සැප්තැම්බර් 2027

බ්‍ර සි සෙ
1234
567891011
12131415161718
19202122232425
2627282930
අද දිනට

කියවීම්

2027 සැප්තැම්බර් 7

Ordinary Weekday

දවසේ දේව මෙහෙය
First Reading

කොලොස් 2: 6-15

6එබැවින් ඔබ ක්‍රිස්තුස් ජේසුස් වහන්සේ සමිඳාණන් වහන්සේ වශයෙන් පිළිගෙන තිබෙන බැවින් උන් වහන්සේ හා ඒකාබද්ධ වී ජීවත් වන්න. 7උන් වහන්සේ තුළ මුල් ඇදගන්න පරිදි ස්ථීර ව සිටින්න; උන් වහන්සේ මත ඔබේ ජීවිත නිර්මාණය කරගන්න; ඔබට උගන්වන ලද ඇදහිල්ලේ පිහිටා සිටින්න. බෙහෙවින් තුති පුදන්න. 8ක්‍රිස්තුන් වහන්සේගෙන් නොවන, මිනිස් සම්ප්‍රදායයන් හා ලෝක භූතාධිපතීන් පදනම්කොටගත් දර්ශනවාදවලින් හා සම්ප්‍රලාපවලින් උගුල් අටවන අයගෙන් පරිස්සම් වන්න. 9මන්ද, ක්‍රිස්තුන් වහන්සේ තුළ, උන් වහන්සේගේ මිනිස් බවෙහි ම දේවත්වයේ පරිපූර්ණතාව වැඩ වාසය කරයි. 10සකල භූතාධිපතීන්ට හා බලධාරීන්ට ඉහළින් පරමෝත්තම වන උන් වහන්සේ හා ඒකාබද්ධ වීමෙන් ඔබේ පූර්ණත්වය සැලසී ඇත. 11උන් වහන්සේ හා ඒකාබද්ධ වීමෙන් ඔබ චර්මඡේදනය කරනු ලැබුවහු ය. ඒ වනාහි සැත්කමකින් කරන ලද චර්මඡේදනයක් නොව, මාංසික ක්ලේශයන් ඉවත් කිරීමේ චර්මඡේදනයකි. ක්‍රිස්තුන් වහන්සේගේ චර්මඡේදන පිළිවෙත එය යි. 12මන්ද, බව්තීස්ම-ස්නාපනයේ දී ඔබ උන් වහන්සේ සමඟ වළලනු ලැබ, උන් වහන්සේ මරණයෙන් උත්ථාන කළ දෙවියන් වහන්සේගේ ක්‍රියාකාරී බලය තුළ ඇති විශ්වාසය කරණකොටගෙන ක්‍රිස්තුන් වහන්සේ සමඟ උත්ථාන කරනු ලැබුවහු ය. 13ඔබ පව්කාරයන් නිසාත්, අචර්මඡේදිතයන් වූ නිසාත් මැරී සිටි නමුත්, දෙවියන් වහන්සේ ඔබ ක්‍රිස්තුන් වහන්සේ සමඟ ජීවත් කර ඔබේ සියලු පව් කමා කළ සේක. 14අණපණත්වලට අප බැඳ තැබූ අපට අහිතකර ඇපකරය උන් වහන්සේ අවලංගු කළ සේක. එය කුරුසියේ ඇණ ගසා අපෙන් ඉවත් කළ සේක. 15මෙලෙස උන් වහන්සේ භූතාධිපතීන් ද බලධාරීන් ද නිරායුධ කොට ඔවුන් ප්‍රසිද්ධියේ ජය පෙරහරින් ගෙන ගොස් ප්‍රදර්ශනය කළ සේක.
Responsorial Psalm

ගීතාවලිය 145: 1b-2, 8-9, 10-11

1මා දෙවි රජිඳුනි, ඔබ ගුණ මම ගයමි. ඔබ නම සදාකල් ම පසසමි. 2සැම දා ඔබට තුති පුදමි; සදාකල් ඔබ නම පසසමි. 8සමිඳාණෝ දයාවන්ත ය. අනුකම්පාවෙන් පූර්ණ ය; වහා නොකිපෙන සුලු ය; තිරසර පෙමින් යුතු ය. 9සමිඳාණෝ සියල්ලන්ට කරුණාව පාන සේක; එතුමන්ගේ සුමුදු දයාව මවන ලද සියල්ල ද වෙත පැතිරෙයි. 10සමිඳුනි, ඔබ මැවූ සියලු දේ ඔබට තුති පුදයි; ඔබේ සැදැහැවත්තු ද ඔබට ප්‍රශංසා කරති. 11ඔව්හු ඔබේ රාජ්‍යයේ මහිමය වර්ණනා කරති. ඔබේ බල මහිමය ගැන ද කතා කරති.
Alleluia

ශුද්ධ වූ ජොහන් 15: 16

16ඔබ මා තෝරාගත්තේ නැත. මම ඔබ තෝරාගෙන පත් කෙළෙමි. එසේ කෙළේ ඔබ ගොස් බොහෝ පල දරන පිණිසත්, ඔබේ පල පවතින පිණිසත්, මාගේ නාමයෙන් ඔබ පියාණන් වහන්සේගෙන් ඉල්ලන කවර දෙයක් වුව ද උන් වහන්සේ ඔබට දෙන පිණිසත් ය.
Gospel

ශුද්ධ වූ ලූක් 6: 12-19

12තවද, ඒ දවස්වල දී උන් වහන්සේ යාච්ඤා කරන පිණිස කන්දකට නැඟී දෙවියන් වහන්සේට යාච්ඤා කරමින් මුළු රැය ගෙවූ සේක. 13පහන් වූ කල උන් වහන්සේ සිය ශ්‍රාවකයන් කැඳවා, ඔවුන් අතරෙන් දොළොස් දෙනෙකු තෝරාගෙන, ඔවුන්ට ප්‍රේරිතයෝ යයි නම් තැබූ සේක. 14ඔව්හු කවුරු ද යත්: උන් වහන්සේ විසින් පේදුරු යයි නම් කරන ලද සීමොන් සහ ඔහුගේ සොහොයුරු ඇන්ඩෘ ද ජාකොබ් සහ ජොහන් ද පිලිප් සහ බර්තොලමෙව් ද 15මතෙව් සහ තෝමස් ද අල්පෙවුස්ගේ පුත් ජාකොබ් සහ අන්ත ජාතිවාදියා යි නම් ලත් සීමොන් ද 16ජාකොබ්ගේ පුත් ජූදස් සහ පසුව දෝහියා වූ ජූදස් ඉස්කාරියොත් ද යන මොවුහු ය. 17උන් වහන්සේ ඔවුන් සමඟ කන්දෙන් බැස තැනිතලා බිමක නැවතී සිටි සේක; උන් වහන්සේගේ ශ්‍රාවකයන්ගෙන් මහා සමූහයක් ද, මුළු ජුදයෙන් හා ජෙරුසලමෙනුත්, තීර්හි සහ සීදොනයෙහි මුහුදුකරයෙනුත් උන් වහන්සේගේ දේශනා අසන්නට හා සිය රෝග සුව කරවාගන්නට ආ බොහෝ දෙනෙක් ද එහි වූ හ. 18අශුද්ධාත්මයන්ගෙන් පීඩිත වූවෝ සුව කරනු ලැබූ හ. 19උන් වහන්සේ කෙරෙන් අනුහස නික්ම ඔවුන් සියල්ලන් සුව කළ බැවින්, මුළු සමූහයා උන් වහන්සේගේ ඇඟට අත තබන්නට උත්සාහ කළහ.