කියවීම්
2026 අප්‍රේල් 22
Wednesday of the Third Week of Easter
දවසේ දේව මෙහෙය
Reading I
ක්‍රියා 8:1-8
1ඔහු මරාදැමීම ගැන සාවුල් ද සතුට ප්‍රකාශ කෙළේ ය. ඒ දවසේ දී ජෙරුසලමෙහි වූ සභාවට විරුද්ධ ව දරුණු පීඩාවක් හට ගත්තේ ය. එවිට ප්‍රේරිතයන් හැර, සෙසු සියල්ලෝ ජුදයේ සහ සමාරියේ පළාත්වල විසුරුවනු ලැබූ හ.
2සැදැහැවත් අය ස්තේපන් භූමදාන කොට, ඔහු ගැන බොහෝ සෙයින් වැලපුණහ.
3එහෙත් සාවුල් ගෙදරින් ගෙදරට ගොස්, පුරුෂයන් ද ස්ත්‍රීන් ද අල්ලා හිරභාරයට ගනිමින්, සභාව වනසන්නට දිරි දැරී ය.
4විසුරුවනු ලැබූ අය දේශයෙහි සැරිසරමින් දේව වචනය දේශනා කළහ.
5පිලිප් සමාරියේ නුවරකට ගොස් එහි ක්‍රිස්තුන් වහන්සේ ගැන දේශනා කෙළේ ය.
6පිලිප් කී දේ ඇසූ, ඔහු කළ අරුමපුදුම දේ දුටු, ජන සමූහයෝ ඔහුට එක සිතින් සවන් දුන්හ.
7අශුද්ධාත්මයන් වැහී සිටි බොහෝ දෙනෙකුගෙන් ඒ ආත්මයෝ මහ හඬින් මොරගසමින් දුරු වී ගියහ. බොහෝ අංශභාග රෝගීහු ද කොරු ද සුව කරනු ලැබූ හ.
8ඒ නුවර මහත් ප්‍රීතියක් ඇති විය.
Responsorial Psalm
ගීතාවලිය 66:1-3, 4-5, 6-7
1ලෝ වැසි සියල්ලෙනි, දෙවිඳුන් හට ප්‍රීති ඝෝෂා පවත්වන්න.
2එතුමන්ගේ කීර්තිමත් නාමයට ගී ගයන්න.
3දෙවි තුමන්ට මෙලෙස කියන්න: ”ඔබේ ක්‍රියා කොපමණ බියජනක ද? ඔබේ බලපරාක්‍රමය අතිමහත් ය. එබැවින් ඔබේ සතුරෝ ඔබ අබිමුව බියෙන් මිරිකෙන්නෝ ය.
4ලෝ වැසි සියල්ලෝ ඔබ නමදින්නෝ ය; ඔබට ගී ගයා ඔබේ නම පසසන්නෝ ය.
5එන්න, දෙවිඳුන්ගේ පුදුම ක්‍රියා නරඹන්න. එතුමන්ගේ ක්‍රියා මිනිසුන් අතර බියජනක ය.
6එතුමාණෝ මුහුද වියළි බිමක් කළ සේක. සෙනඟ එය මැදින් පයින් ගමන් කළෝ ය. එබැවින් එතුමන් තුළ අපි ප්‍රීති ප්‍රමෝද වන්නෙමු.
7එතුමාණෝ බලපරාක්‍රමයෙන් සදහට ම ලොව පාලනය කරන සේක; එතුමාණෝ විජාතීන් දෙස නෙත් යොමා බලන සේක. කිසි ම කැරලිකරුවෙක් එතුමන්ට එරෙහි ව නොනැඟිටී වා!
Alleluia
ශුද්ධ වූ ජොහන් 6:40
40පුත්‍රයාණන් වහන්සේ දැක උන් වහන්සේ අදහාගන්නා හැම කෙනෙකු ම සදාතන ජීවනය ලැබීම මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත ය. මම ද අන්තිම දවසේ දී ඔවුන් උත්ථාන කරන්නෙමි”යි වදාළ සේක.
Gospel
ශුද්ධ වූ ජොහන් 6:35-40
35ජේසුස් වහන්සේ කතා කොට, ”ජීවනදායක ආහාරය මම ය, මා වෙත පැමිණෙන යමෙක් වේ ද, ඔහුට සාගිනි නොවන්නේ ය. මා අදහන යමෙක් වේ ද, ඔහුට කිසි කලෙකත් පිපාසය නොවන්නේ ය.
36එහෙත් මා කී ලෙස ම, ඔබ මා දුටු නමුත් මා නොඅදහන්නහු ය.
37පියාණන් වහන්සේ මට දෙන සියල්ලෝ ම මා වෙතට පැමිණෙති; මා වෙතට පැමිණෙන්නා මම කිසි සේත් ඉවත නොදමමි.
38මා ස්වර්ගයෙන් පහළ වූයේ මාගේ ම කැමැත්ත කරන පිණිස නොව, මා එවා වදාළ තැනැන් වහන්සේගේ කැමැත්ත කරන පිණිස ය.
39මා එවා වදාළ උන් වහන්සේගේ කැමැත්ත නම්, උන් වහන්සේ මට දුන් සියල්ලන්ගෙන් එක් කෙනෙකු වත් නැති වන්නට නෑර, සියල්ලන් ම අන්තිම දවසේ දී මා විසින් උත්ථාන කරනු ලැබීම ය.
40පුත්‍රයාණන් වහන්සේ දැක උන් වහන්සේ අදහාගන්නා හැම කෙනෙකු ම සදාතන ජීවනය ලැබීම මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත ය. මම ද අන්තිම දවසේ දී ඔවුන් උත්ථාන කරන්නෙමි”යි වදාළ සේක.