අප්‍රේල් 2026

බ්‍ර සි සෙ
1234
567891011
12131415161718
19202122232425
2627282930
අද දිනට

කියවීම්

2026 අප්‍රේල් 7

Tuesday in the Octave of Easter

දවසේ දේව මෙහෙය
Reading I

ක්‍රියා 2:36-41

36එබැවින් ඔබ කුරුසියෙහි ඇණ ගැසූ මේ ජේසුස් වහන්සේ, දෙවියන් වහන්සේ විසින් ස්වාමීන් බවටත්, ක්‍රිස්තුන් බවටත්, පත් කර වදාළ බව මුළු ඉශ්රායෙල් ජනතාව සහතික ලෙස දැන ගනිත් වා.” 37ඔව්හු ඒ අසා සන්තාපිත සිත් ඇති ව ”සහෝදරවරුනි, අප කුමක් කළ යුතු දැ”යි පේදුරුගෙන් ද අනෙක් ප්‍රේරිතයන්ගෙන් ද විචාළහ. 38පේදුරු තුමා පිළිතුරු දෙමින්, ”ඔබ සියලුදෙනා ම පසුතැවී සිත් හරවා ගෙන පව්කමාව ලබන පිණිස ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ නාමයෙන් බව්තීස්ම-ස්නාපනය ලබන්න. එවිට ඔබ ශුද්ධාත්ම දීමනාව ලබන්නහු ය. 39මන්ද, ඒ පොරොන්දුව ඔබටත්, ඔබගේ දරුවන්ටත්, දුර බැහැර වෙසෙන අන් අයටත්, සැබැවින් ම, අපගේ ස්වාමීන් වන දෙවියන් වහන්සේ විසින් කැඳවනු ලබන සියල්ලන්ටත් ය”යි කී ය. 40ඔහු තවත් බොහෝ වචනවලින් උදක් ම අයැදිමින්, ”මේ කුහක පරම්පරාවෙන් ගැළවෙන්නැ”යි ඔවුන්ට අනුශාසනා කෙළේ ය. 41එවිට ඔහුගේ වචනය පිළිගත් අය බව්තීස්ම-ස්නාපනය කරනු ලැබූ හ. ඒ දවසේ දී තුන්දාහක් පමණ පුද්ගලයෝ ඔවුන්ගේ සංබ්‍යාවට එකතු කරන ලදහ.
Responsorial Psalm

ගීතාවලිය 33:4-5, 18-19, 20 and 22

4සමිඳුන්ගේ වචනය අවංක ය; එතුමන්ගේ ක්‍රියා සියල්ලක් ම විශ්වාසශීලී ය. 5දැහැමි බව හා යුක්තිය එතුමන්ට ප්‍රිය ය. මහ පොළොව හිමි තුමන්ගේ කරුණාවෙන් පිරී ඇත. 18සමිඳුන්ගේ නෙත් දේව ගරුබිය ඇත්තන් කෙරෙහි ය; මරණයෙන් ගළවන පිණිස ද 19දුබික් දුරු කොට දිවි රක්නා පිණිස ද එතුමාණෝ දිවැසින් බලන සේක. 20අපි හිමි තුමන් කෙරේ විශ්වාසයෙන් බලා සිටියෙමු. අපේ පිහිටත්, පලිහත් එතුමාණෝ ය. 22සමිඳුනි, ඔබ කෙරේ අපේ බලාපොරොත්තු පිහිටෙවු ලෙස ම ඔබේ කරුණාව අප කෙරෙහි වේ වා!
Alleluia

ගීතාවලිය 118:24

24මෙන්න, සමිඳුන්ගේ ජය මංගල දිනය! මෙදින අපි ප්‍රීති වමු; සන්තෝෂ වමු.
Gospel

ශුද්ධ වූ ජොහන් 20:11-18

11එහෙත් මරියා සොහොන් ගෙය ළඟ පිටත හඬමින් සිටියා ය. ඈ මෙසේ හඬමින් ම සොහොන් ගෙය ඇතුළට නැමී බැලුවා ය. 12එවිට ජේසුස් වහන්සේගේ සිරුර තබා තිබූ ස්ථානයෙහි, සුදු වස්ත්‍ර හැඳගත් දේව දූතයන් දෙදෙනෙකු, එක් කෙනෙක් හිස තැබූ තැන ද තව කෙනෙක් පාද ළඟ ද හිඳිනු දුටුවා ය. 13එකල ඔව්හු: ”ස්ත්‍රිය, ඔබ හඬන්නේ මන්දැ”යි ඇගෙන් ඇසූ හ. ”ඔවුන් මාගේ සමිඳාණන් වහන්සේ ගෙන ගොස් කොතැන තැන්පත් කර ඇද්දැ යි මා නොදන්නා නිසා ය”යි ඈ පිළිතුරු දුන්නා ය. 14මෙසේ කියමින් ඈ ආපසු හැරෙද්දී, ජේසුස් වහන්සේ එහි සිටින බව දුටුවා ය. එහෙත් ඒ ජේසුස් වහන්සේ බව ඈ නොදත්තී ය. 15ස්ත්‍රිය, ඔබ හඬන්නේ මන් ද? ඔබ කවරෙකු සොයන්නෙහි දැ”යි ජේසුස් වහන්සේ ඇගෙන් ඇසූ සේක. ඈ උන් වහන්සේ උයන්ගොව්වා යයි සිතා: ”මහතාණෙනි, ඔබ උන් වහන්සේ ගෙන ගියා නම්, උන් වහන්සේ කොතැන තැන්පත් කෙළෙහි දැ යි මට කිව මැනව; මම උන් වහන්සේ රැගෙන යමි”යි කීවා ය. 16ජේසුස් වහන්සේ, ”මරියා” කියා ඈ ඇමතූ සේක. ඈ ද, හැරී, ”රබ්බෝනි”යි හෙබ්‍රෙව් බසින් උන් වහන්සේට පිළිවදන් දුන්නා ය. එහි අර්ථය ‘ගුරුදේවයෙනි’ යනුයි. 17ජේසුස් වහන්සේ කතා කොට, ”මා අල්ලන්නට එපා; මන්ද, මම තව ම පියාණන් වහන්සේ වෙතට නොනැංගෙමි. ඒ නිසා දැන් ඔබ මාගේ සහෝදරයන් වෙතට ගොස්, ‘මම, මාගේ පියාණන් වහන්සේ හා ඔබගේ පියාණන් වහන්සේ ද මාගේ දෙවියන් වහන්සේ හා ඔබගේ දෙවියන් වහන්සේ ද වෙතට නඟින්නෙමි’යි ඔවුන්ට කියන්නැ”යි වදාළ සේක. 18මග්දලායේ මරියා ශ්‍රාවකයන් වෙතට ගොස්, ”මම ජේසුස් වහන්සේ දිටිමි”යි කියා ද, මේ දේවල් උන් වහන්සේ ඈට වදාළ බව ද, ඔවුන්ට දැන්වූවා ය.