කියවීම්
2027 සැප්තැම්බර් 3
Gregory the Great, Pope, Religious, Doctor Obligatory Memorial
දවසේ දේව මෙහෙය
First Reading
කොලොස් 1: 15-20
15ක්‍රිස්තුන් වහන්සේ අදෘශ්‍යමාන දෙවියන් වහන්සේගේ දෘශ්‍යමාන ස්වරූපය ව, මුළු මැවිල්ලේ අගතැන් ගන්නා සේක.
16මක්නිසා ද සිංහාසන වේවා, ස්වාමිකම් වේවා, අධිපතිකම් වේවා, බලපරාක්‍රම වේවා, ස්වර්ගවල සහ පොළොවෙහිත් ඇති පෙනෙන්නා වූ දේවල් ද නොපෙනෙන්නා වූ දේවල් ද යන සියල්ල උන් වහන්සේ තුළ මවන ලද්දේ ය; සියලු දේ උන් වහන්සේ කරණකොටගෙන ද උන් වහන්සේ උදෙසා ද මවා තිබේ;
17උන් වහන්සේ සියල්ලට ම පළමුවෙන් සිටින සේක, සියල්ල ද උන් වහන්සේ තුළ පවතින්නේ ය.
18උන් වහන්සේ සභාව නමැති ශරීරයේ හිස ය. එහි මූලාරම්භය ය. මරණයෙන් උත්ථාන වීමෙහි ප්‍රථමයාණෝ ය. මෙසේ උන් වහන්සේ සියල්ලෙහි අසමසම තැන දරන සේක.
19මන්ද, දේව කැමැත්ත අනුව, දේවත්වයේ පරිපූර්ණතාවය ක්‍රිස්තුන් වහන්සේ තුළ විය.
20උන් වහන්සේ කරණකොටගෙන මුළු විශ්වය ම තමන් හා සමඟි කරගැනීමට පියාණන් වහන්සේ සතුටු වූ බැවින්, කුරුසිය මත පුත්‍රයාණන්ගේ a යාගික රුධිරය හේතුකොටගෙන සාමදානය ඇති කරමින්, උන් වහන්සේ කරණකොටගෙන සගලොවෙත් මෙලොවෙත් ඇති සියලු දේ සමඟි කළ සේක.
Responsorial Psalm
ගීතාවලිය 100: 1b-2, 3, 4, 5
1මුළු පොළෝ වැසියෙනි, සමිඳුන් හට ප්‍රීති ඝෝෂා පවත්වන්න.
2සමිඳුන් හට ප්‍රීතියෙන් වැඳ පුදා, ප්‍රීති ගී ගයමින් එතුමන් ඉදිරියට පැමිණෙන්න.
3සමිඳාණන් දෙවිඳුන් බව දැනගන්න. අප මැව්වේ එතුමාණෝ ය; අපි එතුමන්ගේ ය, එතුමන්ගේ සෙනඟ ය. එතුමන්ගේ තණ බිම්වල බැටළුවෝ ය.
4තුති පුදා, එතුමන්ගේ වාසල් දොරටුවලට ද තුති ගී ගය ගයා, එතුමන්ගේ මන්දිරවලට ද ඇතුළු වන්න.
5මන්ද, සමිඳාණෝ යහපත් ය; එතුමන්ගේ ප්‍රේමය ස්ථිර ය; සදහට ම පවත්නේ ය. පරපුරෙන් පරපුරට එතුමන්ගේ විශ්වාසවන්තකම පවත්නේ ය.
Alleluia
ශුද්ධ වූ ජොහන් 8: 12
12යළිත් අවස්ථාවක ජේසුස් වහන්සේ ඔවුන්ට කතා කොට, ”ලෝකයේ ආලෝකය මම ය; මා අනුගමනය කරන්නා අඳුරෙහි නොහැසිර ජීවනයේ ආලෝකය ලබන්නේ ය”යි වදාළ සේක.
Gospel
ශුද්ධ වූ ලූක් 5: 33-39
33එවිට ඔව්හු උන් වහන්සේට කතා කොට, ”ජොහන්ගේ ගෝලයෝ නොයෙක් වර උපවාස පවත්වා යාච්ඤා පුද කරති; පරිසිවරුන්ගේ ගෝලයෝත් එසේ ම කරති. එහෙත් ඔබේ ශ්‍රාවකයෝ කමින් බොමින් සිටිති”යි කී හ.
34ජේසුස් වහන්සේ, පිළිතුරු දෙමින්, ”මනාලයා මඟුල් ගෙදර සිටිය දී මනාල පිරිස උපවාසයෙහි යෙදවිය හැකි ද?
35එහෙත්, මනාලයා ඔවුන් කෙරෙන් වෙන් කරනු ලබන දවස එයි, ඒ දවසේ දී ඔවුන් උපවාස කරනු ඇතැ”යි වදාළ සේක.
36උන් වහන්සේ ඔවුන්ට මේ උපමාව ද වදාළ සේක: ”කිසිවෙකු අලුත් ඇඳුමකින් රෙදිකඩක් ඉරා පරණ ඇඳුමකට අල්ලා මහන්නේ නැත. එසේ කළොත් අලුත් ඇඳුම ඉරී යනවා පමණක් නොව, අලුත් ඇඳුමෙන් ගත් කෑල්ල පරණ ඇඳුමට කැපෙන්නේ ද නැත.
37කිසිවෙකු නව මිදියුස, පැරණි බඳුන්වලට වත් කරන්නේ නැත; වත් කළොත්, නව මිදියුසින් බඳුන් පැළී මිදියුස වැගිරී, බඳුනුත් නාස්ති වෙයි.
38නව මිදියුස වත් කළ යුත්තේ නව බඳුන්වල ම ය.
39තවද, පරණ මිදියුස පානය කළ කිසි මිනිසෙක් නව මිදියුස රුචි නොකරයි; පරණ මිදියුස ම රසය යි ඔහු කියන්නේ ය.”