අප්‍රේල් 2026

බ්‍ර සි සෙ
1234
567891011
12131415161718
19202122232425
2627282930
අද දිනට

කියවීම්

2026 අප්‍රේල් 23

Thursday of the Third Week of Easter

දවසේ දේව මෙහෙය
Reading I

ක්‍රියා 8:26-40

26එකල සමිඳාණන් වහන්සේගේ දුතයෙක් පිලිප්ට කතා කොට, ”නැඟිට දකුණු දෙස ජෙරුසලමේ සිට ගාසාවට බසින පාරට යන්නැ”යි කී ය. එය කාන්තාර පාරකි. 27ඔහු එහි ගියේ ය. එවිට එතියෝපීය රටවැසියන්ගේ කන්දකී නම් බිසව යටතේ බොහෝ බලය ඇත්තා වූ ද ඇගේ මුළු වස්තුවේ අධිකාරී වූ ද එතියෝපීය නපුංසකයෙක් වන්දනාව පිණිස ජෙරුසලමට ගොස් 28ආපසු යන විට, තමාගේ රථයෙහි හිඳ, දිවැසිවර යෙසායාගේ පොත කියවමින් සිටියේ ය. 29එවිට ආත්මයාණන් වහන්සේ පිලිප්ට කතා කොට, ”ඔබ ඉදිරියට ගොස් රථයට ළං ව ගමන් කර එක්වන්නැ”යි වදාළ සේක. 30පිලිප් ඔහු ළඟට දිවගොස් ඔහු යෙසායා දිවැසිවරයාගේ පොත කියවනු අසා, ”ඔබ කියවන දේ ඔබට තේරෙන්නේ දැ”යි ඇසී ය. 31යමෙකු මඟ පෙන්නුවොත් මිස මට තේරුම්ගත හැක්කේ කෙසේ දැ”යි ඔහු පිළිතුරු දී, රථයට නැඟී තමා සමඟ හිඳගන්නට පිලිප්ගෙන් උදක් ම ඉල්ලී ය. 32ඔහු කියවමින් සිටි ශුද්ධ ලියවිලි පාඨය මෙසේ ය: ”මරණයට ගෙනයනු ලබන බැටළුවෙකු මෙන් ද උගේ ලොම් කපන්නා ඉදිරිපිට ගොළු ව සිටින බැටළු පැටවෙකු මෙන් ද උන් වහන්සේ තමන් මුඛය නාරින සේක. 33උන් වහන්සේ නින්දා ලැබූ හ; යුක්තිය නොලැබූ හ. උන් වහන්සේගේ පෙළපත ගැන ප්‍රකාශ කරන්නේ කවරෙක් ද? මන්ද, උන් වහන්සේගේ ජීවිතය මිහි පිටින් පහකරදමන ලදී.” 34නපුංසකයා පිලිප්ගෙන් විචාරමින්, ”දිවැසිවරයා මෙය කියන්නේ කවරෙකු ගැන ද? තමා ම ගැන ද නැතහොත් අන් කෙනෙකු ගැන දැ යි මට කියන්නැ”යි කී ය. 35එවිට පිලිප් පිළිතුරු දෙමින්, එකී ශුද්ධ ලියවිලි පාඨයෙන් පටන්ගෙන ජේසුස් වහන්සේ ගැන ඔහුට දේශනා කෙළේ ය. 36ඔව්හු මාර්ගයේ යද්දී, ජලය ඇති තැනකට පැමුණුණාහ. නපුංසකයා ”මෙන්න, ජලය ඇත; බව්තීස්ම-ස්නාපනය ලැබීමට ඇති බාධාව කුමක් දැ”යි කී ය. 37පිලිප් කතා කොට, ‘ඔබේ මුළු සිතින් අදහන්නෙහි නම් එසේ කළ හැකි ය’යි පැවසී ය. ඔහු උත්තර දෙමින්, ”ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ දෙවියන් වහන්සේගේ පුත්‍රයාණන් බව මම අදහමි”යි කී ය. 38රථය නවත්වන්නට අණ කළ පසු පිලිප් ද නපුංසකයා ද දෙදෙනා ම වතුරට බැස්සෝ ය. පිලිප් ඔහු බව්තීස්ම-ස්නාපනය කෙළේ ය. 39ඔවුන් වතුරෙන් ගොඩ ආ කල සමිඳාණන් වහන්සේගේ ආත්මයාණෝ පිලිප් හැරගෙන ගිය සේක. නපුංසකයා තවත් ඔහු නුදුටුවේ ය. ඔහු ප්‍රීතියෙන් තමාගේ ගමන ගියේ ය. 40ඉන්පසු පිලිප් දක්නා ලද්දේ අසෝතස්හි දී ය. ඔහු කායිසාරියට පැමිණෙන තෙක් සියලු නුවරවල සැරිසරමින් සුබ අස්න ප්‍රකාශ කෙළේ ය.
Responsorial Psalm

