කියවීම්
2026 අප්‍රේල් 2
Holy Thursday - Chrism Mass (Chrism Mass)
Chrism Mass
Reading I
යෙසායා 61:1-3, 6, 8-9
1මහෝත්තම දෙවි සමිඳුන්ගේ ආත්මානුභාවය මා කෙරෙහි පිහිටා ඇත. දිළිඳුන්ට සුබ අස්න දෙසීමට ද බිඳුණු සිත් ඇත්තන්ට සුව සෙත දීමට ද වහලුන්ට මිදීම දානය කරන්න ද සිරකරුවන්ට නිදහස දන්වන්න ද එතුමාණෝ මා ආලේප කළ සේක.
2සමිඳුන්ගේ කරුණාවේ දවස, සතුරන්ට දඬුවම් දීමේ දවස පළ කරන පිණිස ද වැලපෙන සියල්ලන් සනසන පිණිස ද එතුමා මා ආලේප කළ සේක.
3සියොන්හි දුක් වන සෑම දෙනාට අළු වෙනුවට මල්මාලා ද දුක් කඳුළු වෙනුවට ප්‍රීතිය නමැති තෛලය ද කලකිරී සිටින්නන්ට පැසසුම් නමැති වස්ත්‍රය ද ප්‍රදානය කරන පිණිස එතුමාණෝ මා ආලේප කළ සේක. ඔවුන්ගේ දැහැමිතාව සමිඳුන් රෝපණය කළ කිහිරි ගස් මෙන් ස්ථිර යයි කියනු ලැබේ. එයින් එතුමන්ට ම මහිමය හිමි වන්නේ ය.
6එහෙත් නුඹලා, ‘සමිඳුන්ගේ පූජකයෝ ය’යි කියනු ලබන්නහු ය. මිනිසුන් නුඹලාට, ‘අපේ දේව සේවකයෝ ය’යි කියනු ඇත. නුඹලා ජාතීන්ගේ සම්පත් භුක්ති විඳ, ඔවුන්ගේ වස්තු හිමි කරගනු ඇත.
8සමිඳාණෝ මෙසේ වදාරන සේක: ”මම යුක්තියට ප්‍රිය කරමි; අදමිටුකමටත්, කොල්ලකෑමටත් ද්වේෂ කරමි. එබැවින් මම අවංක ලෙස ඔවුන්ට විපාක දෙමි. සදාකාල ගිවිසුමක් ද ඔවුන් සමඟ කරගන්නෙමි.
9ඔවුන්ගේ වංශය ජාතීන් අතරේ ද ඔවුන්ගේ පරම්පරාව ජනයන් අතර ද ප්‍රසිද්ධ වන්නේ ය. ඔවුන් හැඳිනගන්න සියල්ලෝ ඔවුන් සමිඳුන්ගේ ආසිරි ලත් සෙනඟ බව දැනගන්නෝ ය.”
Responsorial Psalm
ගීතාවලිය 89:21-22, 25 and 27
21මාගේ ශක්තිය නිරතුරු ඔහු සමඟ වන්නේ ය; මාගේ බලය ඔහු සවිමත් කරන්නේ ය.
22කිසි ම සතුරෙක් ඔහුට විරුද්ධ ව නැඟිට ජය ගන්නේ නැත; කිසි ම දුදනෙක් ඔහු පරාජය කරන්නේ නැත.
25මම ඔහුගේ බලය මහ මුහුදේ පිහිටුවන්නෙමි; එය ගංගාව දක්වා පතුරුවා හරින්නෙමි.
27ඔහු මාගේ කුලුඳුල් පුතණුවන් කොට ද මිහි පිට රජුන් අතර අග රජු කොට ද මම ඔහු පත් කරන්නෙමි.
Reading II
එළිදරව් 1:5-8
5මළවුන්ගෙන් උත්ථාන වූ කුලුඳුලාත්, මිහි පිට රජුන්ගේ අධිපතියාත් වන, ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගෙන් ද, ඔබට කරුණාව හා ශාන්තිය වේ වා! උන් වහන්සේ අපට ප්‍රේම කරන සේක; සිය යාගික රුධිරයෙන් අප පවින් මිදූ සේක.
6තම පියාණන් වන දෙවියන් වහන්සේට සේවය කරන පිණිස උන් වහන්සේ අප රාජකීය පූජක වංශයක් කළ සේක. ඒ තැනැන් වහන්සේට, මහිමය ද බලපරාක්‍රමය ද සදහට ම වේ වා! ආමෙන්.
