කියවීම්
2026 අප්‍රේල් 26
Fourth Sunday of Easter
දවසේ දේව මෙහෙය
Reading I
ක්‍රියා 2:14, 36-41
14එවිට එකොළොස් දෙනා සමඟ නැඟී සිටි පේදුරු තුමා ශබ්ද නඟා ඔවුන්ට මෙසේ කී ය: ”ජුදෙව් ජනයිනි, ජෙරුසලමේ වසන සියල්ලෙනි, මෙය දැනගන්න; මගේ වචනවලට සාවධාන ව සවන් දෙන්න.
36එබැවින් ඔබ කුරුසියෙහි ඇණ ගැසූ මේ ජේසුස් වහන්සේ, දෙවියන් වහන්සේ විසින් ස්වාමීන් බවටත්, ක්‍රිස්තුන් බවටත්, පත් කර වදාළ බව මුළු ඉශ්රායෙල් ජනතාව සහතික ලෙස දැන ගනිත් වා.”
37ඔව්හු ඒ අසා සන්තාපිත සිත් ඇති ව ”සහෝදරවරුනි, අප කුමක් කළ යුතු දැ”යි පේදුරුගෙන් ද අනෙක් ප්‍රේරිතයන්ගෙන් ද විචාළහ.
38පේදුරු තුමා පිළිතුරු දෙමින්, ”ඔබ සියලුදෙනා ම පසුතැවී සිත් හරවා ගෙන පව්කමාව ලබන පිණිස ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් බව්තීස්ම-ස්නාපනය ලබන්න. එවිට ඔබ ශුද්ධාත්ම දීමනාව ලබන්නහු ය.
39මන්ද, ඒ පොරොන්දුව ඔබටත්, ඔබගේ දරුවන්ටත්, දුර බැහැර වෙසෙන අන් අයටත්, සැබැවින් ම, අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේ විසින් කැඳවනු ලබන සියල්ලන්ටත් ය”යි කී ය.
40ඔහු තවත් බොහෝ වචනවලින් උදක් ම අයැදිමින්, ”මේ කුහක පරම්පරාවෙන් ගැළවෙන්නැ”යි ඔවුන්ට අනුශාසනා කෙළේ ය.
41එවිට ඔහුගේ වචනය පිළිගත් අය බව්තීස්ම-ස්නාපනය කරනු ලැබූ හ. ඒ දවසේ දී තුන්දාහක් පමණ පුද්ගලයෝ ඔවුන්ගේ සංබ්‍යාවට එකතු කරන ලදහ.
Responsorial Psalm
ගීතාවලිය 23:1-3, 34, 5, 6
1සමිඳාණෝ මා එඬේරාණෝ ය; අග හිඟ මට නොවන්නේ ය.
2එතුමාණෝ නිල් තණ බිම් මත මා සතප්වා, නිසල දිය වෙත පමුණුවා,
3මා පණගන්වන සේක. සිය නාමයේ මහිමය සැලසෙන ලෙස දමිටු මඟ මා ගෙන යන සේක.
5ඔබ මාගේ සතුරන් ඉදිරියේ දී, මංගල බොජුනක් පිළියෙළ කර දී, මා සිරස තෙලින් ආලේප කරන සේක. මාගේ කුසලාන උතුරා යන්නේ ය.
6ඔබේ දයාව හා කරුණාව නියත ව, දිවිහිමියෙන් මා අනුව එන්නේ ය. සමිඳුන්ගේ නිවාසය මාගේ සදාතන වාසය වන්නේ ය.
Reading II
1 පේදුරු 2:20-25
20ඔබ වරද කොට, ඊට සුදුසු දඬුවම ලබන කල්හි ඉවසන්නහු නම් එහි කුමන වටිනාකමක් තිබේ ද? එහෙත් ඔබ යහපත කොට, ඒ ගැන දුක් විඳිමින් ඉවසන්නහු නම්, එය දෙවියන් වහන්සේ ඉදිරියෙහි ප්‍රසන්න දෙයකි.
