සැප්තැම්බර් 2027

බ්‍ර සි සෙ
1234
567891011
12131415161718
19202122232425
2627282930
අද දිනට

කියවීම්

2027 සැප්තැම්බර් 26

Twenty-Sixth Sunday in Ordinary Time

දවසේ දේව මෙහෙය
First Reading

ගණන් කථාව 11: 25-29

25සමිඳාණන් වහන්සේ වලාකුළකින් බැස, අවුත් මෝසෙස්ට කතා කොට, ඔහු මත වූ ආත්මානුභාවයෙන් කොටසක් ගෙන මූලිකයන් හැත්තෑදෙනාට දුන් සේක. ආත්මානුභාවය ඔවුන් මත පහළ වූ විට, ඔව්හු මඳ වේලාවක් දිවැස් වැකි කීමට පටන්ගත්හ. 26එහෙත් මොවුන්ගෙන් දෙදෙනෙක් කඳවුරෙහි නැවතී සිටියහ. එක් කෙනෙකුගේ නම එල්දාද් ය, අනික් තැනැත්තා මේදාද් ය. මොවුහු සෙස්සන් අතර ලේඛනගත වී තිබුණ නමුත් කූඩාරමට නොගියහ. එහෙත්, ආත්මානුභාවය ඔවුන් මත ද පහළ වූයෙන් කඳවුර තුළ ඔව්හු ද දිවැස් වැකි කී හ. 27එවිට එක් තරුණයෙක් දිව ගොස් එල්දාද් සහ මේදාද් කඳවුර තුළ දිවැස් වැකි කියන බව මෝසෙස්ට සැළ කෙළේ ය. 28එවිට තරුණ වියේ පටන් මෝසෙස්ට සේවය කළ නූන්ගේ පුත්, ජෝෂුවා කතා කොට, ”මා පිය මෝසෙස් තුමෙනි, ඔවුන් නවතාලන්නැ”යි ඉල්ලී ය. 29මෝසෙස් ඔහුට කතා කොට, ”ඔබ මාගේ යහපතට ඊර්ෂ්‍යා කරන්නෙහි ද? දෙවිඳාණෝ උන් වහන්සේගේ මුළු සෙනඟ දිවැසිවරුන් කර, ඔවුන් හට සිය ආත්මානුභාවය දෙන සේක් නම් කෙතරම් අනගි දැ”යි පිළිතුරු දුනි.
Responsorial Psalm

ගීතාවලිය 19: 8, 10, 12-13, 14

8සමිඳුන්ගේ අණපණත් සාධාරණ ය; සිතට සතොස වඩන්නේ ය. සමිඳුන්ගේ අණසක පැහැදිලි ය; දෙනෙතට එළිය දෙන්නේ ය, 10රනට වඩා, පෙරූ රනට වඩා, එය මනහර ය; පැණියට වඩා, මී පැණියට වඩා, එය සුමිහිරි ය. 12මාගේ රහස් වැරදි දන්නෝ කවුරු ද? නොදැන මා කළ පව් සෝදා හළ මැනව. 13උඩඟුකමේ පාපයෙන් මා වැළැක්වුව මැනව. එහි බලපෑමට මම යටත් නොවෙම්වා. එවිට මම දරුණු පවින් නිදහස් වී, නිදොස් කෙනෙක් වන්නෙමි. 14මාගේ පර්වතය ද මාගේ මිදුම්කරු ද වන සමිඳුනි, මා මුවේ වචන ද මා සිතෙහි භාවනා ද ඔබ හට ප්‍රිය මනාප වේ වා!
Second Reading