7බලන්න, උන් වහන්සේ වලාකුළු පිරිවරා වඩින සේක. සියල්ලෝ උන් වහන්සේ දකින්නෝ ය. කුරුසියේ ඇණ ගැසූ අය ද උන් වහන්සේ දකින්නෝ ය. මිහි පිට සියලු ජාතීහු උන් වහන්සේ නිසා වැලපෙන්නෝ ය. එය සැබෑ ම ය. ආමෙන්.
8ආරම්භය ද අවසානය ද මම වෙමි”යි වැඩ සිටින, වැඩ සිටිය, මතු වඩින සර්ව පරාක්‍රම ස්වාමීන් වන දෙවියන් වහන්සේ වදාරන සේක.
Verse Before the Gospel
යෙසායා 61:1
1මහෝත්තම දෙවි සමිඳුන්ගේ ආත්මානුභාවය මා කෙරෙහි පිහිටා ඇත. දිළිඳුන්ට සුබ අස්න දෙසීමට ද බිඳුණු සිත් ඇත්තන්ට සුව සෙත දීමට ද වහලුන්ට මිදීම දානය කරන්න ද සිරකරුවන්ට නිදහස දන්වන්න ද එතුමාණෝ මා ආලේප කළ සේක.
Gospel
ශුද්ධ වූ ලූක් 4:16-21
16උන් වහන්සේ තමන් ඇතිදැඩි වූ නාසරෙත් නුවරට පැමිණ සිරිත් පරිදි සබත් දවසේ දී ධර්මශාලාවට වැඩම කර කියවීම පිණිස නැඟිට සිටි සේක.
17එවිට දිවැසිවර යෙසායාගේ ග්‍රන්ථය උන් වහන්සේට දෙන ලද්දේ ය. උන් වහන්සේ ග්‍රන්ථය දිගහැර, මෙසේ ලියා ඇති තැන සොයාගත් සේක:
18සමිඳාණන් වහන්සේගේ ආත්මය මා කෙරෙහි ඇත. මක්නිසා ද දිළිඳුන් හට සුබ ආරංචිය දේශනා කරනු වස්, උන් වහන්සේ මා ආලේප කළ සේක. වහලුන්ට මිදීම ද අන්ධයන්ට පෙනීම ද ලැබෙන බව දන්වන්ටත්, පීඩිත වූවන් මුදන්ටත්,
19සමිඳාණන් වහන්සේගේ ප්‍රසාදය ලත් වසර ප්‍රකාශ කරන්ටත් මා එවා වදාළ සේක.”
20උන් වහන්සේ එය කියවා, ග්‍රන්ථය අකුළා, උපස්ථායක තැනට දී වැඩහුන් සේක. එකල ධර්මශාලාවෙහි සිටි සියල්ලෝ උන් වහන්සේ කෙරෙහි නෙත් යොමා සිටියහ.
21උන් වහන්සේ ඔවුන්ට කතා කරන්න පටන් ගෙන, ”අද ඔබ සවන් දී සිටිය දී ම මේ ශුද්ධ ලියවිලි පාඨය ඉෂ්ට වී ය”යි වදාළ සේක.
Evening Mass of the Lord's Supper
Reading I
නික්මයාම 12:1-8, 11-14
1සමිඳාණන් වහන්සේ මිසර දේශයේ දී මෝසෙස් සහ ආරොන්ට කතා කොට මෙසේ වදාළ සේක:
2මේ මාසය, හැම මාසවලට ම මුල් මාසය විය යුතු ය; අවුරුද්දේ පළමු වන මාසය ද විය යුතු ය.
3නුඹලා මුළු ඉශ්රායෙල් ජනතාව අමතා, මෙසේ නිවේදනය කළ යුතු ය. ‘මේ මාසයේ දස වන දින, හැම මිනිසෙක් ම එක් ගෙදරකට බැටළු පැටවෙකු බැගින් පවුලකට බැටළු පැටවෙකු සපයාගත යුතු ය.
4යම් ගෙදරක වැසියන්ට එක බැටළු පැටවෙකු වැඩි නම් ඔවුන්, අසල්වැසි ගෙදර අයගේ සංබ්‍යාව අනුව, ඊට හවුල් කරගත යුතු ය. බැටළු පැටවා අනුභව කරන්නන්ගේ ගණන, ගිණිය යුත්තේ එක් එක්කෙනා අනුභව කරන ප්‍රමාණය අනුව ය.
5නුඹලා ගන්න බැටළු පැටවා කැළැල් රහිත, අවුරුද්දක් වයසැති පිරිමි සතෙකු විය යුතු ය. තවද, බැටළුවන් හෝ එළුවන් හෝ අතරෙන් එවැනි එකෙකු තෝරාගත හැකි ය.
6එම මාසයේ ම දහහතර වන දින දක්වා ඌ තබාගෙන, එදින හවස රැස් වන මුළු ඉශ්රායෙල් ජනතාව ඌ මැරිය යුතු ය.
