කියවීම්
2026 අප්‍රේල් 28
Tuesday of the Fourth Week of Easter
දවසේ දේව මෙහෙය
Reading I
ක්‍රියා 11:19-26
19ස්තේපන් නිසා හටගත් පීඩාව කරණකොටගෙන විසුරුවනු ලැබූ අය, ජුදෙව්වරුන්ට මිස අන් කිසිවෙකුට දහම ප්‍රකාශ නොකොට, පිනීසිය ද සයිප්‍රසය ද අන්තියෝකිය ද දක්වා ගමන් කළහ.
20එහෙත් ඔවුන් අතරෙන් සයිප්‍රසයේ ද සිරේනියේ ද වැසියන් වූ සමහරෙක් අන්තියෝකියට පැමිණ, ග්‍රීකයනටත් කතා කරමින්, ජේසුස් ස්වාමීන් වහන්සේ පිළිබඳ සුබ අස්න ප්‍රකාශ කළහ.
21සමිඳාණන් වහන්සේගේ බලය ඔවුන් මත පහළ විය. එකල විශාල සංබ්‍යාවක් අදහාගෙන සමිඳාණන් වහන්සේ වෙතට හැරුණාහ.
22ඔවුන් පිළිබඳ පුවත ජෙරුසලමේ සභාවට සැළ විය. එවිට ඔව්හු බාර්ණබස් අන්තියෝකියට යැවූ හ.
23ඔහු පැමිණ දේව වරප්‍රසාදය දැක, සන්තෝෂ වී, සමිඳාණන් වහන්සේට පක්ෂපාත ව, ස්ථීර ව, පවතින සේ සියල්ලනට අනුශාසනා කෙළේ ය.
24බාර්ණබස්, වනාහි යහපත් වූ ද ශුද්ධාත්මයාණන්ගෙන් හා ඇදහිල්ලෙන් පූර්ණ වූ ද මිනිසෙකි. මෙසේ මහත් සමූහයක් සමිඳාණන් වහන්සේ සරණ ගියහ.
25බාර්ණබස් සාවුල් සොයමින් තාර්සසයට ගොස්,
26ඔහු හමු වී, අන්තියෝකියට කැඳවාගෙන ආවේ ය. ඔව්හු අවුරුද්දක් මුළුල්ලෙහි ම සභාව හා එක්රැස් ව, මහත් සමූහයකට ඉගැන්වූ හ. ‘ක්‍රිස්තියානි’ යන නාමය ශ්‍රාවකයනට පළමුකොට දෙනු ලැබූයේ අන්තියෝකියේ දී ය.
Responsorial Psalm
ගීතාවලිය 87:1-3, 4-5, 6-7
1ශුද්ධ කන්ද මත සමිඳාණෝ සිය නගරය ගොඩනැඟුව සේක.
2ඉශ්රායෙල්හි අන්කිසි තැනකට වඩා සමිඳාණෝ ජෙරුසලමට ප්‍රේම කරන සේක.
3එම්බා දෙවි නුවර! ඔබ ගැන අසිරිමත් දෙය පවසනු ලබන්නේ ය.
4මා පිළිගන්න ජාතීන් අතර මිසරය සහ බබිලෝනිය සඳහන් කරන්නෙමි. ජෙරුසලමේ වැසියන් සමඟ පිලිස්තිය, තීර් සහ එතියෝපියාව යන දේශවල ජනයා ද ගණන් කරන්නෙමි. ‘මොහු මෙතැන ජන්ම ලාභය ලැබී යැ’යි මිනිස්සු කියන්නෝ ය.
5සියොන් කන්ද ගැන මෙසේ කියනු ලබන්නේ ය; ‘සියලු ජාතීහු එහි උපත ලද්දෝ ය; මහෝත්තමයාණෝ ඇය ශක්තිමත් කරන සේක.’
6ජනතාවන්ගේ ලේඛනයක් සකස් කරන විට, සියලු දෙන ජෙරුසලම් වැසියන් ලෙස, ‘මොහු මෙතැන ජන්ම ලාභය ලැබී ය’යි සමිඳාණෝ ගණන්ගන්න සේක.
7‘අපේ සියලු ආසිරිවල උල්පත සියොන් ය’යි කියමින්, ඔව්හු ගී ගයමින් නටන්නෝ ය.
Alleluia
ශුද්ධ වූ ජොහන් 10:27
27මාගේ බැටළුවෝ මාගේ කටහඬ අසති. මම ද ඔවුන් අඳුනමි; ඔව්හු ද මා පසුපස්සේ එති.
Gospel
ශුද්ධ වූ ජොහන් 10:22-30
22එකල ජෙරුසලමේ, කැප කිරීමේ මංගල්‍යය පවත්වනු ලැබී ය.
23ඒ ශීත සෘතුව විය. ජේසුස් වහන්සේ දේව මාලිගාවේ සලමොන්ගේ ද්වාර මණ්ඩපයේ සක්මන් කරමින් සිටි සේක.
24එබැවින් ජුදෙව්වරු පැමිණ උන් වහන්සේ වටකරගෙන, ”ඔබ කොතෙක් කල් අප සැක පිට තබන සේක් ද? ඔබ ක්‍රිස්තුවරයාණෝ නම් පැහැදිලි ලෙස අපට කිව මැනවැ”යි කී හ.
25ජේසුස් වහන්සේ ඔවුන්ට පිළිතුරු දෙමින්, ”ඔබට මම කීවෙමි; එහෙත් ඔබ විශ්වාස නොකරන්නහු ය. මාගේ පියාණන් වහන්සේගේ නාමයෙන් මා කරන ක්‍රියාවෝ ම මා ගැන සාක්ෂි දෙති.
26එහෙත්, ඔබ මාගේ බැටළුවන් නොවන බැවින්, මා විශ්වාස නොකරන්නහු ය.
27මාගේ බැටළුවෝ මාගේ කටහඬ අසති. මම ද ඔවුන් අඳුනමි; ඔව්හු ද මා පසුපස්සේ එති.
28මම ඔවුන්ට සදාතන ජීවනය දෙමි. ඔව්හු කිසි කලෙකත් විනාශ නොවෙති. කිසිවෙක් ඔවුන් මා අතින් පැහැර නොගනිති.
29ඔවුන් මා හට දෙවා වදාළ මාගේ පියාණන් වහන්සේ සියල්ලන්ට ම වඩා ශ්‍රේෂ්ඨ ය. පියාණන් වහන්සේගේ අතින් ඔවුන් පැහැර ගන්නට කිසිවෙකුට නොහැකි ය.
30මාත් මාගේ පියාණන් වහන්සේත් එක ම ය”යි වදාළ සේක.