ගීතාවලිය 66:8-9, 16-17, 20

8ජනතාවෙනි, අපේ දෙවිඳුන් හට ආසිරි පතන්න; එතුමන් වෙත නඟන පැසසුම පතුරුවා හරින්න. 9එතුමාණෝ ජීවතුන් අතර අප රැක ගත් සේක; අපේ පාද නොපැකිළෙන්නට සැලැසූ සේක. 16දෙවිඳුන් නමදින සියල්ලෙනි! එන්න, සවන් දෙන්න. එවිට එතුමාණන් මට කළ දේ මම කියා දෙන්නෙමි. 17මා මුවින් මම එතුමන්ට මොරගැසුවෙමි; මාගේ දිවෙන් එතුමන්ගේ මහිමය ඉහළින් වර්ණනා කෙළෙමි. 20දෙවිඳුන්ට ප්‍රශංසා වේ වා! මාගේ අයැදුම එතුමාණෝ ඉවත නොදැමූ සේක; සිය පෙමින් මා ඈත් නොකළ සේක.
Alleluia

ශුද්ධ වූ ජොහන් 6:51

51ස්වර්ගයෙන් පහළ වන ජීවනදායක ආහාරය මම ය. යමෙක් මේ ආහාරයෙන් වැළඳුවොත්, ඔහු සදහට ම ජීවත් වන්නේ ය. මා විසින් දෙනු ලබන ඒ ආහාරය මාගේ මාංසය වේ. මා එය දෙන්නේ ලෝකයාගේ ජීවනය පිණිස ය”යි වදාළ සේක.
Gospel

ශුද්ධ වූ ජොහන් 6:44-51

44මා එවා වදාළ පියාණන් වහන්සේ තමන් වෙත ඇද ගන්නා අයෙකුට මිස, අන් කිසිවෙකුට මා වෙතට පැමිණිය නොහැකි ය. මම අන්තිම දවසේ දී ඔහු උත්ථාන කරන්නෙමි. 45‘සියල්ලෝ ම දෙවියන් වහන්සේ විසින් උගන්වනු ලබති’යි දිවැසාවලියෙහි ලියා ඇත. දෙවියන් වහන්සේට සවන් දී, උන් වහන්සේගෙන් ඉගෙනගත් සියල්ලෝ ම මා වෙත එති. 46දෙවියන් වහන්සේ වෙතින් පැමිණි තැනැන් වහන්සේ හැර, අන් කිසිවෙකු දෙවියන් වහන්සේ දැක ඇතැ යි මෙයින් අදහස් නොකරමි, උන් වහන්සේ පමණක් පියාණන් වහන්සේ දැක ඇත. 47ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, අදහන්නාට සදාතන ජීවනය ඇත. 48ජීවනදායක ආහාරය මම ය. 49ඔබේ පියවරු කාන්තාරයේ දී මන්නා කෑහ; එහෙත් ඔව්හු මියගියහ. 50මෙය වනාහි, ස්වර්ගයෙන් බැස එන ආහාරය බැවින් එයින් පෝෂණය වන කිසිදු මිනිසෙක් නො මැරෙන්නේ ය. 51ස්වර්ගයෙන් පහළ වන ජීවනදායක ආහාරය මම ය. යමෙක් මේ ආහාරයෙන් වැළඳුවොත්, ඔහු සදහට ම ජීවත් වන්නේ ය. මා විසින් දෙනු ලබන ඒ ආහාරය මාගේ මාංසය වේ. මා එය දෙන්නේ ලෝකයාගේ ජීවනය පිණිස ය”යි වදාළ සේක.