7ඉන්පසු උගේ ලෙයින් ටිකක් රැගෙන බැටළු පැටවා අනුභව කරන අයගේ ගෙදර දොරේ උළුවහු කණු දෙකේ ද උළුවස්සේ උඩ ලීයේ ද තැවරිය යුතු ය.
8එම රාත්‍රියේ දී උගේ මාංස අනුභව කළ යුතු ය. එය අනුභව කළ යුත්තේ මඳ ගින්නේ පුළුස්සා, නුමුහුන් රොටි හා තිත්ත පලා සමඟ ය.
11තවද, නුඹ එය අනුභව කළ යුත්තේ මෙසේ ය: ඉඟපටිය බැඳ, පාවහන් ලා, සැරයටිය ගෙන, එය ලහි ලහියේ අනුභව කළ යුතු ය. මන්ද, එය සමිඳාණන් වහන්සේ වන මා හට පවත්වන පාස්කුව බැවිනි.
12එදින රාත්‍රියේ මම මිසර දේශය මැදින් ගොස්, එහි මිනිසුන්ගේ හා මෘගයන්ගේ කුලුඳුලන්ට පහර දෙමි. තවද, මිසරයේ දෙවිදේවතාවුන් සියල්ලන්ට දඬුවම් පමුණුවමි. මම සමිඳාණන් වහන්සේ ය.
13නුඹලා සිටින ගෙවල් මත තවරා ඇති ලේ නුඹලා ඒවායේ සිටින බවට ලකුණක් වන්නේ ය. මම ලේ දකින විට නුඹලා පසු කර යන්නෙමි. මිසර දේශයට මා පහර දෙන විට, ඒ මාරක දඬුවම නුඹලා වෙත නොපැමිණෙනු ඇත.
14මේ දවස නුඹලාට අනුස්මරණ දිනයක් ලෙස ද සමිඳාණන් වහන්සේ වන මා හට මංගලෝත්සව දිනයක් ලෙස ද පැවැත්විය යුතු ය. තවද, මතු සියලු පරම්පරාවල ම එය සදහට ම මංගල දිනයක් සේ පැවැත්වීමට නියෝගයක් පැනවිය යුතු ය.”
Responsorial Psalm
ගීතාවලිය 116:12-13, 15-16, 17-18.
12සමිඳුන් මා හට කළ සියලු යහපත්කම් ගැන එතුමන්ට මම කුමක් පුදම් ද?
13මම ගැළවීමේ කුසලාන ගන්නෙමි; සමිඳුන්ගේ නාමයෙන් යාච්ඤා කරන්නෙමි.
15සැදැහැවතුන්ගේ මරණය සමිඳුන් අබියස අගනේ ය.
16සමිඳුනි, මම ඔබේ මෙහෙකරුවෙක් වෙමි; සැබැවින් ම ඔබේ මෙහෙකරුවෙක් වෙමි; ඔබේ දාසිගේ පුත්‍රයා වෙමි. ඔබ මාගේ බැඳුම් මිදූ සේක.
17මම ඔබට ස්තුති පූජාව පුදන්නෙමි; සමිඳුන්ගේ නාමය අමතා අයැදින්නෙමි.
18එසේ ය, සමිඳුන්ගේ මුළු සෙනඟ ඉදිරියෙහි මාගේ බාරහාර ඉටු කරන්නෙමි,
Reading II
1 කොරින්ති 11:23-26
23මා ඔබට ඉගැන් වූ මේ පිළිවෙත ම සමිඳාණන් වහන්සේගෙන් ම ලැබුවෙමි. එනම්, ස්වාමීන් වන ජේසුස් වහන්සේ පාවා දෙනු ලැබූ රාත්‍රියේ දී රොටියක් රැගෙන,
24ස්තුති කොට, කඩා: ”මෙය ඔබ උදෙසා දෙන මාගේ ශරීරය ය. මා සිහි කිරීම පිණිස මෙය කරන්නැ”යි වදාළ සේක.
25එලෙස ම රාත්‍රි කෑමෙන් පසු කුසලාන ද රැගෙන: ”මේ කුසලාන මාගේ රුධිරයෙන් පිහිටුවන නව ගිවිසුම ය. යම් පමණ වර ඔබ මෙයින් පානය කරන්නහු ද, එපමණ වර මා සිහි කිරීම පිණිස මෙය කරන්නැ”යි වදාළ සේක.
26ඔබ යම් පමණ වර මේ රොටි අනුභව කරන්නහු ද, මේ කුසලානෙන් පානය කරන්නහු ද, එපමණ වර සමිඳාණන් වහන්සේ වඩින තුරු, ඔබ උන් වහන්සේගේ මරණය ප්‍රකාශ කරන්නහු ය.
