කියවීම්
2027 සැප්තැම්බර් 23
Pio of Pietrelcina, Priest Obligatory Memorial
දවසේ දේව මෙහෙය
First Reading
හග්ගයි 1: 1-8
1දාරියුස් රජුගේ දෙ වන අවුරුද්දේ හය වන මාසයේ පළමු වන දා සමිඳාණන් වහන්සේ දිවැසිවර හග්ගයි මඟින් ෂෙයල්තියෙල්ගේ පුත් ජුදාහි ආණ්ඩුකාර සෙරුබ්බාබෙල් වෙතටත්, ජෙහෝශාදාක්ගේ පුත් උත්තම පූජක ජෝෂුවා වෙතටත් එවූ පණිවුඩය මෙය වේ.
2දේව මාලිගාව නැවත ගොඩනැඟීමට නිසි කාලය පැමිණ නැතැ යි මේ සෙනඟ කියති”යි සියලු බලැති සමිඳාණන් වහන්සේ වදාරන සේක.
3එවිට මේ පණිවුඩය දිවැසිවර හග්ගයි මඟින් උන් වහන්සේ ප්‍රකාශ කළ සේක:
4මාගේ ජනයෙනි, මාගේ දේව මාලිගාව නටබුන් වී තිබිය දී නුඹලා මනහර මන්දිරවල ජීවත් වීම සුදුසු ද? දැන් ඉතින් සර්ව පරාක්‍රම සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක.
5නුඹලාගේ ජීවිත පිළිවෙළ ගැන සිතා බලන්න.
6නුඹලා බොහෝ සේ වපුළ නමුත්, ලබාගත් අස්වැන්න සුළු ය. කන නමුත් තෘප්තියක් නුඹලාට නැත; බොන නමුත්, සෑහීමක් නැත. අඳින නමුත්, උණුසුමක් නැත. මුදල් හම්බ කරන්නා එය හම්බ කරන්නේ හිල් ඇති පසුම්බියකට දමන්නට ය.
7සර්ව පරාක්‍රම සමිඳාණන් වහන්සේ මෙසේ වදාරන සේක. නුඹලාගේ ජීවිත පිළිවෙළ ගැන සිතා බලන්න.
8කඳුකරයට ගොස් ලී ගෙනවුත්, මා ප්‍රසන්න වන පිණිස ද මට නිසි නමස්කාරය ලැබෙන පිණිස ද දේව මාලිගාව නැවත ගොඩනඟන්න.
Responsorial Psalm
ගීතාවලිය 149: 1b-2, 3-4, 5-6a and 9b
1සමිඳුන් පසසන්න. සමිඳුන්ට නව ගීතිකාවක් ද සැදැහැවතුන්ගේ සභාවේ දී එතුමන්ගේ පැසසුම් ද ගායනා කරන්න.
2තමන් මැවූ තැනැන් වහන්සේ කෙරෙහි ඉශ්රායෙල් ප්‍රීති වෙත් වා! තමන්ගේ රජුන් කෙරෙහි සියොන්හි දරුවෝ ප්‍රීතිමත් වෙත් වා!
3එතුමන්ගේ නාමයට රඟපාමින් පැසසුම් කරත් වා! රබන් ගසා, වීණා වයා එතුමන්ට පසස් ගී ගයත් වා!
4සමිඳාණෝ සිය සෙනඟ කෙරෙහි ප්‍රසන්න වන සේක. දීනයන් ජය සිරියෙන් සරසන සේක.
5සැදැහැවත්තු මහිමයෙන් යුක්ත ව ප්‍රීති වෙත් වා! මුළු රෑ එතුමන් නමදිමින් ප්‍රීතියෙන් ගායනා කරත් වා!
6දෙමුවහත් කඩුවක් අතට ගනිත් වා! සිය මුවින් සමිඳුන්ට පැසසුම් කරත් වා!
9ලියන ලද විනිශ්චය ඔවුන් කෙරෙහි ඉටු කරනු පිණිස ය; මේ ගෞරවය එතුමන්ගේ සියලු සැදැහැවතුන්ට ඇත්තේ ය. සමිඳුන්ට ප්‍රශංසා වේ වා!
Alleluia
ශුද්ධ වූ ජොහන් 14: 6
6ජේසුස් වහන්සේ පිළිතුරු දෙමින්, ”මාර්ගය ද සත්‍යය ද ජීවනය ද මම වෙමි; මා මඟින් මිස කිසිවෙක් පියාණන් වහන්සේ වෙත නොපැමිණෙන්නෝ ය.
Gospel
ශුද්ධ වූ ලූක් 9: 7-9
7යුවරජ හෙරොද්, උන් වහන්සේ කළ සියල්ල අසා, අතිශයින් වියවුල් විය. එසේ වූයේ, ‘ජොහන් මළවුන් කෙරෙන් උත්ථාන වී ය’ කියාත්,
8සමහරුන්, ‘එලියා පහළ වූයේ ය’ කියාත්, අන් සමහරුන්, ‘පෙර සිටි දිවැසිවරයන්ගෙන් කෙනෙක් උත්ථාන වී ය’ කියාත් කී බැවිනි.
9එවිට හෙරොද්, ”මම ජොහන්ගේ හිස සිඳ දැමීමි; එහෙත්, මට සැළ වී ඇති මෙබඳු දේ කරන මේ තැනැත්තා කවරෙක් දැ”යි ඇසී ය. ඔහු උන් වහන්සේ දැකීමට වෑයම් කෙළේ ය.