කියවීම්
2026 අප්‍රේල් 19
Third Sunday of Easter
දවසේ දේව මෙහෙය
Reading I
ක්‍රියා 2:14, 22-33
14එවිට එකොළොස් දෙනා සමඟ නැඟී සිටි පේදුරු තුමා ශබ්ද නඟා ඔවුන්ට මෙසේ කී ය: ”ජුදෙව් ජනයිනි, ජෙරුසලමේ වසන සියල්ලෙනි, මෙය දැනගන්න; මගේ වචනවලට සාවධාන ව සවන් දෙන්න.
22ඉශ්රායෙල් ජනයිනි, මේ වචනයට සවන් දෙන්න. ඔබ ම දන්නා ලෙස, නාසරෙත්හි ජේසුස් වහන්සේ, දෙවියන් වහන්සේ විසින් තෝරා පත් කළ මනුෂ්‍යයෙකි. ඒ බව, දෙවියන් වහන්සේ උන් වහන්සේ මඟින් ඔබ අතර කළ ප්‍රබල ක්‍රියාවලින් ද අරුමපුදුම දේවලින් ද ලකුණුවලින් ද පෙන්වූ සේක.
23එම ජේසුස් වහන්සේ, දෙවියන් වහන්සේගේ නියමිත අභිප්‍රාය හා පෙර දැනුම අනුව, පාවා දෙනු ලැබූ සේක. ඔබ අදමිටු මිනිසුන් ලවා උන් වහන්සේ කුරුසියේ ඇණ ගස්වා මරා දැමුවහු ය.
24එහෙත් දෙවියන් වහන්සේ මරණ බන්ධනයෙන් උන් වහන්සේ මුදා උත්ථාන කර වදාළ සේක. මන්ද, මරණයට උන් වහන්සේ බැඳ තබාගත නොහැකි විය.
25දාවිත් උන් වහන්සේ ගැන කතා කරමින් මෙසේ කී ය: ‘සමිඳාණන් වහන්සේ නිරතුරු මා ඉදිරියේ සිටිනු දුටිමි; මා නොසැලෙන පිණිස උන් වහන්සේ මාගේ දකුණු පසෙහි සිටින සේක.
26එබැවින් මාගේ හද සොම්නස් විය; මාගේ වචන ප්‍රමුදිත විය; මාගේ සිරුර ද බලාපොරොත්තුවෙන් පුල පුලා සිටින්නේ ය.
27මන්ද, ඔබ වහන්සේ, මාගේ ජීවිතය පාතාලයේ දමන්නේ වත්, ඔබගේ දැහැමි තැනැත්තා ජරාපත් වන්නට ඉඩ දෙන්නේ වත් නැත.
28ඔබ ජීවනයේ මාර්ගයන් මට දැන් වූ සේක. ඔබගේ වැඩවිසීමෙන් ඔබ මා ප්‍රීතියෙන් පුරවන සේක.
29සහෝදරවරුනි, ආදි පිතෘ වන දාවිත් මළ බවත්, තැන්පත් කරනු ලැබූ බවත් නොවළහා කියන්නට කැමැත්තෙමි. ඔහුගේ සොහොන අද දක්වා අප අතර ඇත.
30ඔහු දිවැසිවරයෙකු වූ බැවින්, ඔහුගේ වංශයෙන් කෙනෙකු ඔහුගේ සිංහාසනය පිට හිඳුවන සේකැ යි දෙවියන් වහන්සේ දිවුරුමකින් ඔහුට දිවුළ බව ඔහු දැන ගත්තේ ය.
31ඔහු මෙය කල් මත්තෙන් දැක, ක්‍රිස්තුන් වහන්සේගේ පුනරුජ්ජීවනය ගැන කතා කරමින්, ‘උන් වහන්සේ පාතාලයේ හැරදමනු නොලැබූ බවත්, උන් වහන්සේගේ සිරුර ජරාපත් නොවූ බවත්’ කී ය.
32දෙවියන් වහන්සේ මෙම ජේසුස් වහන්සේ මරණයෙන් උත්ථාන කොට වදාළ සේක. එයට අපි සියල්ලෝ සාක්ෂිකාරයෝ වෙමු.
33උන් වහන්සේ දෙවියන් වහන්සේගේ දකුණතින් උසස් කරනු ලැබ, පියාණන් වහන්සේ පොරොන්දු වූ ශුද්ධාත්මයාණන් ලබා, ඔබ අසන දකින මේ දේ ප්‍රදානය කළ සේක.
Responsorial Psalm
ගීතාවලිය 16:1-2, 5, 7-8, 9-10, 11
1දෙවිඳුනි, මම ඔබ සරණකොට ගතිමි. එබැවින් මා රැකගත මැනව.