21ඔබ කැඳවනු ලැබූයේ මේ සඳහා ය. මන්ද ක්‍රිස්තුන් වහන්සේ ඔබ උදෙසා වද විඳ, ඔබ උන් වහන්සේගේ අඩි පාරේ යන පිණිස ඔබට ආදර්ශයක් දුන් සේක.
22උන් වහන්සේ කිසි පවක් නොකළ සේක. කවදා වත් බොරුවක් ද නොවදාළ සේක.
23උන් වහන්සේට නින්දා කරනු ලැබූ කල, නින්දා නොකළ සේක. වද වින්ද කල තර්ජනය නොකර, දැහැමි ලෙස විනිශ්චය කරන තැනැන් වහන්සේට තමන් ම භාර දුන් සේක.
24පාපවලට අප නැසී, දැහැමි ජීවිතයක් ගත කරන පිණිස, උන් වහන්සේ ම තමන්ගේ ශරීරයෙන් කුරුසිය මත අපගේ පාප ඉසුලූ සේක. ඔබ සුව කරනු ලැබුවේ උන් වහන්සේගේ තුවාළ නිසා ය.
25ඔබ බැටළුවන් මෙන් මංමුළා ව යමින් සිටියහු ය. එහෙත් දැන් ඔබගේ ජීවිතවල එඬේරා ද භාරකාරයා ද වෙතට ඔබ හැරී සිටින්නහු ය.
Alleluia
ශුද්ධ වූ ජොහන් 10:14
14යහපත් බැටළු එඬේරා මම වෙමි; මම මගේ බැටළුවන් අඳුනමි; ඔව්හු ද මා අඳුනති.
Gospel
ශුද්ධ වූ ජොහන් 10:1-10
1ජේසුස් වහන්සේ කතා කරමින්, ”ඒකාන්තයෙන් ම මම ඔබට කියමි, දොරටුවෙන් බැටළු ගාලට ඇතුළු නොවී අන් තැනකින් නැඟී පැන එන්නා සොරෙක් ද කොල්ලකන්නෙක් ද වේ.
2එහෙත් දොරටුවෙන් ඇතුළු වෙන්නා බැටළුවන්ගේ එඬේරා ය.
3දොරටු පාලයා ඔහුට දොර හරියි; බැටළුවෝ ඔහුගේ කටහඬ අඳුනති. ඔහු තමාගේ ම බැටළුවන්ට නම් කියා අඬගසා උන් පිටතට ආ විට,
4උන්ට පෙරටුව යයි; බැටළුවෝ ද ඔහුගේ කටහඬ අඳුනන බැවින් ඔහු පසුපස්සේ යති.
5එහෙත් බැටළුවෝ අමුත්තෙකු පසුපස්සේ නොයති; එපමණක් නොව, ඔහු වෙතින් පලා යති. මන්ද, උන් අමුත්තන්ගේ කටහඬ නාඳුනන බැවිනි”යි වදාළ සේක.
6ජේසුස් වහන්සේ මේ උපමාව ඔවුන්ට වදාළ නමුත්, එයින් කුමක් අදහස් කළ සේක් දැ යි ඔව්හු තේරුම් නොගත්හ.
7එහෙයින්, යළිත් ජේසුස් වහන්සේ ඔවුන් අමතා, ”ඒකාන්තයෙන් ම මම ඔබට කියමි. බැටළුවන්ට දොරටුව මම ය.
8මට පළමුව ආ සියල්ලෝ ම සොරු ද කොල්ලකන්නෝ ද වෙති. බැටළුවෝ ඔවුන්ට ඇහුම්කන් නුදුන්හ.
9දොරටුව මම ය; මා තුළින් යමෙක් ඇතුළු වන්නේ ද ඔහු ගළවනු ලැබ ඇතුළට හා පිටතට ගොස් ආහාර ලබන්නේ ය.
10සොරා එන්නේ සොරකම් කරන්නටත්, මරන්නටත්, විනාශ කරන්නටත් පමණකි. මා පැමිණියේ ඔවුන් හට ජීවනය ලැබෙන පිණිස ය. සපුරා ම එය ලැබෙන පිණිස ය.