සැප්තැම්බර් 2027

බ්‍ර සි සෙ
1234
567891011
12131415161718
19202122232425
2627282930
අද දිනට

කියවීම්

2027 සැප්තැම්බර් 14

Exaltation of the Holy Cross Feast

දවසේ දේව මෙහෙය
First Reading

ගණන් කථාව 21: 4b-9

4ඔව්හු හෝර් නම් කඳුකරයෙන් නික්ම රතු මුහුදට යන මාර්ගය ඔස්සේ ඒදොම් නම් දේශය වටකර ගියහ. මෙසේ යන විට සෙනඟ බොහෝ සේ අධෛර්යයට පත් වූ හ. 5සෙනඟ දෙවියන් වහන්සේට සහ මෝසෙස්ට විරුද්ධ ව කතා කරමින්, ”මේ පාළුකරයේ අප මැරෙන්නට ඇරීමට ඔබ අප මිසරයෙන් පිටතට ගෙනාවේ මන් ද? අපට කන්නත් නැත, බොන්නත් නැත. අපට ලැබෙන මේ සිල්ලර කෑම අපට දැන් තිත්ත වී ඇතැ”යි පැවසූ හ. 6එවිට සමිඳාණන් වහන්සේ සෙනඟ මැදට විසකුරු සර්පයන් එවූ විට, ඒ සර්පයෝ ඔවුන්ට දෂ්ට කළහ. ඉශ්රායෙල් සෙනඟ අතරේ බොහෝ දෙනෙක් නැසී ගියහ. 7එබැවින් සෙනඟ මෝසෙස් වෙත පැමිණ, ”අපි සමිඳාණන් වහන්සේටත්, ඔබටත් විරුද්ධ ව කතා කිරීමෙන් පව් කෙළෙමු. මේ සර්පයන් අප මැදින් ඉවත් කරන ලෙස උන් වහන්සේට යාච්ඤා කරන්නැ”යි ඉල්ලූ හ. මෝසෙස් ද සෙනඟ උදෙසා යාච්ඤා කෙළේ ය. 8සමිඳාණන් වහන්සේ මෝසෙස්ට කතා කොට, ”ලෝකඩ සර්පයෙකු සාදා රිටක් පිට තබන්න. දෂ්ට කරනු ලැබූ යමෙක් ඇද්ද, ඔහු එය දෙස බැලුවහොත්, සුව වනු ඇතැ”යි වදාළ සේක. 9එවිට මෝසෙස් ලෝකඩ සර්පයෙකු සාදා ඌ රිටක් පිට තැබී ය. සර්පයෙක් යමෙකු දෂ්ට කෙළේ ද ඒ තැනැත්තා ලෝකඩ සර්පයා දෙස බැලූ විට ඔහු සුවපත් විය.
Responsorial Psalm

ගීතාවලිය 78: 1bc-2, 34-35, 36-37, 38

1මාගේ ජනයෙනි, මාගේ ඉගැන්වීමට කන් දුන මැනව. මා පවසන වදන්වලට සවන් දුන මැනව. 2උපමාවක් මඟින් මම කතා කරන්නෙමි. පුරාතනයේ අබිරහස් පවසන්නෙමි. 34එතුමාණන් ඔවුන්ගෙන් සමහරුන් වැනසූ කල, සෙසු අය එතුමාණන් සෙවුවෝ ය. ඔව්හු පසුතැවී සිත් හරවා ගෙන දෙවිඳාණන් සොයා ගියෝ ය. 35ඔවුන්ගේ පර්වතය දෙවිඳාණන් බව ඔව්හු සිහිපත් කළෝ ය. ඔවුන්ගේ මිදුම්කරුන් උත්තම දෙවිඳාණන් බව ඔව්හු සිහි කළෝ ය. 36එහෙත්, ඔව්හු එතුමන්ට තම මුවින් චාටු බස් කීවෝ ය; දිවෙන් මුසා බස් දෙඩුවෝ ය. 37ඔවුන්ගේ සිත් එතුමන් කෙරෙහි නිතර ම එකඟ නො වී ය. එතුමන්ගේ ගිවිසුමට විශ්වාසවන්ත ව නොසිටියෝ ය. 38එහෙත්, දයානුකම්පාවෙන් එතුමාණෝ ඔවුන්ගේ පාප කමා කළ සේක; ඔවුන් නොවැනසූ සේක; විටින් විට තම කෝපය සංසිඳුවාගෙන තම උදහස ඇවිලෙන්නට ඉඩ නුදුන් සේක.
Second Reading

පිලිප්පි 2: 6-11

6උන් වහන්සේ, දෙවියන් වහන්සේගේ ස්වරූපය දැරූ නමුත්, දෙවියන් වහන්සේ හා සමානත්වය තමන් විසින් බදාගෙන ම තබාගත යුතු වස්තුවකැ යි නොසිතා, 7තමන් වහන්සේ ම ත්‍යාජ කරගනිමින්, වහලෙකුගේ ස්වරූපයක් ගෙන, අප හා සමාන මිනිස් කෙනෙක් වූ සේක. 8මනුෂ්‍යාකාරයෙන් සිටිමින්, උන් වහන්සේ, මරණය, එනම් කුරුසියේ මරණය දක්වා, පහත් වී කීකරු වූ සේක. 9එබැවින් දෙවියන් වහන්සේ උන් වහන්සේ අති උසස් තැනට නංවා, සියලු නාමයන්ට වඩා අග්‍ර නාමය උන් වහන්සේට දුන් සේක. 10එසේ කළේ, ස්වර්ගයෙහි ද පොළොවෙහි ද, පාතාල ලෝකයෙහි ද සියල්ලන්, ‘ජේසුස්’ යන නාමයට දණ නමන පිණිසත්, 11ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ සමිඳාණන් වහන්සේ යයි දෙවි පියාණන් වහන්සේගේ මහිමය සඳහා, සෑම දිවකින් ම ප්‍රකාශ කරන පිණිසත් ය.
Gospel

ශුද්ධ වූ ජොහන් 3: 13-17

13ස්වර්ගයෙන් බැස වදාළ මනුෂ්‍ය-පුත්‍රයාණන් හැර, අන් කිසිවෙක් ස්වර්ගයට නොනැංගේ ය. 14පාළුකරයෙහි දී මෝසෙස් සර්පයා එසවූ ලෙස ම මනුෂ්‍ය-පුත්‍රයාණන් ද, 15උන් වහන්සේ කෙරෙහි අදහාගන්නා සෑම දෙන ම සදාතන ජීවනය ලබන පිණිස, ඔසවනු ලබන්නට ඕනෑ ය.” 16දෙවියන් වහන්සේ ලෝකයාට කොතරම් ප්‍රේම කළ සේක් ද කීවොත්, ස්වකීය ඒක ජාතක පුත්‍රයාණන් වුව ද ලොවට දෙවා වදාළ සේක. එසේ කෙළේ, උන් වහන්සේ කෙරෙහි අදහන සියලු දෙනා ම විනාශ නොවී සදාතන ජීවනය ලබන පිණිස ය. 17දෙවියන් වහන්සේ ස්වකීය පුත්‍රයාණන් ලොවට එවා වදාළේ, ලෝකයා විනිශ්චය කරන පිණිස නොව, උන් වහන්සේ කරණකොටගෙන ලෝකයා ගළවනු ලබන පිණිස ය.