අප්‍රේල් 2026

බ්‍ර සි සෙ
1234
567891011
12131415161718
19202122232425
2627282930
අද දිනට

කියවීම්

2026 අප්‍රේල් 6

Monday in the Octave of Easter

දවසේ දේව මෙහෙය
Reading I

ක්‍රියා 2:14, 22-33

14එවිට එකොළොස් දෙනා සමඟ නැඟී සිටි පේදුරු තුමා ශබ්ද නඟා ඔවුන්ට මෙසේ කී ය: ”ජුදෙව් ජනයිනි, ජෙරුසලමේ වසන සියල්ලෙනි, මෙය දැනගන්න; මගේ වචනවලට සාවධාන ව සවන් දෙන්න. 22ඉශ්රායෙල් ජනයිනි, මේ වචනයට සවන් දෙන්න. ඔබ ම දන්නා ලෙස, නාසරෙත්හි ජේසුස් වහන්සේ, දෙවියන් වහන්සේ විසින් තෝරා පත් කළ මනුෂ්‍යයෙකි. ඒ බව, දෙවියන් වහන්සේ උන් වහන්සේ මඟින් ඔබ අතර කළ ප්‍රබල ක්‍රියාවලින් ද අරුමපුදුම දේවලින් ද ලකුණුවලින් ද පෙන්වූ සේක. 23එම ජේසුස් වහන්සේ, දෙවියන් වහන්සේගේ නියමිත අභිප්‍රාය හා පෙර දැනුම අනුව, පාවා දෙනු ලැබූ සේක. ඔබ අදමිටු මිනිසුන් ලවා උන් වහන්සේ කුරුසියේ ඇණ ගස්වා මරා දැමුවහු ය. 24එහෙත් දෙවියන් වහන්සේ මරණ බන්ධනයෙන් උන් වහන්සේ මුදා උත්ථාන කර වදාළ සේක. මන්ද, මරණයට උන් වහන්සේ බැඳ තබාගත නොහැකි විය. 25දාවිත් උන් වහන්සේ ගැන කතා කරමින් මෙසේ කී ය: ‘සමිඳාණන් වහන්සේ නිරතුරු මා ඉදිරියේ සිටිනු දුටිමි; මා නොසැලෙන පිණිස උන් වහන්සේ මාගේ දකුණු පසෙහි සිටින සේක. 26එබැවින් මාගේ හද සොම්නස් විය; මාගේ වචන ප්‍රමුදිත විය; මාගේ සිරුර ද බලාපොරොත්තුවෙන් පුල පුලා සිටින්නේ ය. 27මන්ද, ඔබ වහන්සේ, මාගේ ජීවිතය පාතාලයේ දමන්නේ වත්, ඔබගේ දැහැමි තැනැත්තා ජරාපත් වන්නට ඉඩ දෙන්නේ වත් නැත. 28ඔබ ජීවනයේ මාර්ගයන් මට දැන් වූ සේක. ඔබගේ වැඩවිසීමෙන් ඔබ මා ප්‍රීතියෙන් පුරවන සේක. 29සහෝදරවරුනි, ආදි පිතෘ වන දාවිත් මළ බවත්, තැන්පත් කරනු ලැබූ බවත් නොවළහා කියන්නට කැමැත්තෙමි. ඔහුගේ සොහොන අද දක්වා අප අතර ඇත. 30ඔහු දිවැසිවරයෙකු වූ බැවින්, ඔහුගේ වංශයෙන් කෙනෙකු ඔහුගේ සිංහාසනය පිට හිඳුවන සේකැ යි දෙවියන් වහන්සේ දිවුරුමකින් ඔහුට දිවුළ බව ඔහු දැන ගත්තේ ය. 31ඔහු මෙය කල් මත්තෙන් දැක, ක්‍රිස්තුන් වහන්සේගේ පුනරුජ්ජීවනය ගැන කතා කරමින්, ‘උන් වහන්සේ පාතාලයේ හැරදමනු නොලැබූ බවත්, උන් වහන්සේගේ සිරුර ජරාපත් නොවූ බවත්’ කී ය. 32දෙවියන් වහන්සේ මෙම ජේසුස් වහන්සේ මරණයෙන් උත්ථාන කොට වදාළ සේක. එයට අපි සියල්ලෝ සාක්ෂිකාරයෝ වෙමු. 33උන් වහන්සේ දෙවියන් වහන්සේගේ දකුණතින් උසස් කරනු ලැබ, පියාණන් වහන්සේ පොරොන්දු වූ ශුද්ධාත්මයාණන් ලබා, ඔබ අසන දකින මේ දේ ප්‍රදානය කළ සේක.
Responsorial Psalm

