භෞමික දේ ගැන කතා කරයි. ස්වර්ගයෙන් එන තැනැන් වහන්සේ සියල්ලනට ම වඩා උතුම් ය;
32උන් වහන්සේ තමන් ඇසූ දුටු දේ ගැන සාක්ෂි දරන සේක. එහෙත්, කිසිවෙක් උන් වහන්සේගේ සාක්ෂිය නොපිළිගනිති.
33උන් වහන්සේගේ සාක්ෂිය පිළිගන්නා තැනැත්තේ දෙවියන් වහන්සේ සත්‍යවාදි බව සහතික කරයි.
34දෙවියන් වහන්සේ එවා වදාළ තැනැන් වහන්සේ, දෙවියන් වහන්සේගේ වදන් පවසන සේක. එසේ වන්නේ දෙවියන් වහන්සේ ශුද්ධාත්මය සීමා රහිත ව දානය කරන බැවිනි.
35පියාණන් වහන්සේ පුත්‍රයාණන්ට ප්‍රේම කරන සේක. සියල්ල උන් වහන්සේ අතට භාර දී ඇත.
36යමෙක් පුත්‍රයාණන් අදහන්නේ ද ඔහුට සදාතන ජීවනය ඇත. එහෙත් යමෙක් පුත්‍රයාණන් ප්‍රතික්ෂේප කරන්නේ ද ඔහුට ජීවනය නොලැබේ. දේව උදහස ඔහු පිට රඳා පවති යි.”