කියවීම්
2026 අප්‍රේල් 9
Thursday in the Octave of Easter
දවසේ දේව මෙහෙය
Reading I
ක්‍රියා 3:11-26
11පේදුරු සහ ජොහන් ඔහුගේ අතින් අල්ලාගෙන සලමොන්ගේ සක්මන් මළුවෙහි සිටිනු දුටු සමූහයා අතිශයින් පුදුම වී ඔවුන් වෙතට දිවූ හ.
12පේදුරු ඒ සෙනඟට මෙසේ කී ය: ”ඉශ්රායෙල් ජනයිනි, මේ ගැන ඔබ පුදුම වන්නේ කුමක්නිසා ද? අපේ ම බලයෙන් වත් යහපත්කමින් වත් අප මේ මිනිසා ඇවිදින්නට සැලසුවාක් මෙන් අප දෙස නෙත් යොමා මවිතයෙන් බලන්නේ මන් ද?
13ආබ්‍රහම්ගේ ද ඊසාක්ගේ ද ජාකොබ්ගේ ද දෙවි වූ අපගේ පියවරුන්ගේ දෙවියන් වහන්සේ තමන් සේවකයා වූ ජේසුස් වහන්සේ මහිමයට පැමිණ වූ සේක. එහෙත් ඔබ උන් වහන්සේ නඩු ශාලාවට පැමිණෙව්වහු ය. තවද පිලාත් උන් වහන්සේ නිදහස් කරන්නට තීරණය කරගෙන සිටි විට ඔහු ඉදිරියේ ම ඔබ උන් වහන්සේ ප්‍රතික්ෂේප කළහු ය.
14ඔබ සුවිශුද්ධ වූ ධර්මිෂ්ඨ වූ තැනැන් වහන්සේ ප්‍රතික්ෂේප කර ඒ වෙනුවට මිනීමරුවෙකු මුදා දෙන මෙන් ඉල්ලා සිටියහු ය.
15මෙසේ ඔබ ජීවනේශ්වරයාණන් මරණයට පත් කළහු ය. එහෙත් දෙවියන් වහන්සේ උන් වහන්සේ මරණයෙන් උත්ථාන කර වදාළ සේක. අපි ඊට සාක්ෂිකාරයෝ වම්හ.
16දැන් ඔබ ඉදිරියේ සිටින ඔබ හඳුනන මේ මිනිසා සම්පූර්ණ සුවය ලැබුවේ උන් වහන්සේගේ නාමයෙන් හා ඒ නාමය කෙරෙහි ඇති ඇදහිල්ල කරණකොටගෙන ය.
17දැන් ඉතින් සහෝදරවරුනි, ඔබගේ ප්‍රධානීන් මෙන් ම, ඔබ ද, නොදැනුම්කමින් ක්‍රියා කළ බව මම දනිමි.
18එසේ වුවත්, ස්වකීය ක්‍රිස්තුන් වහන්සේ දුක් විඳිය යුතු යයි දෙවියන් වහන්සේ සියලු දිවැසිවරයන්ගේ මුවින් පෙර දන්වා වදාළ දේ, මෙසේ සම්පූර්ණ කළ සේක.
19එබැවින්, ඔබේ පව් මකාලන පිණිස ද දෙවියන් වහන්සේ කෙරෙන් නව ජීවන යුගයක් පැමිණෙන පිණිස ද
20ඔබ උදෙසා පෙර නියම කරන ලද ක්‍රිස්තුන් නම් ජේසුස් වහන්සේ එවා වදාරන පිණිස ද පසුතැවී සිත් හරවා ගෙන දෙවියන් වහන්සේ වෙතට හැරෙන්න.
21ආදි යුගවල සිට දෙවියන් වහන්සේ ස්වකීය ශුද්ධ දිවැසිවරයන්ගේ මුවින් දැන්වූ, මුළු ලොවට නව ජීවනය දීමේ කාලය පැමිණෙන තුරු උන් වහන්සේ ස්වර්ගයේ වැඩ විසිය යුතු ය.
22මන්ද, ‘ඔබගේ දෙවි ස්වාමීන් වහන්සේ මා එවා වදාළාක් මෙන් ඔබේ සහෝදරයන් අතුරෙන් ම දිවැසිවරයෙකු ඔබ හට එවා වදාරන සේක. ඔහු ඔබට වදාරන සියල්ලට ඔබ සවන් දිය යුතු ය.
23ඒ දිවැසිවරයාට සවන් නොදෙන හැම කෙනෙක් ම සෙනඟ අතරෙන් සහමුලින් ම විනාශ කරනු ලැබෙති’යි මෝසෙස් කී ය.
24තවද, සාමුවෙල් පටන් පහළ වූ සියලු දිවැසිවරු ද එසේ ම පැවසූ හ; මේ දවස් ගැනත් නිවේදනය කළහ.
25ඔබ වනාහි දිවැසිවරුන්ගේ ද ‘ඔබේ වංශය කරණකොටගෙන මිහි පිට සියලු පවුල් ආශීර්වාද කරනු ලබන්නේ ය’යි දෙවියන් වහන්සේ ආබ්‍රහම්ට වදාරමින් ඔබේ පියවරුන් සමඟ කළ ගිවිසුමේ ද පුත්‍රයෝ වන්නහු ය.