Verse Before the Gospel
ශුද්ධ වූ ජොහන් 13:34
34මම ඔබට අලුත් ආඥාවක් දෙමි. එකිනෙකාට ප්‍රේම කරන්න. මා ඔබට ප්‍රේම කළාක් මෙන් ඔබත් එකිනෙකාට ප්‍රේම කරන්න.
Gospel
ශුද්ධ වූ ජොහන් 13:1-15
1තමන් මෙලොවින් ඉකුත් ව පියාණන් වෙතට යාමේ නියමිත මොහොත පැමිණ තිබෙන බව පාස්කු මංගල්‍යයට පෙර, ජේසුස් වහන්සේ දැනගත් සේක. උන් වහන්සේ මෙලොව තම හිතවතුන්ට ප්‍රේම කළ සේක; අන්තිම දක්වා ම ඔවුන්ට ප්‍රේම කළ සේක.
2රාත්‍රි භෝජනය වළඳන වේලාව පැමිණියේ ය. යක්ෂයා උන් වහන්සේ පාවා දීමට සීමොන්ගේ පුත් ජූදස් ඉස්කාරියොත්ගේ සිත ඒ වන විටත් පොළඹවා තිබිණි.
3පියාණන් වහන්සේ තමන් අතට සියල්ල පවරා දී තිබෙන බව ද තමන් දෙවියන් වහන්සේ වෙතින් වැඩම කළ බව ද තමන් දෙවියන් වහන්සේ වෙතට වැඩම කරන බව ද දැන,
4රාත්‍රි භෝජනයෙන් පසු උන් වහන්සේ නැඟිට තම සළුව ගලවා තබා, තුවායක් ගෙන ඉණ වටා බැඳගත් සේක.
5ඉන්පසු උන් වහන්සේ භාජනයකට වතුර වත්කොට, ශ්‍රාවකයන්ගේ පාද සෝදන්නටත්, තමන් ඉණ බැඳගෙන සිටි තුවායෙන් පිසදමන්නටත් පටන්ගත් සේක.
6උන් වහන්සේ සීමොන් පේදුරු ළඟට ආ විට, ”ස්වාමීනි, ඔබ වහන්සේ මාගේ පාදත් සෝදන සේක් දැ”යි ඔහු ඇසී ය.
7ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”මා කරන්නේ කුමක් දැ යි ඔබ දැන් නොදන්නෙහි ය; එහෙත් පසුව ඔබට වැටහෙනු ඇතැ”යි වදාළ සේක.
8එවිට පේදුරු, ”මා දිවි ඇතිතෙක් කවදාවත් මාගේ පාද සෝදන්නට නම් ඔබ වහන්සේට ඉඩ නොදෙමි”යි කී ය. ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”මා ඔබ නොසේදුවොත් මා සමඟ සම්බන්ධකමක් ඔබට නැතැ”යි ඔහුට වදාළ සේක.
9එවිට සීමොන් පේදුරු, ”ස්වාමීනි, මාගේ පාද පමණක් නොව අත් ද හිස ද සේදුව මැනවැ”යි කී ය.
10ජේසුස් වහන්සේ ද, ”ස්නානය කළ තැනැත්තේ මුළුමනින් ම පවිත්‍ර ය; පාද සේදීම හැර ඔහු තවත් සෝදනු ලබන්න වුවමනා නැත. ඔබ ද පවිත්‍ර ය; එහෙත් හැම කෙනෙක් ම එසේ නොවෙති”යි වදාළ සේක.
11හැම කෙනෙක් ම පවිත්‍ර නොවෙති”යි උන් වහන්සේ වදාළේ, තමන් පාවා දෙන්නා කවරෙක් දැ යි දැන සිටි බැවිනි.
12මෙසේ උන් වහන්සේ ඔවුන්ගේ පාද සෝදා, තමන් උතුරු සළුව හැඳගෙන නැවත හිඳගත් කල, ඔවුන්ට මෙසේ වදාළ සේක: ”මා ඔබට කළ දේ කිමෙක් දැ යි ඔබ දන්නහු ද?
13‘ගුරුදේවයෙනි’, ‘ස්වාමීනි’ කියා ඔබ මා අමතන්නහු ය. එසේ කීම හරි ය; මම එසේ ම වෙමි.
14ඔබේ ස්වාමීන් ද ගුරුදේවයන් ද වන මම ඔබේ පාද සේදුවෙම් නම්, ඔබත් එකිනෙකාගේ පාද සේදිය යුතු ය.
15මා ඔබට, කළාක් මෙන් ඔබත් කළ යුතු බවට ආදර්ශයක් මම දුනිමි.