ගීතාවලිය 16:1-2 and 5, 7-8, 9-10, 11

1දෙවිඳුනි, මම ඔබ සරණකොට ගතිමි. එබැවින් මා රැකගත මැනව. 2මම මෙසේ කීමි: ”සමිඳුනි, ඔබ මාගේ සමිඳාණන් වහන්සේ ය, මාගේ සව් සම්පත ය. ඔබ හැර අන්කිසි සෙතක් මට නැත්තේ ය.” 5සමිඳුනි, මාගේ උරුමය හා ඉරණම ඔබ වහන්සේ ය. ඔබ, ඔබ පමණක් ම මා උරුම කොටස රක්නා සේක. 7මට උවදෙස් දෙන හිමි තුමන් හට තුති කරන්නෙමි. රෑ යාම්වල දී මා සිත්සතන්හි නුවණ පහළ වන්නේ ය. 8හිමි තුමන් නිරතුරු මා අබියස තබාගන්නෙමි. මා දකුණු පස එතුමාණන් වැඩ වසන බැවින් මම නොසැලෙන්නෙමි. 9එබැවින් මසිත උදන් අනයි; මහද ප්‍රීතියෙන් පිනා යන්නේ ය; මා ගත සුරැකි ව ඇත්තේ ය. 10මන්ද, ඔබ මා පාතාලයෙහි නොරඳවන සේක; ඔබේ දැහැමි තැනැත්තාට ජරාපත් වීමට ඉඩ නොදෙන සේක. 11ඔබ මට ජීවන මඟ හෙළි කරන සේක. ඔබ අබිමුවෙහි පිරිපුන් සතුට මට වන්නේ ය. ඔබ දකුණු පස සැප සම්පත් සදහට ම ඇත්තේ ය.
Alleluia

ගීතාවලිය 118:24

24මෙන්න, සමිඳුන්ගේ ජය මංගල දිනය! මෙදින අපි ප්‍රීති වමු; සන්තෝෂ වමු.
Gospel

ශුද්ධ වූ මතෙව් 28:8-15

8එවිට ඔව්හු භයින් ද මහත් ප්‍රීතියෙන් ද යුක්ත ව සොහොන් ගෙයින් වහා ම නික්ම ගොස්, උන් වහන්සේගේ ශ්‍රාවකයන්ට දන්වන පිණිස දිවූ හ. 9එකල ජේසුස් වහන්සේ හදිසියේ ඔවුන්ට මුණ ගැසී, ”සෙත් වේ වා!”යි වදාළ සේක. ඔව්හු ළං වී උන් වහන්සේගේ පා වැළඳගෙන, උන් වහන්සේට පසඟ පිහිටුවා නමස්කාර කළහ. 10එවිට උන් වහන්සේ ඔවුන්ට කතා කොට, ”බිය නොවන්න; මාගේ සහෝදරයන් වෙතට ගොස්, ගලීලය බලා යන්න ඔවුන්ට කියන්න; එහි දී ඔවුන් මා දකිනු ඇතැ”යි වදාළ සේක. 11ස්ත්‍රීවරුන් මඟ යද්දී මුර සෙබළුන්ගෙන් සමහරෙක් නුවරට පැමිණ, ඒ මුළු සිද්ධිය නායක පූජකවරුන්ට දැන්වූ හ. 12එවිට, ඔව්හු ප්‍රජා මූලිකයන් හා සමඟ රැස් ව කුමන්ත්‍රණය කොට හේවායන්ට බොහෝ මුදල් දී, 13අප රෑ නිදා සිටිය දී, ඔහුගේ ශ්‍රාවකයෝ අවුත්, ඔහු සොරාගෙන ගියහ’යි කියන්න. 14මේ බව ආණ්ඩුකාරයාට ආරංචි වුණොත්, අපි ඔහු කැමැති කරවාගෙන ඔබ බේරා ගන්නෙමු”යි කී හ. 15ඔව්හු මුදල් රැගෙන තමන්ට ඉගැන්වූ ලෙස කළහ. මෙසේ ඒ කීම ජුදෙව්වන් අතරේ ප්‍රසිද්ධ වී, අද දක්වාත් පැවත එයි.