ජාකොබ් 5: 1-6

1දැන් ඉතින් ධනවතුනි, ඔබ පිට පැමිණෙන්නට තිබෙන අවාසනාවන්ත ඉරණම ගැන හඬා වැලපෙන්න. 2ඔබගේ ධනධාන්‍ය දිරාගොස් ඇත, ඔබගේ වස්ත්‍ර කාවුන් කාදමා ඇත. 3ඔබේ රන් රිදී මලකඩ කා ඇත; ඒ මලකඩ ඔබට විරුද්ධ ව සාක්ෂියක් වී, ගින්නක් මෙන් ඔබගේ මාංස කාදමනු ඇත. ඔබ වස්තු ගොඩගසා ඇත්තේ නිම වේගෙන යන යුගයක ය. 4බලන්න, ඔබගේ කෙත් වතුවල අස්වැන්න නෙළූ ගොවීන්ට නොගෙවා ඔබ වංචා කරගත් ඔවුන්ගේ කුලිය ඔබට විරුද්ධ ව මොරගසයි. ගොවීන්ගේ මොරගැසීම සේනාවල සමිඳාණන් වහන්සේගේ කන්වල වැටෙන්නේ ය. 5ඔබ මෙලොව කම් සැප විහරණයෙහි ඇලී ගැලී, මරන්නට තර කරන සතුන් මෙන් පුෂ්ටිමත් වෙමින් කල් යැවූවහු ය. ඒ දිනය දැන් පැමිණ ඇත. 6විරෝධයක් නොපෑ නිදොස් මිනිසාට වුව ද ඔබ වරද එල්ල කොට ඔහු මරාදැමුවහු ය.
Alleluia

ශුද්ධ වූ ජොහන් 17: 17b, 17a

17සත්‍යයෙහි ඔවුන් කැප කළ මැනව; සත්‍යය නම් ඔබගේ ධර්මය ය.
Gospel

ශුද්ධ වූ මාර්ක් 9: 38-43, 45, 47-48

38ජොහන් උන් වහන්සේට කතා කොට, ”ගුරුදේවයෙනි, අප අනුගමනය නොකරන කෙනෙකු ඔබේ නාමයෙන් දුෂ්ටාත්මයන් දුරු කරනු දුටිමු; ඔහු අප අනුගමනය නොකරන නිසා අපි ඔහුට එය තහනම් කෙළෙමු”යි කීවේ ය. 39එහෙත් ජේසුස් වහන්සේ ”තහනම් නොකරන්න. මාගේ නාමයෙන් ප්‍රබල ක්‍රියාවක් කරන කවරෙකුටවත් ඒ හුස්මෙන්‍ ම මා ගැන අපවාදයක් කරන්න නොහැකි ය. 40අපට විපක්ෂ නොවන්නා අපේ පක්ෂයෙහි ය. 41ඔබ ක්‍රිස්තුන් වහන්සේට අයිති බැවින් ඒ නාමයෙන් යමෙක් ඔබට වතුර කෝප්පයක් වුව ද බොන්න දෙන්නේ නම්, එහි ආනිශංසය ඔහුගෙන් කිසි සේත් නැති නොවන්නේ යයි සැබැවින් ම මම ඔබට කියමි”යි වදාළ සේක. 42තවද, උන් වහන්සේ කතා කරමින් මා කෙරෙහි අදහාගත් මේ බාලයන්ගෙන් එකෙකු වත් නොමඟ යවන යම් කෙනෙක් ඇද්ද, ඔහුගේ ගෙල වටා මහා ඇඹරුම් ගලක් එල්ලා මුහුදේ හෙළාදැමීම ඔහුට යහපත. 43ඔබේ වැටීමට හේතුව ඔබේ අත නම් එය කපා දමන්න. දෑත ඇතිව අපායෙහි නොනිවෙන ගින්නට යාමට වඩා අබ්බාගාත ව ජීවනයට ඇතුළුවීම ඔබට යහපත. 45ඔබේ වැටීමට හේතුව ඔබේ පාදය නම් එය කපා දමන්න. දෙපා ඇතිව අපායට හෙළනු ලැබීමට වඩා කොර ව ජීවනයට ඇතුළුවීම ඔබට යහපත. 47ඔබේ වැටීමට හේතුව ඔබේ ඇස නම් එය උපුටා දමන්න. දෑස ඇතිව අපායේ හෙළනු ලැබීමට වඩා එක ඇසක් ඇතිව දෙවියන් වහන්සේගේ රාජ්‍යයට ඇතුළුවීම ඔබට යහපත. 48අපායේ දී ඔවුන් කාදමන පණුවා නොනසියි, ඔවුන් දවාලන ගින්න ද නොනිවෙයි.