කියවීම්
2026 අප්‍රේල් 17
Friday of the Second Week of Easter
දවසේ දේව මෙහෙය
Reading I
ක්‍රියා 5:34-42
34එහෙත්, විනයධරයෙකු වූ, සියල්ලන්ගේ ප්‍රශංසාව ලැබූ ගමාලියෙල් නම් එක් පරිසිවරයෙක්, මන්ත්‍රණ සභාවෙහි නැඟිට, ප්‍රේරිතයන් ටික වේලාවකට පිටතට ගෙන යන්නට අණ කොට, මෙසේ කී ය:
35ඉශ්රායෙල් ජනයිනි, ඔබ මේ මිනිසුන්ට කරන්නට යන දේ ගැන පරිස්සම්වන්න.
36ටික කලෙකට පෙර තියුදාස්, තමා වැදගත් කෙනෙකැ යි කියමින් ඉදිරිපත් විය. ඔහුට මිනිසුන් හාරසිය දෙනෙක් පමණ එකතු වූ හ. එහෙත්, ඔහු මරනු ලැබී ය. ඔහුගේ අනුගාමිකයෝ සියලු දෙනා විසිර ගොස් නැත්තට ම නැති වූ හ.
37ඔහුට පසු, සංගණනය කළ දවස්වල ගලීලයේ ජූදස් ඉදිරිපත් වී ජනයාගෙන් සමහර දෙනෙකු තමා වෙතට දිනාගත්තේ ය. ඔහු ද විනාශ විය. ඔහුගේ අනුගාමිකයෝ ද විසුරුවනු ලැබූ හ.
38ඉදින් මේ සිද්ධිය ගැන මා ඔබට කියන්නේ, මේ මිනිසුන්ගෙන් ඈත් වී සිටින්න කියාත්, තමන්ගේ පාඩුවේ ඉන්නට ඔවුන්ට ඉඩ හරින්න කියාත් ය. ඔවුන්ගේ මේ ව්‍යාපාරය හෝ ක්‍රියා මාර්ගය හෝ මිනිසාගෙන් වන දෙයක් නම්, එය කඩාකප්පල් වන්නේ ය.
39එහෙත් එය දෙවියන් වහන්සේගෙන් වන දෙයක් නම්, ඔවුන් පරාජය කරන්නට ඔබට නොහැකි ය. එපමණක් නොව, ඔබ අදහස් කරන දේ, දෙවියන් වහන්සේට විරුද්ධ ව සටන් කිරීමක් වීමට ද ඉඩ ඇත.” ඔව්හු මේ අවවාදය පිළිගත්හ.
40ඉන්පසු ඔව්හු ප්‍රේරිතයන් තමන් වෙතට ගෙන්වා, කස පහර දී, ජේසුස් වහන්සේගේ නාමයෙන් කතා නොකරන්නට අණ කොට ඔවුන් නිදහස් කර යැවූ හ.
41එවිට ප්‍රේරිතයෝ ඒ නාමය උදෙසා නින්දා විඳීමේ භාග්‍යය ගැන ප්‍රීති වෙමින්, මන්ත්‍රණ සභාවෙන් ඉවත් ව ගියහ.
42තවද ඔව්හු, දිනපතා ම දේව මාලිගාවේ ද ගෙදරක් ගෙදරක් පාසා ද ඉගැන්වීමෙහිත් ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ පිළිබඳ සුබ අස්න දේශනා කිරීමෙහිත් නිරත වූ හ.
Responsorial Psalm
ගීතාවලිය 27:1, 4, 13-14
1හිමිසඳ මාගේ ආලෝකය හා විමුක්තිය ය; මම කිසිවෙකුට බිය නොවෙමි. හිමිසඳ මාගේ ජීව ශක්තිය ය; මට භීතියක් නැත.
4හිමි තුමන්ගෙන් එක ම යැදුමක් යදිමි; එය තරයේ සොයන්නෙමි. එනම්, හිමි තුමන්ගේ ශෝභාලංකාරය නරඹන පිණිසත්, දේව මාලිගාවේ දී උදය භාවනා කරන පිණිසත් මා දිවි ඇති තාක් හැම දා සමිඳුන්ගේ මන්දිරයේ විසීමට ය.
13ජීවතුන් අතර සමිඳුන්ගේ යහපත්කම මට දක්නට ලැබේ ය”යි මම විශ්වාස කරමි.
