කියවීම්
2027 සැප්තැම්බර් 5
Twenty-Third Sunday in Ordinary Time
දවසේ දේව මෙහෙය
First Reading
යෙසායා 35: 4-7a
4බියසුලු සිත් ඇත්තන්ට මෙසේ කියන්න; ”බිය නොවී දිරි ගන්න; දෙවිඳාණෝ ඔබ මුදන පිණිසත් ඔබේ සතුරන්ගෙන් පළිගන්න පිණිසත් වඩින සේක.”
5අන්ධයන්ගේ ඇස් පැහැදෙන්නේ ය. බිහිරන්ගේ කන් ඇරෙන්නේ ය.
6කොර අය මුවන් මෙන් දුව පනින්නෝ ය. ගොළු අය ප්‍රීතියෙන් ගී ගයන්නෝ ය. කාන්තාරයෙන් ජලධාරා ගලා එන්නේ ය. මරුකතරෙන් ඇල දොළවල් බිඳී එන්නේ ය.
7මිරිඟුව ජල පොකුණක් වෙයි. වියළි බිම උල්පත්වලින් පිරෙයි. සිවලුන් ලැගුම් ගත් පාළු පෙදෙස්වල බට පඳුරු හා පන්ගස් හටගන්නේ ය.
Responsorial Psalm
ගීතාවලිය 146: 7, 8-9, 9-10
7සමිඳාණෝ පීඩා විඳින්නන්ට යුක්තිය ඉටු කර දෙන සේක; සාගිනි වූවන්ට ආහාර දෙන සේක;
8එතුමාණෝ සිරකරුවන් මුදන සේක; අන්ධයන්ගේ ඇස් පහදන සේක; වැටී ගියවුන් නඟා සිටුවන සේක; සමිඳාණෝ දමිටුන්ට ප්‍රේම කරන සේක.
9විදේශීන් ආරක්ෂා කරන සේක; අනාථයන්ට හා වැන්දඹුවන්ට උපකාර කරන සේක; එහෙත්, දුදනාගේ යෝජනා සුන් කරන සේක.
10සමිඳාණෝ සදහට ම රජකම් කරන සේක. එම්බා සියොන් නගරය! ඔබේ සමිඳාණෝ සියලු පරම්පරා දක්වා රජකම් කරන සේක. සමිඳුන්ට ප්‍රශංසා වේ වා!
Second Reading
ජාකොබ් 2: 1-5
1මාගේ සහෝදරයෙනි, ඔබ තේජශ්‍රීයෙන් වැජඹෙන, අපගේ ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේ අදහන නිසා, මිනිසුන්ගේ තරාතිරම් බැලීමෙන් වැළකෙන්න.
2රන් මුදු පැළඳ, ඉස්තරම් වස්ත්‍ර ඇඳගත් කෙනෙක් ද වැරහැලි ඇඳගත් දිළින්දෙක් ද ඔබගේ ධර්මශාලාවට පැමිණියෝ යයි සිතමු.
3ඔබ ඉස්තරම් වස්ත්‍ර ඇඳගත් අයට විශේෂ සැලකිලි දක්වා, ”කරුණාකර මෙහි, අසුන් ගන්න” කියා ද, දිළින්දාට, ”උඹ ඔතන හිටපන්”, නැත්නම් ”මාගේ පාපුටුව ළඟ බිම හිඳගන්නැ”යි කියා ද කීවොත්,
4ඔබ අතරෙ ම පක්ෂවාදිකම් ඇති කරන නපුරු සිතුවිලි සහිත විනිශ්චයකරුවන් නොවන්නේ ද?
5මාගේ ප්‍රේමවන්ත සහෝදරයෙනි, සවන් දෙන්න, ඇදහිල්ලෙහි ධනවතුන් වන පිණිසත්, දෙවියන් වහන්සේට ප්‍රේම කරන්නන් හට පොරොන්දු වූ රාජ්‍යයේ උරුමක්කාරයන් වන පිණිසත්, උන් වහන්සේ ලෝකයේ දිළිඳුන් තෝරා ගත්තේ කුමක්නිසා ද?
Alleluia
ශුද්ධ වූ මතෙව් 4: 23
23තවද, ජේසුස් වහන්සේ ඔවුන්ගේ ධර්මශාලාවල අනුශාසනා කරමින් ද රාජ්‍යය පිළිබඳ සුබ අස්න දේශනා කරමින් ද සෙනඟ අතර සියලු ආකාර ලෙඩ රෝග සුව කරමින් ද ගලීලය පුරා සැරිසැරූ සේක.
Gospel
ශුද්ධ වූ මාර්ක් 7: 31-37
31යළිත් උන් වහන්සේ තීර් පෙදෙසින් පිටත් ව, සීදොනය මැදින් ගොස්, දෙකපොලිස පෙදෙස පසු කොට ගලීල මුහුද ළඟට පැමිණි සේක.
32එකල සෙනඟ වික්කල් බිහිරෙකු උන් වහන්සේ වෙත ගෙනවුත් ඔහු පිට අත තබන ලෙස උන් වහන්සේගෙන් උදක්ම ඉල්ලූ හ.
33උන් වහන්සේ ඔහු සමූහයා කෙරෙන් වෙන් කොට ඉවතට ගෙන ගොස්, ඔහුගේ කන්වල උන් වහන්සේගේ ඇඟිලි බහා, කෙළ ගසා, ඔහුගේ දිව ස්පර්ශ කළ සේක.
34ඉන්පසු ස්වර්ගය දෙස බලා, සුසුම් ලා, ”එප්පාතා”යි ඔහුට වදාළ සේක. එහි අර්ථය, ‘ඇරේවා’ යනු යි.
35එවිට ඔහුගේ කන් ඇරී, දිවේ බැඳුම ලිහී, ඔහු පැහැදිලි ලෙස කතා කෙළේ ය.
36ඒ බව කිසිවෙකුට නොකියන්න උන් වහන්සේ ඔවුන්ට අණ දුන් සේක. එහෙත්, උන් වහන්සේ එය යම් පමණ තහනම් කළ සේක් ද, ඔව්හු එපමණටත් වඩා එය පතළ කළහ.
37එය ඇසුවෝ අතිශයින් මවිත ව, ”උන් වහන්සේ හැම දෙය ම යස ලෙස කරන සේක; බිහිරන්ට ඇසීම ද ගොළුවන්ට බිණීම ද පවා සලසා දෙන සේකැ”යි කී හ.