2මම මෙසේ කීමි: ”සමිඳුනි, ඔබ මාගේ සමිඳාණන් වහන්සේ ය, මාගේ සව් සම්පත ය. ඔබ හැර අන්කිසි සෙතක් මට නැත්තේ ය.”
5සමිඳුනි, මාගේ උරුමය හා ඉරණම ඔබ වහන්සේ ය. ඔබ, ඔබ පමණක් ම මා උරුම කොටස රක්නා සේක.
7මට උවදෙස් දෙන හිමි තුමන් හට තුති කරන්නෙමි. රෑ යාම්වල දී මා සිත්සතන්හි නුවණ පහළ වන්නේ ය.
8හිමි තුමන් නිරතුරු මා අබියස තබාගන්නෙමි. මා දකුණු පස එතුමාණන් වැඩ වසන බැවින් මම නොසැලෙන්නෙමි.
9එබැවින් මසිත උදන් අනයි; මහද ප්‍රීතියෙන් පිනා යන්නේ ය; මා ගත සුරැකි ව ඇත්තේ ය.
10මන්ද, ඔබ මා පාතාලයෙහි නොරඳවන සේක; ඔබේ දැහැමි තැනැත්තාට ජරාපත් වීමට ඉඩ නොදෙන සේක.
11ඔබ මට ජීවන මඟ හෙළි කරන සේක. ඔබ අබිමුවෙහි පිරිපුන් සතුට මට වන්නේ ය. ඔබ දකුණු පස සැප සම්පත් සදහට ම ඇත්තේ ය.
Reading II
1 පේදුරු 1:17-21
17තවද, මනුෂ්‍යයන්ගේ තරාතිරම් නොබලා, එකිනෙකාගේ ක්‍රියා අනුව විනිශ්චය කරන තැනැන් වහන්සේට ‘පියාණෝ ය’ කියා ඔබ යාච්ඤා කරන්නහු නම්, මිහි පිට ඔබ විදේශී ව සිටින කාලය දේව ගරුබියෙන් ගත කරන්න.
18ඔබගේ පියවරුන්ගෙන් ලැබූ නිෂ්ඵල ජීවිත මාර්ගයෙන් ඔබ මුදනු ලැබුවේ රන් රිදී වැනි දිරා යන දේවල් මඟින් නොව,
19කැළලක් වත් පලුද්දක් වත් නැති බැටළු පැටවකුගේ ලේ වැනි ක්‍රිස්තුන් වහන්සේගේ අගනා ලෙය කරණකොටගෙන බව ඔබ දන්නහු ය.
20මේ මිදීම සඳහා ක්‍රිස්තුන් වහන්සේ, ලෝකය මැවීමට පෙර තෝරාගනු ලැබ, ඔබ උදෙසා මේ අන්තිම කාලයේ දී ප්‍රකාශ කරනු ලැබූ සේක.
21ඔබ මෙම ක්‍රිස්තුන් වහන්සේ කරණකොටගෙන, උන් වහන්සේ මරණයෙන් උත්ථාන කොට මහිමයට පත් කළ දෙවියන් වහන්සේ අදහන්නහු ය. මෙලෙස දෙවියන් වහන්සේ කෙරෙහි ඇදහිල්ල ද බලාපොරොත්තුව ද ඔබට ඇත.
Alleluia
Cf. Luke 24:32
පාඨ අන්තර්ගතය ලබා ගත නොහැක.
Gospel
ශුද්ධ වූ ලූක් 24:13-35
13එම දවසෙහි ශ්‍රාවකයන්ගෙන් දෙදෙනෙක් ජෙරුසලමේ සිට කිලෝමීටර් එකොළහක් පමණ දුර වූ එම්මාවුස් නම් ගමට යමින් සිටියහ.
14එසේ යද්දී, ඔව්හු සිදුවූ සියල්ල ගැන කතා කරමින් ගියහ.
15තවද, ඔවුන් සාකච්ඡා කරමින් යද්දී, ජේසුස් වහන්සේ ම ඔවුන් සමීපයට වැඩ, ඔවුන් හා සමඟ ගමන්ගත් සේක.
16ඔවුන් උන් වහන්සේ දුටු නමුත්, ඔවුන්ට උන් වහන්සේ හඳුනා ගත නොහැකි විය.
17උන් වහන්සේ ඔවුන්ට කතා කොට, ”මේ ඔබ තර්ක කරමින් යන්නේ කුමන කාරණා ගැන දැ”යි ඇසූ සේක. ඔව්හු දුක්මුසු මුහුණින් යුක්ත ව නතර වූ හ.
18ඔවුන්ගෙන් ක්ලේයෝපස් නම් තැනැත්තා උත්තර දෙමින්, ”මේ දවස්වල ජෙරුසලමෙහි සිදුවූ කාරණා නොදැන සිටින අමුත්තා ඔබ පමණක් දැ”යි උන් වහන්සේට කී ය.
