සැප්තැම්බර් 2027

බ්‍ර සි සෙ
1234
567891011
12131415161718
19202122232425
2627282930
අද දිනට

කියවීම්

2027 සැප්තැම්බර් 12

Twenty-Fourth Sunday in Ordinary Time

දවසේ දේව මෙහෙය
First Reading

යෙසායා 50: 5-9a

5දෙවි සමිඳුන් මාගේ කන් පහදා ඇත. මා එතුමන්ට විරුද්ධ ව කැරලි ගැසුවේ වත්, එතුමන්ට පිටුපා ගියේ වත් නැත. 6මට පහර දෙන්නන්ට මම මාගේ පිට පෑවෙමි. මාගේ රැවුල් ගස් උදුරන්නන්ට මම මුහුණ දුන්නෙමි. මාගේ මුහුණ නින්දාවෙනුත්, කෙළ ගැසීමෙනුත් හරවා නොගතිමි. 7මහෝත්තම දෙවි සමිඳාණන් මට උපකාර කරන බැවින් මම වියවුල් නොවන්නෙමි. මම නිර්භීත ලෙස මුහුණ පාන්නෙමි. මා ලජ්ජාවට නොපැමිණෙන බව දනිමි. 8මන්ද, දෙවිඳාණෝ මා ළඟ ය; එතුමාණෝ මා නිදොස් බව පෙන්වන සේක. මට විරුද්ධ ව චෝදනා කරන්නේ කවරෙක් ද? අපි දෙදෙනා ම විනිශ්චයයට යමු; ඔහු මට විරුද්ධ ව චෝදනාව ඉදිරිපත් කරා වා! 9මහෝත්තම දෙවි සමිඳාණෝ මට උපකාර කරන සේක. ‘මා වැරදිකරු ය’යි ඔප්පු කළ හැක්කේ කවරෙකුට ද? කාවුන් කාදමන පරණ වස්ත්‍රයක් මෙන් මාගේ විරුද්ධකාරයෝ සියලු දෙන ම අතුරුදහන් වන්නෝ ය.
Responsorial Psalm

ගීතාවලිය 116: 1-2, 3-4, 5-6, 8-9

1සමිඳුන්ට ප්‍රේම කරමි, මන්ද, එතුමාණෝ මගේ අයැදුම ද මාගේ කන්නලව්ව ද ඇසූ සේක. 2එතුමාණන් මා දෙසට කන් යොමු කළ බැවින් දිවි ඇතිතාක් මම එතුමන්ට යාච්ඤා කරන්නෙමි. 3මාරක රැහැනෙන් මම වෙළුණෙමි. පාතාලයේ වේදනා මා අසු කරගත්තේ ය; විපත හා දුක මා වෙළාගත්තේ ය. 4එවිට මම සමිඳුන්ගේ නාමයෙන් අයැදිමි; ”සමිඳුනි, මා මිදුව මැනවැ”යි කීමි. 5සමිඳාණෝ දයාවන්ත ය; දැහැමි ය. එසේ ය, අපේ දෙවිඳාණෝ අනුකම්පාවෙන් යුක්ත ය. 6සමිඳාණෝ නිහතමානි අය සුරකින සේක. මා අනතුරේ වැටී සිටිය දී එතුමාණෝ මා ගළවාගත් සේක. 8එතුමාණෝ මාගේ ජීවිතය මරණයෙන් ද මාගේ ඇස් කඳුළෙන් ද මාගේ පාද පැකිළීමෙන් ද ගළවාගත් සේක. 9එසේ හෙයින්, මම ජීවතුන් අතර සමිඳුන් ඉදිරියෙහි හැසිරෙන්නෙමි.
Second Reading

