කියවීම්
2026 අප්‍රේල් 20
Monday of the Third Week of Easter
දවසේ දේව මෙහෙය
Reading I
ක්‍රියා 6:8-15
8ස්තේපන්, දේව වරප්‍රසාදයෙන් ද ආනුභාවයෙන් ද පූර්ණ ව මහත් ලකුණු හා අරුමපුදුම දේ ජනතාව අතර සිදු කෙළේ ය.
9එහෙත්, ‘ස්වාධීන’ යයි නම් ලත් ධර්මශාලාවට අයත් සිරේනීයයන් සහ අලෙක්සන්ද්‍රියයන්ගෙන් ඇතැමෙක් ද සිලීසියාවේ සහ ආසියාවේ සමහරු ද නැඟිට ස්තේපන් සමඟ විවාද කළහ.
10ඔහුගේ කතාවෙහි ගැබ් වූ ප්‍රඥාව හා ශුද්ධාත්ම බලය අභිබවා නැඟී සිටීමට ඔවුන්ට නොහැකි විය.
11එවිට, ”මේ මිනිසා මෝසෙස්ටත් දෙවියන් වහන්සේටත් අපහාස කරනවා අපි ඇසීමු”යි කියන්නට ඔව්හු මිනිසුන් පෙළඹුවහු ය.
12තවද ඔව්හු ජනතාව ද ප්‍රජා මූලිකයන් ද විනයධරයන් ද උසිගන්වා, ඔහු අත්අඩංගුවට ගෙන මන්ත්‍රණ සභාව ඉදිරියට ගෙන ගියහ.
13එහි දී ඔව්හු බොරු සාක්ෂිකාරයන් ඉදිරිපත් කර, ”මේ මිනිසා ශුද්ධස්ථානයටත් ව්‍යවස්ථාවටත් විරුද්ධ ව නොනවත්වා ම කතා කරයි.
14නාසරෙත්හි ජේසුස් වහන්සේ මේ ස්ථානය වනසා දමා, මෝසෙස්ගෙන් අපට උරුම වූ වත්පිළිවෙත් වෙනස් කරන්නේ යයි ඔහු කියනවා ඇසීමු”යි කී හ.
15මන්ත්‍රණ සභාවේ හිඳගෙන හුන් හැම දෙනා ම ඔහු දෙස බැලූ හ. ඔහුගේ මුහුණ දේව දුතයෙකුගේ මුහුණ මෙන් ඔවුන්ට දර්ශනය විය.
Responsorial Psalm
ගීතාවලිය 119:23-24, 26-27, 29-30
23අධිපතියෝ එක් රැස් ව මට විරුද්ධ ව කුමන්ත්‍රණ කළෝ ය. එහෙත්, ඔබේ මෙහෙකරුවා ඔබේ පණත් භාවනා කරන්නේ ය.
24ඔබේ ශික්ෂා පද මාගේ ප්‍රීතිය වේ. ඒවා මාගේ උපදේශකයා ය.
26මා කළ සියල්ල ප්‍රකාශ කෙළෙමි. එවිට ඔබ පිළිතුරු දුන් සේක. දැන් ඔබේ පණත් මට ඉගැන්නුව මැනව.
27ඔබේ නියෝග මට තේරුම් කර දුන මැනව. එවිට ඔබේ බලවත් ක්‍රියා ගැන මම භාවනා කරන්නෙමි.
29වංක ක්‍රියා මා කෙරෙන් දුරින් දුරු කළ මැනව. ඔබේ ව්‍යවස්ථාව අනුව ජීවත් වීමට මට වරම් දුන මැනව.
30සත්‍ය මාර්ගය මම තෝරාගතිමි. ඔබේ නීති මා ඉදිරියෙහි තබාගතිමි.
Alleluia
ශුද්ධ වූ මතෙව් 4:4
4උන් වහන්සේ උත්තර දෙමින්, ” ‘මිනිසා ජීවත් වන්නේ කෑමෙන් පමණක් නොව; දෙවියන් වහන්සේගේ මුවින් නික්මෙන සියලු වචන වලින් ය’ කියා ලියා ඇතැ”යි වදාළ සේක.
Gospel
ශුද්ධ වූ ජොහන් 6:22-29
22පසු දින උදේ මුහුදෙන් එගොඩ සිටි සමූහයා, එහි තිබුණේ එක ම ඔරුවක් පමණක් බවත්, ජේසුස් වහන්සේ සිය ශ්‍රාවකයන් සමඟ එයට නො නැඟුණු බවත්, ශ්‍රාවක පිරිස පමණක් එයට නැඟී ගිය බවත් දැක සිටියහ.
23කෙසේ වුව ද, සමිඳාණන් වහන්සේ තුති පිදූ පසු රොටි වළඳන ලද ස්ථානය සමීපයට තිබේරියස් සිට ඔරු පැමිණියේ ය.
24ජේසුස් වහන්සේ වත්, ශ්‍රාවකයන් වත් එහි නො සිටි බව සමූහයා දුටු කල, ඔව්හු ඒ ඔරුවලට නැඟී ජේසුස් වහන්සේ සොයමින් කපර්ණවුමට පැමිණියාහ.
25මුහුදෙන් එගොඩ දී උන් වහන්සේ හමු වී, ”ගුරුදේවයෙනි, ඔබ මෙහි වැඩියේ කොයි වේලේ දැ”යි ඔව්හු ඇසූ හ.
26ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”ඒකාන්තයෙන් මම ඔබට කියමි, ඔබ මා සොයන්නේ හාස්කම් දුටු නිසා නොව, රොටි කා තෘප්තියට පැමිණි නිසා ය.
27නැති වී යන ආහාරය සඳහා නොව, සදාතන ජීවනයට ඉවහල් වන ආහාරය සඳහා වීර්ය වඩන්න. මේ ආහාරය ඔබට ප්‍රදානය කරන්නේ මනුෂ්‍ය-පුත්‍රයාණෝ ය. පියාණන් වන දෙවියන් වහන්සේ මුද්‍රාව තබා ඇත්තේ උන් වහන්සේ මත ය”යි වදාළ සේක.
28එබැවින් ඔව්හු, ”දෙවියන් වහන්සේගේ අභිප්‍රාය අනුව වැඩ කරන පිණිස අප කුමක් කටයුතු දැ”යි ඇසූ හ.
29ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”දෙවියන් වහන්සේගේ අභිප්‍රාය වනුයේ, උන් වහන්සේ එවා වදාළ තැනැත්තාණන් ඔබ විසින් අදහාගැනීම ය”යි වදාළ සේක.