19කවර කාරණා දැ”යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. ඔව්හු උත්තර දෙමින්, ”නාසරෙත්හි ජේසුස් වහන්සේ පිළිබඳ කාරණා ය. උන් වහන්සේ දෙවියන් වහන්සේ හා සකල ජනතාව ඉදිරියෙහි ක්‍රියාවෙහි ද කතාවෙහි ද බලසම්පන්න දිවැසිවරයෙකු ව සිටි සේක.
20නායක පූජකවරු ද අපගේ ප්‍රධානීහු ද උන් වහන්සේ මරණයට නියම කොට කුරුසියෙහි ඇණ ගැසූ හ.
21එහෙත්, ඉශ්රායෙල් මුදාලීමට සිටි එක ම තැනැන් වහන්සේ උන් වහන්සේ ය යනු අපගේ බලාපොරොත්තුව විය. එපමණක් නොවේ. මේ දේ සිදුවී අදට තුන් දවසක් ගත වී ඇත.
22තවද, අපේ කණ්ඩායමේ ඇතැම් ස්ත්‍රීහු අද හිමිදිරි උදයේ සොහොන් ගෙය ළඟට ගොස්,
23උන් වහන්සේගේ සිරුර නොදැක අවුත්, ඔවුන්ට දර්ශනය වූ දේව දූතයන් ‘උන් වහන්සේ ජීවමාන ව සිටින සේකැ’යි පැවසූ බව කියා අප විස්මිත කළහ.
24අප හා සමඟ සිටි අයගෙන් සමහරෙක් සොහොන් ගෙය ළඟට ගොස් ඒ ස්ත්‍රීන් කී ලෙස ම දුටුවෝ ය. එහෙත්, ඔව්හු උන් වහන්සේ නුදුටුවෝ ය”යි කී හ.
25එවිට උන් වහන්සේ ඔවුන් අමතා, ”බුද්ධිහීන වූ ද දිවැසිවරයන් පැවසූ සියල්ල විශ්වාස කිරීමට මැළි වූ ද තැනැත්තෙනි,
26ක්‍රිස්තුන් වහන්සේ ඒ දුක් විඳ ඉක්බිති ස්වකීය තේජශ්‍රීයට පැමිණිය යුතු ව තිබුණා නොවේ ද” කියා,
27මෝසෙස් හා සියලු දිවැසිවරයන්ගෙන් පටන්ගෙන, මුළු ශුද්ධ ලියවිල්ලෙහි තමන් ගැන සඳහන් කරුණු ඔවුන්ට පහදා දුන් සේක.
28ඔව්හු යමින් සිටි ගමට ළං වූ හ. එහෙත් උන් වහන්සේ තවත් දුර යන බවක් දැක්වූ සේක.
29එවිට ඔව්හු: ”දවස ගෙවී සවස් වේගන එන බැවින්, අප සමඟ නතර වුව මැනවැ”යි උන් වහන්සේට පෙරැත්ත කළහ. උන් වහන්සේ ඔවුන් සමඟ නතර වීමට ගෙට ඇතුළු වූ සේක.
30තවද උන් වහන්සේ ඔවුන් හා සමඟ කෑමට හිඳගත් කල්හි, රොටි ගෙන ආශීර්වාදය පවසා, කඩා ඔවුන්ට දුන් සේක.
31එවිට ඔවුන්ගේ ඇස් ඇරී, ඔව්හු උන් වහන්සේ කවරෙක් දැ යි හැඳින ගත්හ. එවිට උන් වහන්සේ ඔවුන් කෙරෙන් අතුරුදහන් වූ සේක.
32එකල ඔව්හු, ”උන් වහන්සේ අප හා සමඟ මඟ දී කතා කරද්දීත්, ශුද්ධ ලියවිල්ල පහදා දෙද්දීත්, අපේ හදවත දැවී ඇවිළී ගියා නොවේ දැ”යි එකිනෙකාට කී හ.
33ඔව්හු ඒ වේලේ ම නැඟිට ජෙරුසලමට පෙරළා ගොස්, එකොළොස් දෙනා ද ඔවුන් සමඟ සිටි අනෙක් අය ද,
34ඒකාන්තයෙන් ම සමිඳාණන් වහන්සේ නැඟිට සිටින සේක, සීමොන්ට ද පෙනුණු සේකැ”යි කියමින් සිටිනු දුටහ.
35එවිට ඔව්හු ද මඟ දී තමන්ට සිදු වූ කාරණා සහ රොටි කැඩීමෙහි දී ඔවුන්ට උන් වහන්සේ ප්‍රකාශ වූ හැටි ද පැවසූ හ.