ජාකොබ් 2: 14-18

14මාගේ සහෝදරයෙනි, තමාට ඇදහිල්ල ඇතැ යි යමෙකු කීවත් ක්‍රියාවලින් එය ප්‍රකාශ නොවේ නම්, ඉන් වැඩක් ඇද් ද? එවැනි ඇදහිල්ලක් ඔහුට ගැළවීම ගෙන දෙයි ද? 15යම් සහෝදරයකු හො‍් සහෝදරියක හෝ ඇඳුම් නැති ව, දිනපතා කෑම නැති ව සිටිය දී, 16ඔබගෙන් යමෙක් ඔවුන්ගේ ශාරීරික අවශ්‍යතා සපයා නොදී: ”ඔබට දෙවි පිහිට යි, උණුසුමට ඇඳ පැළඳ, කා බී සතුටු වන්නැ”යි ඔවුන්ට කියන්නේ නම්, එයින් මොන යහපතක් ද? 17ඇදහිල්ල ගැන කිය යුත්තේත් එය ම යි. ක්‍රියා විරහිත ඇදහිල්ල මළ ඇදහිල්ලකි. 18ඔබට ඇත්තේ ඇදහිල්ල ය, මට ඇත්තේ යහපත් ක්‍රියා ය. හොඳයි, ඔබ ක්‍රියා නැති ව ඔබේ ඇදහිල්ල පෙන්වන්න. මම මාගේ ක්‍රියාවලින් මාගේ ඇදහිල්ල පෙන්වමි”යි කියන්නට යමෙකුට පුළුවන්කම තිබෙනවා විය හැකි ය.
Alleluia

ගලාති 6: 14

14එහෙත් මම නම් අප ස්වාමීන් වන ජේසුස් ක්‍රිස්තුන් වහන්සේගේ කුරුසිය ගැන මිස අන් කිසිවක් ගැන පාරට්ටු කර නොගනිමි. මන්ද, කුරුසිය කරණකොටගෙන ලෝකය ගැන මාගේ ආශාව ද, මා ගැන ලෝකයාගේ ආශාව ද මැරුණා හා සමාන ය.
Gospel

ශුද්ධ වූ මාර්ක් 8: 27-35

27ජේසුස් වහන්සේ ද ශ්‍රාවකයෝ ද පිලිප්පි කායිසාරියේ ගම්වලට නික්ම ගියහ. මඟ දී උන් වහන්සේ, කතා කරමින්, ”මා කවරෙකු කියා මිනිස්සු කියත් දැ”යි ශ්‍රාවකයන්ගෙන් ඇසූ සේක. 28ඔව්හු උත්තර දෙමින්, ”සමහරෙක්, ‘ස්නාවක ජොහන් ය’යි කියති; සමහරෙක්, ‘එලියා ය’යි කියති; අන් සමහරෙක්, ‘දිවැසිවරයන්ගෙන් කෙනෙකැ’යි කියති”යි පැවසූ හ. 29මා කවරෙකු කියා ඔබ කියන්නහු දැ”යි උන් වහන්සේ ඔවුන්ගෙන් ඇසූ සේක. ”ඔබ ක්‍රිස්තුවරයාණෝ ය”යි පේදුරු පිළිතුරු දුන්නේ ය. 30උන් වහන්සේ ද තමන් ගැන කිසිවෙකුට නොකියන ලෙස ඔවුන්ට අණ කළ සේක. 31එවිට උන් වහන්සේ මනුෂ්‍ය-පුත්‍රයාණන් බොහෝ දුක් වේදනා විඳින්නටත්, ප්‍රජා මූලිකයන් ද නායක පූජකයන් ද විනයධරයන් ද විසින් ප්‍රතික්ෂේප කරනු ලබන්නටත් මරනු ලබන්නටත්, තෙ දිනකට පසු නැවත නැඟිටින්නටත් නියම බව ඔවුන්ට උගන්වන්න පටන්ගත් සේක. 32උන් වහන්සේ මේ ගැන ප්‍රසිද්ධියේ ම කතා කළ සේක. එකල පේදුරු උන් වහන්සේ පසෙකට ගෙන, උන් වහන්සේට තදින් චෝදනා කෙළේ ය. 33උන් වහන්සේ හැරී, සිය ශ්‍රාවකයන් දෙස බලා, පේදුරුට තදින් චෝදනා කරමින්, ”සාතන්, අහකට යව, නුඹ සිතන්නේ, මිනිසුන් සිතන විධියට මිස දෙවියන් වහන්සේ සිතන විධියට නොවේ ය”යි වදාළ සේක. 34එවිට උන් වහන්සේ සිය ශ්‍රාවකයන් කැටුව සමූහයා තමන් වෙත කැඳවා ඔවුන් අමතා මෙසේ වදාළ සේක: ”යමෙක් මා අනුව එන්න කැමැත්තේ ද, ඔහු තමකම නසා කුරුසිය දරා, මා අනුව ඒ වා! 35සිය ජීවිතය රැකගන්න තැත් කරන යමෙක් වේ ද ඔහු එය නැති කරගනියි. මා උදෙසාත්, සුබ අස්න උදෙසාත් සිය ජීවිතය පුදන යමෙක් වේ ද, ඔහු එය රැකගනියි.