14සමිඳුන් කෙරේ බලා සිටින්න; ශක්තිමත් වන්න; ධෛර්යවත් වන්න; සමිඳුන් කෙරේ බලා සිටින්න.
Alleluia
ශුද්ධ වූ මතෙව් 4:4
4උන් වහන්සේ උත්තර දෙමින්, ” ‘මිනිසා ජීවත් වන්නේ කෑමෙන් පමණක් නොව; දෙවියන් වහන්සේගේ මුවින් නික්මෙන සියලු වචන වලින් ය’ කියා ලියා ඇතැ”යි වදාළ සේක.
Gospel
ශුද්ධ වූ ජොහන් 6:1-15
1ඉන්පසු ජේසුස් වහන්සේ ගලීල මුහුදෙන්, හෙවත් තිබේරියස් මුහුදෙන් එගොඩට වැඩම කළ සේක.
2උන් වහන්සේ රෝගීන් සුව කරමින් කළ හාස්කම් දුටු බැවින් මහා සමූහයක් උන් වහන්සේ පසුපස්සේ ගියහ.
3එවිට ජේසුස් වහන්සේ කන්දකට නැඟී තමන්ගේ ශ්‍රාවකයන් සමඟ එහි වැඩහුන් සේක.
4ජුදෙව්වරුන්ගේ මංගල්‍යය වූ පාස්කුව ළං ව තිබිණි.
5ජේසුස් වහන්සේ ඇස් ඔසවා බැලූ කල, තමන් ළඟට මහා සමූහයක් ඇදී එනු දැක, ”මොවුන් හැම දෙනාට ම කන්නට දීමට අපි කොතැනින් රොටි මිලේට ගනිමු දැ”යි පිලිප්ගෙන් ඇසූ සේක.
6උන් වහන්සේ මෙසේ වදාළේ ඔහු පරීක්ෂා කරන පිණිස ය. මන්ද, තමන් කරන්න යන්නේ කුමක් දැ යි උන් වහන්සේ ම දැන සිටි බැවිනි.
7පිලිප් පිළිතුරු දෙමින්, ”එකිනෙකාට ටික ටිකවත් දීමට රිදී කාසි දෙසියයක රොටි වුවත් නොසෑහේ ය”යි කී ය.
8ශ්‍රාවකයන්ගෙන් එක් කෙනෙක් වූ සීමොන් පේදුරුගේ සොහොයුරු ඇන්ඩෘ උන් වහන්සේ අමතා,
9යව රොටි පහක් ද මසුන් දෙදෙනකු ද ඇති කොලුවෙක් මෙහි සිටියි. එහෙත් මෙපමණ දෙනෙකුන්ට එයින් කුමන පලක් දැ”යි ඇසී ය.
10මිනිසුන් හිඳුවන්නැ”යි ජේසුස් වහන්සේ වදාළ සේක. එතැන බොහෝ තණකොළ විය. ගණනින් පන්දහසක් පමණ පිරිමි එහි හිඳගත්හ.
11එවිට ජේසුස් වහන්සේ රොටි ගෙන තුති පුදා, හිඳගෙන සිටි අයට බෙදා දුන් සේක. එලෙස ම මසුන්ගෙන් ද දුන් සේක. සියල්ලන්ට කැමැති තරම් කෑම ලැබුණේ ය.
12ඔවුන් කා තෘප්තියට පැමිණි පසු, උන් වහන්සේ සිය ශ්‍රාවකයන් අමතා, ”කිසිවක් නාස්ති නොවන ලෙස කැබලි එකතු කර ගන්නැ”යි වදාළ සේක.
13මෙසේ කෑම වැළඳු අය, යව රොටි පහෙන් ඉතිරි කළ කැබලි එකතු කොට මලු දොළසක් පුරවාගන්නා ලදී.
14සමූහයා මේ හාස්කම දුටු කල ”සැබෑවට ම මෙතුමාණෝ ලොවට වඩින්නට සිටින දිවැසිවරයාණෝ ය”යි කී හ.
15තමන් බලහත්කාරයෙන් අල්ලාගෙන, රජකමට පත් කරන්නට ඔවුන් සැරසෙන බව ජේසුස් වහන්සේ දැනගෙන, නැවත තනියම කන්දට වැඩිය සේක.