කියවීම්
2026 අප්‍රේල් 25
Feast of Saint Mark, evangelist
දවසේ දේව මෙහෙය
Reading I
1 පේදුරු 5:5-14
5තවද, තරුණයෙනි, සභා මූලිකයන්ට යටත් වන්න. ඔබ සියල්ලන් එකිනෙකා කෙරෙහි යටහත්කමින් සැරසී සිටින්න. මන්ද, දෙවියන් වහන්සේ උඩඟු අයට විරුද්ධ ව සිට යටහත් අයට කරුණාව දක්වන සේක.
6එබැවින් දෙවියන් වහන්සේ සුදුසු කාලයෙහි දී ඔබ උසස් කරනු පිණිස උන් වහන්සේගේ බලවත් හස්තයට යටත් වන්න.
7උන් වහන්සේ ඔබ ගැන සලකන හෙයින්, ඔබගේ හැම කරදරයක් ම උන් වහන්සේට භාර දෙන්න.
8සිහිසන් ඇති ව අවදි ව ඉන්න. ඔබගේ විරුද්ධකාරයා වන යක්ෂයා, ගොරවන සිංහයෙකු මෙන් කවරෙකු ගිලගනිම් දෝ හෝ යි සොයමින් ඔබමොබ ඇවිදින්නේ ය.
9ලොව පුරා සිටින ඔබගේ සහෝදරයන් එම දුක් කරදරවලට ම භාජන වන බව ඔබ දන්නා බැවින්, ඔබගේ ඇදහිල්ලෙහි ස්ථීර ව සිට, යක්ෂයාට විරුද්ධ වන්න.
10එවිට ක්‍රිස්තුන් වහන්සේ මඟින් ස්වකීය සදාතන තේජසට ඔබ කැඳවූ සියලු වරප්‍රසාද දෙන දෙවියන් වහන්සේ ම ඔබ ස්වල්ප කලක් දුක් වින්ද පසු, ඔබ සම්පූර්ණ කර, ස්ථීර, ශක්තිමත් පදනමක් මත පිහිටුවන සේක.
11උන් වහන්සේට සදහට ම පරාක්‍රමය වේ වා! ආමෙන්.
12මේ ලුහුඬු හසුන, අපගේ විශ්වාස කටයුතු සහෝදරයෙකු වශයෙන් මා සලකන සිල්වානස්ගේ උපකාරයෙන් ලියා ඔහු අත ඔබ වෙත එවීමි. එසේ එවන්නේ, ඔබ ධෛර්යවත් කර මේ සියල්ල සත්‍යය දේව වරප්‍රසාදය බවට සාක්ෂි දෙන පිණිස ය. එහි ස්ථීර ව පිහිටා සිටින්න.
13ඔබ සමඟ තෝරාගනු ලැබූ බබිලෝනියෙහි ඇති සභා තොමෝ ඔබට ආචාර කරන්නී ය. මාගේ පුත්‍ර මාක් ද එසේ ම ඔබට ආචාර කරයි.
14ප්‍රේම සිඹීමකින් එකිනෙකාට ආචාර කරන්න.
Responsorial Psalm
ගීතාවලිය 89:2-3, 6-7, 16-17
2ඔබේ තිර පෙම සදහට ම පවතින බව මම ඒකාන්තයෙන් ම පිළිගනිමි; ඔබේ විශ්වාසවන්තකම අහස මෙන් තිරසර බව මම දනිමි.
3ඔබ මෙසේ වදාළ සේක: ”මා තෝරාගත් තැනැත්තා සමඟ මම ගිවිසුමක් කෙළෙමි; මාගේ සේවක දාවිත්ට මම මෙසේ දිවුළෙමි:
6සමිඳුන්ට සම කළ හැකි කිසිවෙක් අහස් තලයෙහි ඇද් ද? දෙවිවරුන් අතර සමිඳුන්ට සමාන වනුයේ කවරෙක් ද?
7සුද්ද සෙන් සබ මැද ඔබට ගරුබිය දක්වන්නෝ ය. සියල්ලෝ ඔබට බියෙන් සිටින්නෝ ය.
16දවස පුරා ඔව්හු ඔබ අබියස ප්‍රීති ප්‍රමෝද වන්නෝ ය; ඔබේ දැහැමිකම ගැන වෙසෙසින් පසසන්නෝ ය.
17ඔබ අපට මහිමාන්විත ජයග්‍රහණ දෙන සේක. ඔබේ කරුණාවෙන් ඔබ අපට ජය අත්කර දෙන සේක.
Alleluia
1 කොරින්ති 1:23-24
23එහෙත් අපි, කුරුසියේ ඇණ ගසනු ලැබූ ක්‍රිස්තුන් වහන්සේ දේශනා කරමු. මෙය ජුදෙව්වරුන්ට පැකිළීමකි. විජාතීන්ට ප්‍රලාපයකි.
24එහෙත් කැඳවීම ලත් ජුදෙව්වරුන්ටත්, ග්‍රීක්වරුන්ටත්, ක්‍රිස්තුන් වහන්සේ දෙවියන් වහන්සේගේ බලය හා ප්‍රඥාව වේ.
Gospel
ශුද්ධ වූ මාර්ක් 16:15-20
15උන් වහන්සේ ඔවුන් අමතා, ”ලොව පුරා ගොස් සකල සත්ත්වයා හට සුබ අස්න දේශනා කරන්න;
16අදහා බව්තීස්ම-ස්නාපනය ලබන තැනැත්තේ ගැළවීම ලබන්නේ ය; එහෙත්, අදහා නොගත් තැනැත්තේ වරදකරු යයි තීන්දුව ලබන්නේ ය.
17අදහන්නන් ඇසුරු කොටගත් හාස්කම් මේ ය: ඔව්හු මාගේ නාමයෙන් දුෂ්ටාත්ම දුරු කරති; අමුතු භාෂාවලින් කතා කරති;
18සර්පයන් අතින් අල්ලාගනිති; යම් මාරක විසක් බීවත් ඉන් කිසි අනතුරකට පත් නොවෙති; රෝගීන් පිට අත් තැබූ විට, ඔව්හු සුවය ලබති”යි වදාළ සේක.
19මෙසේ ජේසුස් ස්වාමීන් වහන්සේ ඔවුන්ට කතා කළ පසු, ස්වර්ගයට ඔසවාගනු ලැබ, දෙවියන් වහන්සේගේ දකුණු පස අසුන් ගත් සේක.
20ඔව්හු නික්ම ගොස් සෑම තැන ම දේශනා කළහ. සමිඳාණන් වහන්සේ ද ඔවුන් සමඟ ක්‍රියා කරමින්, ඔවුන් අතර සිදු කළ හාස්කම් මඟින් ඒ දේශනය සහතික කර වදාළ සේක. ඔව්හු මෙකී අවවාදානුශාසනා පේදුරුට ද ඔහුගේ සහචරයන්ට ද සැකෙවින් පැවසූ හ. ඉක්බිති ජේසුස් වහන්සේ ම සදාතන ගැළවීම පිළිබඳ සුවිශුද්ධ, අජරාමර පණිවුඩය ඔවුන් ලවා පෙරදිග සිට අපරදිග දක්වා යවා වදාළ සේක. ආමෙන්.