26දෙවියන් වහන්සේ ස්වකීය සේවකයාණන් උත්ථාන කොට, පළමුවෙන් ම උන් වහන්සේ එවා වදාළේ ඔබ වෙතට ය. එසේ කෙළේ ඔබ හැම කෙනෙකු ම තම තමාගේ අදමිටුකම්වලින් හරවා ආශීර්වාද කරනු පිණිස ය.”
Responsorial Psalm
ගීතාවලිය 8:2 and 5, 6-7, 8-9
2කිරි දරු බිළිඳු සිඟිති මුවින් ඔබ සතුරා ද පළිගන්නා ද නිහඬ කළ සේක. රුපු ඔද බිඳිමින් බලකොටුවක් ද ඉදි කළ සේක.
5එහෙත්, ඔබ මිනිසා මවා ඇත්තේ, දෙවිඳුන්ට පමණක් දෙ වැනි වන ලෙසින් ය. තෙද යස කිරුළක් ඔහු හිස පළඳන ලද්දේ ය.
6ඔබ මැවූ හැම දේ ඔහුට යටත් කළ සේක. ඔබ ඔහු මුළු සක්වළට අධිපති කළ සේක.
7ගව, බැටළු ආදී සතුන් ද වන සතුන් ද ඔහුට යටත් කළ සේක.
8ආකාශ පක්ෂීන් හා මුහුදු මසුන් ද සත් සමුදුර හැම සතුන් ද කෙරේ අධිපතිකම මිනිසා හට පවරා දුන් සේක.
9දෙවිඳුනි, අපේ සමිඳුනි, ඔබේ නාමය ලෝ පුරා කොතරම් මහිමාන්විත වන්නේ ද?
Alleluia
ගීතාවලිය 118:24
24මෙන්න, සමිඳුන්ගේ ජය මංගල දිනය! මෙදින අපි ප්‍රීති වමු; සන්තෝෂ වමු.
Gospel
ශුද්ධ වූ ලූක් 24:35-48
35එවිට ඔව්හු ද මඟ දී තමන්ට සිදු වූ කාරණා සහ රොටි කැඩීමෙහි දී ඔවුන්ට උන් වහන්සේ ප්‍රකාශ වූ හැටි ද පැවසූ හ.
36ශ්‍රාවකයන් මෙසේ කතා කරමින් සිටිය දී උන් වහන්සේ ඔවුන් මැදට වැඩම කර, ”ඔබට ශාන්තිය වේ වා!”යි වදාළ සේක.
37එහෙත් ඔව්හු ත්‍රස්ත ව භීතියට පත් ව, ඒ අවතාරයකැ යි සිතූ හ.
38උන් වහන්සේ ඔවුන්ට කතා කොට, ”ඔබ කැළඹී සිටින්නේ මන් ද? ඔබගේ සිත්වල සැක උපදින්නේත් මන් ද?
39මාගේ අත් හා පා බලන්න; මේ මා ම බව තේරුම්ගන්න; මා ස්පර්ශ කොට, බලන්න; ඔබට පෙනෙන ලෙස ඇට මස් සහිත සිරුරක් මට ඇත. අවතාරයකට නම් ඒවා නැතැ”යි වදාළ සේක.
40උන් වහන්සේ මෙවදන් කියා, තම අත් හා පා ඔවුන්ට පෙන්වූ සේක.
41ඔවුන් ප්‍රීතිය නිසා විශ්වාස නොකොට පුදුම වෙමින් සිටිය දී, උන් වහන්සේ ඔවුන්ට කතා කොට, ”කෑමට යමක් මෙහි ඔබ වෙත තිබේ දැ”යි ඇසූ සේක.
42ඔව්හු බැදපු මාළු කෑල්ලක් උන් වහන්සේට පිළිගැන්වූ හ.
43උන් වහන්සේ එය පිළිගෙන ඔවුන් ඉදිරිපිට දී වැළඳූ සේක.
44තවද උන් වහන්සේ කතා කරමින්, ”මා පිළිබඳ මෝසෙස්ගේ ව්‍යවස්ථාවලියෙහි ද දිවැසාවලියෙහි ද ගීතාවලියෙහි ද ලියා ඇති හැම දෙය ම ඉෂ්ට විය යුතු යයි මා ඔබ සමඟ සිටිය දී ඔබට පැවසූ වචනයෙහි තේරුම මේ ය”යි වදාළ සේක.
45එවිට උන් වහන්සේ ශුද්ධ ලියවිල්ල ඔවුන්ට වැටහෙන පිණිස ඔවුන්ගේ සිත් පහදවා කතා කොට,
46මෙසේ ක්‍රිස්තුන් වහන්සේ වද විඳින්ටත් තුන් වන දා මළවුන්ගෙන් නැඟිටින්ටත්,
47ජෙරුසලමෙන් පටන්ගෙන සකල ලෝකවාසීන්ට පසුතැවී සිත් හරවා ගැනීම ද පව් කමාව ද, උන් වහන්සේගේ නාමයෙන් ප්‍රකාශ කරනු ලබන්නට ද යුතු ම යයි ලියා ඇත.
48ඔබ මේ දේවලට සාක්ෂිකාරයෝ වන්නහු ය.